Saturday, November 3, 2012

වන සංචාරකයින් සහ වන සතුන්

ලියන්න කියලා බොහොමයක් දේ තිබුණත් කාලය හරස් වෙනවා. නමුත් මේ ලියුම් ගැන මතක් කල මිතුරන්ට ගොඩාක් තුති. දැන් වැස්ස පටන් ගත්තත් ආයේ නියං කාලයක් ආවොතින් මෙය වැදගත් වේවියයි හිතනවා. කොහොම වුණත් ඔබ නැවත රක්‍ෂිතවනයකට යනවානම් හිතන්න පුංචි කරුණු ටිකක් ලියා තබන්නයි අදහස.

වසර ගනනකට පස්ෙස් පරණම මිතුරන් වගයක් එක්ක සංචාරය කරන්න ලැබුණු එක ලොකුම සතුටක් වුණා. රිවර්ස්ටන්හි අපූරු තැනක කඳවුරු බැන්ඳ ගමන අවසන් වුණේ මින්නේරිය වනෝද්‍යානයෙන්.

රිවර්ස්ටන් ගැන බොහොමයක් දෙනා දන්නා නිසා ඒ ගැන කියනවාට වඩා මින්නේරියදී දුටු ඇත් දැකුමක් කියන්න යුතුමයි කියා හිතුනා.

අපි මේ ගමන ගියේ සැප්තැම්බරයේ, පායන පෑවිල්ල කොතෙක්ද කියන්න පොළොන්නරුව නගරයට ළංවන කොටම තේරෙන්නේ අවුකාස්ටකයත්, දුහුවිල්ලත් දැකුමෙන්. වැව් සියල්ලම පාහේ මා දැක තිබෙන කාලයකට මේ තරම් ම හිඳී ගොස් තිබුණා. පරිසරයට ගැන හැබෑ අමාරුවක් තිබෙන අපේ මිතුරෙක් කියුවේ "එහෙනම් මින්නේරිය වහල ඇති" කියලා.  හැබෑවටම මින්ෙන්රිය වහන්නේ මොන එකකටද කියලා අයෙකුට හිතෙන්න හැකියි. ඒ ගැන කියන්නයි මම අද හිතුවේ.

මින්නේරිය රක්‍ෂිතයට පිවිසුම් දොරටුව පිරී තිබුණේ නෙක වර්ගවලින් යුතු ජීප් රථ සහ වෑන් රථ වලින්. ඒ වුණත් එක් එක් රථයේ ඉන්නා පිරිස් අතර හැබෑම වෙනසක් තිබූ බැව් නොකිවමනායි. සමහර පිරිස් බීමතිනුත් තවත් පිරිස් කෑගසමින් ගමන් ගන්නා අයුරුත් අපට දැකගත හැකි වුණා.  අතරින් පතර විදේශිකයිනුත් විශාල පිරිසක් ගමන් ගන්නට සූදානමින් සිටියා.  ඒ මොහොතේ පමණක්  වනයට ඇතුළුවන්නට පෙළගැසී තිබූ ජීප්රථ ප්‍රමාණය 50කට අධික වෙන්නට ඇති. මොහොතකින් අපේ ජීප් රියදුරු තැන බලපත්‍රයත් රැගෙන ආවා. සාමාන්‍යයෙන් මෙවැනි ගමනකදී වනජීවී නිලධාරියකු ලබා දෙනු ලැබුවත් මේ වෙන විටත් වාහන අති විශාල ගණනක් පිටත්ව ඇති නිසා අයෙක් නොමැති බව කියා තිබුණා.

ප්‍රමාණයෙන් අති විශාල නොවුනත් අලින් විශාල ප්‍රමාණයක් කුඩා කාලයක් තුල දැක ගැනීමට හැකි මූලික ස්ථානයක් වන්නේ මින්නේරිය රක්‍ෂිතය බැව් කිව යුතු නොහේ. නමුත් මෙහි දී අලි ප්‍රමාණටත් වඩා ජීප්රථ වනයතුල සංචාරය කිරීම වනයටවත් වන සතුන්ටවත් යහපතක් ඇති කරන්නේ ද කියන දේ නැවත සිතිය යුත්තක්. තමන්ට කන්න කොළවත් බොන්න වතුරවත් නැති කාලයක මිනිසුන් අලි බලන්නට යවා මුදල් හම්බ කර ගැනීමට වඩා මේ සතුන්ට  තමන්ගෙ පාඩුවේ කන්න බොන්න ඉඩ සැලසුවානම් කොයි තරම් වටීද කියා හිතුනේ වනයට පිවිසෙන විට දුටු මේ දසුන් නිසාවෙන්.


මුළු වනයම වේලි ගොසින්.අහිංසක වන සතුන් මේ කුඩා භූමියතුල ආහාර වතුර හොයාගෙන දුවන්නේ උන්ට ජීවත් වෙන්න අවශ්‍ය හින්දයි. ඉතින් මෙවන් කාලයක මෙතරම් වාහන තොගයක් ඇතුළු නොකර රක්‍ෂිතය තාවකාලිකව වසා තැබුවත් කමක් නෑ කියලයි මට හිතෙන්නේ.

කොහොමින් කොහොම හරි අපිත් මින්නේරිය රක්‍ෂිතය තුල අලි බලන්න ප්‍රසිද්ධම තැන වන වැව් පිටියටත් ආවා. හැබැයි ඒකත් හරියට කොළඹ පාරක ට්‍රැෆික් එකේ වගේ ජීප් රථ පෝලිමයි, සමහර රියදුරන් හරියට පුද්ගලික බස්රථ රියදුරන් වගේ පාරෙන් පිට හෝ කොහෙන් හෝ ගිහින් අලි රංචුවට ළං වෙන්නයි එකම උත්සහය. එක් මොහොතක අලින් දහයක විතර රංචුවක් ඈත කැලයෙන් වැවේ වතුර ඉතුරු වෙලා තිබුණු පොඩි කොටසට එන්න පටන් ගත්තා.  අවාසනාවක මහත අපේ ජීප් රියදුරන් බොහෝ දෙනෙක් ඒදෙසට වේගයෙන් ගමන් කළේ අලින්ට මිනිස්සු පෙන්නන්ද කියා හිතෙනවා. පිපාසයෙන් පීඩිතව ආහාර නැති කමින් හෙම්බත්ව සිටිඒ අලි රැළ නැවත කැලය තුලට පිවිසුනේ ඔව්න් ගමන්ගන්නා මග අවුරමින් තිබූ ජීප් රථ පෙල නිසාවෙන්.  රියදුරන් සමහරවිට තමන්ට ලැබෙන ටිප් එක ගැන හිතනව ඇති.  හැබැයි මෙතන රියදුරන් පමණක්ම නොවෙයි, සමහර විටක වනයක සංචාරය කරන අපේ මිනසුන්ගේ දැනුවත් කම මඳකම කියායි මගේ අදහස.

කෑකෝ ගසමින් වාහන තරඟයට මෙන් දුවවමින් අපි ගමන් කරන්නේ මේ සතුන්ගේ භූමියේ නොවේද යන්න ඔව්නට කියා දීමට ක්‍රමවේදයක් වනයට පිවිසීමට පෙර තිබුණා නම් වඩාත් යහපත් වේවි.
විසල් අලිරංචුව ඇතුළු බොහොමයක් අපූර් ව දෑ දැක ගන්නත් කැමරාවට හසු කරගන්නත් ලැබුණු මුත් වෙනදා වන සංචාරයකින් පසුව සිතේ තියන සතුට හා සැහැල්ලුව අපේ කණ්ඩායමේ නොතිබුණේ මේ ගමනේදී දුටු මේ කණගාටුදායක දේ නිසාවෙන්. සැබැවින්ම එය වන සතුනට වගේම මේ රක්‍ෂිතයටත් රටටත් කරන හානියක බවයි අපේ හැඟුම. තමන්ගේ ජීවිකාව කරගෙන යන්නට උදව් කරන මේ වනසතුන් ගැන ජීප් රථ රියදුරනුත් මීට වඩා සිතිය යුතුබව් නොකිවමනායි.

නාට්‍යමය හෝ වාර්තාමය නොවුනත් කථාව ලියවුණේ මේ ලෙසින්




2 comments:

  1. මේ වගේම අත්දැකීමක් මමත් සැප්තැම්බර් මාසේ ලැබුවා..ඒ යාලේදී හා කුමනේදී...ඒ ගැන නාඩියක් ළඟදීම කොටන්නම්.....

    ReplyDelete
  2. බොහොම හොඳයි මලයා! මේ ගැන කතා බහක් ඇති වෙන්න උවමනයි. ඒ වගේම යන අය ගැනත්

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!