Saturday, December 31, 2011

2012 පැතුම

ලෝකයේ ඇති සියලු දෑ හි සුන්දරත්වය දැක ගන්නට
සිතේ ඇති යහපත් පැතුම් සියල්ල ඉටු කරගන්නට
සියලු දෙනා වෙත හැම විට සතුටක් ම බෙදන්නට
ඔබට 2012 වසරේ
දිරිය ලැබේවා !

Saturday, December 24, 2011

හිතැති හැම දෑ

නොවන සරසිය
පියඹ සාසිය
දවන හසිතය
මඩින මසිතය

සිතන කසිනය
පවන විසිනය
සවන වසිනය
නිවන සිසිනය

දෙවුල් සරදම්
නිමල් මල්දම්
නලල් තලමම්
පලල් සිල්වම්

කිදුම් මුසපත්
වෙයුම් සම්පත්
ඇලුම් සිඳුපත්
නොවේ දියපත්

බොහොමයක් විට බොහෝ දෙනකුට මේ දෑ මේ යැයි හැඳින අවබෝධය අපහසු වුව්ත් ලියා ලූවෙමි මතු දිනක් වෙනුවෙන්

Saturday, September 24, 2011

අතිශය කලබලකාරී උදෑසනක්!

එය අතිශය කලබලකාරී උදෑසනක්. මෙවර පොත් සවාරියට වෙලාවක් නොලැබේදෝ කියා හිතුනු මුත් හැම දාම වගේ බොහොම අහඹු විදිහට ඊට වෙලාවක් මට ලැබුණා. ඒ හිංදම උදේ පාන්දරින් ම පොත් ප්‍රදර්ශන බිමට ඇතුලු වුනේ පොතක් දෙකක් ගන්න වගේම හිතේ හැටියට විවිධ පොත් අතර සැරිසරන්න ආසාවෙන්. තවමත් උදෑසන කටයුතු නිල වශයෙන් ඇරඹී නොතිබ්බ නිසා බොහොමයක් දෙනෙක් කඩිමුඩියේ තමන්ගේ පොත් ප්‍රදර්ශන කුටි සකස් කරමින් හිටියා.

අතරින් පතර මා වැන්නවුන් කිහිප දෙනෙක් හැරුණු කොට ප්‍රදර්ශන පරිශ්‍රය කලබල වී තිබුණේ මේ පරිසරයේ තාවකාලික හිමිකරුවන් වූ පොත් ප්‍රදර්ශක සහෘදයින්ගේ විවිධ කටයුතු සිදු වෙමින් තිබූ නිසයි. තවත් හෝරාවක් තුල පිරී ඉතිර යන තම කුටි සකසන්නටත් නව පොත පත නි‍සි තැන් හි තබන්නටත් හැම දෙනාම යුහුසුළු වුණා. මේ අතර බොහොමයක් කුටි වලට පිවිස එහි තුබූ පොත් මහත් ආසාවකින් රුචියකින් කියවා බලන මා දෙස ඔව්න් ඉතා සිනහ මුසු මුහුණින් බලා සිටියේ බොහොමයක් කුටි වලට අද පිවිසෙන පලමු වැන්නා මා නිසා විය යුතුයි. බොහොමයක් කුටිවලින් පොතක් ගැනුම නොකලත් හැමටම සුබ දවසක් යැයි කියන්නට මට අමතක නොවුනේ ඒ නිසයි.

කලකට පසු හමුවන මිතුරන් වාගේ මා දෙස බලා සිටින පොත් පත් දකින විට හිත පුරා දිවයන හැඟුම් තරමක් සංකීර්ණයි. වෙසෙසින් ම පුංචි කාලයේ කියැවූ රුසියානු ළමා කතා නැවත දකින විට ‍මමත් සිතින් ඒ කාලය තුලට මොහොතක් ගමන් කලා. වැඩ බැරි දාස, හත් පෙති මල, ලස්සන වසීලිස්සා, රසකතා, වානේ පන්නරය ලැබූ හැටි දකින මා සිතේ නැවත ඒ චරිත මැවී ගියා. මම කුඩා කාලයේ වයසට නොතරම් වූ ඉතා අසීරුවින් කියවා ගත් අපේ කාලයේ වීරයෙක්, අම්මා, ගුරු ගීතය, අපරාධය හා දඬුවම වැනි අපූර්ව නිර්මාණ ත් උම්මග්ග ජාතකය, සද්ධර්මාලංකාරය වැනි ගැටපද සහිත වටිනා ග්‍රන්ථත් ඒ අතරට වී ආදරයෙන් සිනාසුනා. මේ සමගම තවමත් මේ පොත පත කියවන පිරිසක් කොහේ හෝ සිටිනු බැව් දැනීමත් හිතට ගෙන ආවේ නැවුම් සැනසුම් හැඟුමක්.

ඇත්තටම මෙවර පොත් ප්‍රදර්ශනයේ මා හිතුවාට වඩා පොත පත තිබුණා. අපේ සාහිත්‍යයේ පූජාවලිය, අමාවතුර, සද්ධර්මාලංකාරය වැනි තන් හි සිට මාර්ටින් වික්‍රමසිංහයන් දක්වාත් ඉනුත් මේ දක්වාත් පුළුල් පරාසයක පොත පත ඒ අතර දැකුම අනාගතයට සුබ දසුන් මවන්නක්. සිහල දෙමළ බස මෙන් ම ඉංග්‍රීසි බසින් පලවූ පොත පතත් මෙහි තිබුණ මුත් ඉංග්‍රීසි පොත් හි තරමක් අඩුවක් දක්නට තිබුණ බවයි මගේ හැඟුම.

අද වන විට පොතක් කියවීම හා තොරතුරු ගූගල් කිරීම යන අන්ත දෙක වේගයෙන් දුරස් වෙමින් තිබෙන මුත් භෞතික පොත පතට මිනිසාගේ ඇති ආශාව තවත් කලක් තිබෙනු ඇතැයි යන්න, මොහොතින් මොහොත ප්‍රදර්ශන බිමට පිවිසෙන පිරිස කෙමෙන් වැඩි වීම ඒ බැව් පසක් කලා. ඇත්තටම අද වන විට බොහොමයක් දෙනෙක් අතින් පොත් කියවීම ගිලිහී ගිහින්. පුංචි කාලයේ අප සුරංගනා ලෝකයන් හි සිට සැබෑ යථා ලෝකය තෙක් අප සමග ගිය ගමන් සගයා වූ පොත පත, වෙබ් අඩවියක් වීඩියෝවක් දක්වා පරිණාමය වුවත් ඉන් අද දරුවාට ලැබෙන රසය සහ පෙර අප පොතින් ලද අවබෝධය හා සංයමය අතර ගැටුමක් ඇති බැව් මගේ හැඟීමයි. පොතක රස දන්නා, කියැවීමට ඉවසීම ඇති අයෙකු වඩාත් සාර්ථක බැව් මගේ මතයයි.

අපි ආපසු අද සිදුවීමට යමු.

කලබලකාරී පිරිස් අතර විවිධ දෑ හුවමාරු වෙමින් කාලය ගත වෙමින් තිබුණා. මේ අතර එක් වරම හැම දෙනාගේ සවන් පැහැර ගත් රාවයක් නැගෙන්නට වුණා. ලෝකයේ කොහේ හිටියත් මේ නද ඇසෙන මොහොතට හිතට නැගෙන හැඟුම් පෙළ පැහැදීම පහසු දෙයක් නොවෙයි. මෙතෙක් වේලා තිබූ කලබලය එක් වරම අඩුව ගියා. අතරින් පතර කිහිප දෙනෙක් හැරුණු විට අන් සියළු දෙනා සිටිවනම බලා සිටියා. තවත් මොහොතක් ගතවන කල තමන් කෙරේ ඇති වූ සියුම් ලැජ්ජාවක් සමඟ එහේ මෙහේ සැරිසැරූ කිහිප දෙනාත් සිටි වනම නැවතුනා. පසුබිමින් පැහැදිලිව ඇසෙන සංගීත රාවය මැද බොහෝ දෙනෙකුගේ දෙතොල් සැලී ගියේ එක් ලෙසින්. අන් කිසිදු ශබ්දයක් නොමැති පරිසරය තුල මිනිස් හඬ රැසක් සෙමින් නමුත් පැහැදිලි හඬින් රැවු දෙන්නට පටන් ගත්තා. ඒ සමඟම මෙතෙක් තොල පියා සිටි බොහෝ දෙනාගේ දෙතොල් පිපෙන්නට පටන් ගත්තා.

අන් කවරදාටත් වඩා අද උදේ අපේ රටේ ජාතික ගීය ප්‍රදර්ශන පරිශ්‍රය තුල සාඩම්බරයෙන් රැවු දුන්නා. විවධාකාර වයසින් යුතු විවිධ පුද්ගල චරිත මේ නැගුණු හඬට පණ දුන්නා. ජාතික ගීය අවසන සියළු දෙනාගේ නැවුනු හිස් යලි ඔසවනු දුටු මට දේශය හා අභිමානය අප අතර තිබෙන බවත් මේ ඒ බැව් යැයි හැඟී ගියේ හිතට සැබෑ සතුටක් ඇති කරමින්.

මොහොතක් එක් ව සිටි සියළු දෙනා නැවතත් අතිශය කලබ‍ලකාරී උදෑසනට එකතු වුණා.

ගිය වර මග හැරුණු පොත් මිතුරන් ගෙදර ගෙන යන්නට මමත් නැවතත් ඒ කලබලය වෙතට පිය මැන්නා.

Monday, August 29, 2011

මගේ මතකයේ වටිනාම කාසියක්

දිගු කලබලයක අවසන සන්සුන් ගමනාන්තයකට මම ළං වෙමින් තිබුණා. ගස් අතරින් සුළං හමා ගියා. හංදියේ ඉදන් අතුරු පාරට හරවන තැන ගස් පෙළ සැලුනේ තරමක් සීරුවෙන්. කිසිවෙක් නොසිටි පාර දිගේ ඉදිරියට ගමන් ගන්නා විට පාර දෙපස ගහ කොළ අපූරුවට සැලී ගියා. ගමේ සුවඳ විඳිමින් සිටි කාලය අවසන් ව දිගු කලක් ගත වුණත් ගමට පිවිසෙන විට අමුතු හුරු පුරුදු ගතියකින් සිත වෙළි ගියා. කොයි තරම් කලක් ගමින් පිටව හිටියත් ආයෙත් එන හැම දවසකම මට ඒ හැඟුම දැනෙන්නක්. හරියටම නොදන්නා රටක සිට නැවත මව් රටට ආවා වගේ. කාලය වෙනස්ව ගියත් තවමත් ගමේ සුළඟ ගොයම ගහ කොළ එහෙමම්ම තියන එක හිතට ගෙනෙන්නේ අපමණ සැහැල්ලුවක්.

ගමේ සුළඟේ මේ තරම් ම විශේෂය ඇයි දැයි දවසක් මගෙන් මගේ මිතුරෙක් ඇසුවා. මගේ පුංචි කාලයේ ඉඳන් කල කෙළි සෙල්ලම් හා සගයන් හා ගත කල අපූරු මතකයන් සුළඟ එක්ක ආයෙත් හිතට එන බැව් එයට මගේ පිළිතුර උනා.

මේ වගේ මද සුළඟ ඇතිව ගෙවුනු තවත් අපූරු දවසක් මට මතක් වුණා.

මීට වසර පහලොවකට විතර කලින් අපේ පාරේ බස් ගමන් කලේ පැයකට වරක්. පාසැල් යන පුංචි මගේ අතේ වැඩි පුරම රැඳුණු කාසිය රුපියල් පහ වෙන්න ඇති. බසයේ ගමන් කරන්නට සීසන් එකක් තිබූ හිංදා අම්මාගෙන් හම්බ වෙන රුපියල් පහේ අයිස් පැකට් වගේ නෙක නෙක දෑ කන්න මම පුරුදු වෙලා හිටියා මතකයි. ඒ හිංදා යාලුවන්ගෙනුත් අඩුවක් උනේ නෑ. හැබැයි මේ කතා කල දවසේ මං සතු ව තිබුණේ රුපියල් දෙකක් විතරයි.

එදා මම බස් එකට යන්න පාරට ඇවිත් බලන් හිටියා බස් එක එන තුරු. මේ අතර ගමේ ඉස්කෝලෙට යන පුංචි උන් දෙන්නෙක් ගාට ගාට පාරේ එමින් හිටියා. බැලූ බැල්මට මේ අයියයි නංගියි දෙන්නම තුනේ පංතියේ විතර ඇති. කහ ම කහ ගැහුණු කමිසය උඩින් දමා සායම් ගිය කලිසමකින් අයියාගේ වස සැරසී තිබුණා. ඊටම හරියන විදිහේ පරණ ඉටි බෑගයකට දමාගත් පොත් ටික කරේ තබාගෙන තුත්තිරි ගසක් උරමින් ආඩම්බරයෙන් අයියා ගමන් කලා. තරමක් අලුත් ගවුම් පොඩිත්තකින් සැරහුනු නංගී තමන්ගේ පොත් බෑගය පරිස්සමින් ඈතින් අල්ලාගෙන ගියේ තමන්ගේ එකම ගවුම් පොඩිය පරිස්සම් කර ගන්නා අටියෙන් විය යුතුයි. මේ දෙදෙනාම කුලියක් කරන් ජීවත් වන දෙමව්පියන් යුවලකගේ දරුවන්. මම දන්නා තරමින් ඔව්න් සැතැපුම් දෙකක් විතර පයින් ඇවිත් තිබුණා. මාව දුටු ඔව්න් දෙදෙනාම නොදැක්කා සේ හිටියේ ඇයි කියා එදා පුංචි මට හිතුනා. ගමේ ඉස්කෝලෙටත් තවත් සැතපුම් දෙකක් පමණ දුර තිබෙන නිසාත් පාරේ තිබුණු රස්නය නිසාත් කිසිවක් ලා නැති පුංචි දෙපාවලට ඔව්න් විවෙකයක් ගත්තා. බෝක්කුව අයිනේ ඇති වතුර පාර ඔව්න්ගේ දාහය නිවන්නට ඇති.

එක් වරම අයියා නංගීට, අපි බොම්බයි මොටයි කමු කීවා. අපි ඉන්න තැනට එහා පාරේ පොඩි සිල්ලර කඩයක් තිබුණා. එතැන තමයි බොම්බයි මොටයි තිබුණේ. නංගී උත්තර දුන්නේ නෑ! ඒ උනත් ඒ පුංචි ඇස් ආසාවෙන් දිලිසුනා! අයියා එක පිම්මේ දුවගොස් බොම්බයි මොටයි ගෙනාවේ නංගී කට අරින්නත් කලින්. මොහොතකට පෙර ආසාවෙන් දිලුණු ඇස් කඳුලින් අඳුරු වෙලා තිබුණා මට අද වාගේ මතකයි. අයියේ !!! ඒ කටහඬ ඇඩුම් බරයි. නංගී අයියාට කතා කරනවා. අපි දැන් කොහොමද යන්නේ? මට තේරුණේ එතකොටයි දෙන්නා පයින් මේ දුර ගාටා තියෙන්නේ ඉතිරි දුර බසයේ යන්න කියන එක. එතන ඉඳන් රුපියල් එකයි සත පණහක් භාගේ ටිකට්ටුව.

රුපියලයි තියෙන්නේ අයියා සැර වුණා එනවා පයින් යමු. බෝක්කුව උඩ අතහැරි තමන්ගේ ඉටි බෑගය ආයෙත් කරට ගත් ඔහු නංගීගේ අතින් අල්ලා ගත්තා. අවුරුදු අටක් පමණ වයසැති කුඩා නංගී කඳුලු පිරි ඇසින් අයියාගේ අත ගසා දමා පිය මනින්නට ගත්තා. බසයේ නලා හඩ ඈතින් ඇහුනේ ඒ මොහොතේයි. අපේ ගමේ පාරේ වංගු නිසා බොහෝ දුරක වුනත් නලා හඩ ඇසෙන්නට පුලුවන්. ඒ ඇසුනු සැනින්, ඈතට ඇවිද ගිය පොඩි වුන් දෙදෙනා ආපහු මා සිටි බස් නැවතුමට දිව එන්නට පටන් ගත්තා. එතනට ලං වුනත් අයියාත් නංගීත් බර කල්පනාවක හිටි බැව් මට මතකයි. රුපියලක මුදලින් ඒ දුර දෙන්නකුට තබා එක් අයෙකුටවත් යන්න බැරි බැව් මේ පොඩි වුන් දැන ඉන්න ඇති. බසයේ ඊළඟ නලා හඩ ඇහෙන විට අයියා නංගී යන්න යැයි කීවා. නංගී අඩන්නට උනා. තමුසෙට පයින් යන්නද ඕනේ යැයි අයියා අහන විට නංගී තවත් හැඩීම වැඩි කර අයියා නැතිව යන්න බෑයි කීවා. බසය ළඟ ළඟම එන විට අයියා නංගීව බසයට නැංවීමට තල්ලු කරමින් සිටියා. නංගී අඩමින් පොත් බෑගය විසි කර දැමුවා. අයියා නංගී දිහාත් පටිය ගැලවුණු පොත් බෑගය දිහාත් බලාන හිටියා. නංගී අඩමින් පොත් බෑගය එකතු කර ගෙන අයියා ළගට ආවා. ඒ සමගම ආ බසයට මම නැඟ ගත්තත් ඔව්න් දෙදෙනා පාරේ ඉතිරි වුනා. සිලිං ශබ්දය නගමින් යමක් බසය අද්දනවාත් සමග බිමට වැටුනා. පොඩි වුන් දෙන්නා පිටත්වූ බසයේ දුහුවිල්ල අතර නොපෙනී ගියා.

අද මේ දෙදෙනා කොයි සිටින්නේ දැයි මම නොදත් මුත් පුංචි මගේ සතුව තිබූ රුපියල් දෙක ඔවුනට දෙන්නට පමා නොවුනානම් කොයි තරම් අගේ දැයි මට පසු කලක සිතුනි. මං අත තිබූ රුපියල් දෙක බසයට නගිනවිට බිම දැම්මේ ඔව්නගේ අතට එය දෙන්නට තරම් හයියක් මගේ හිතේ නොතිබුණු නිසා යැයි මම සිතමි. එය එසේ වූවානම් ඔව්න් කුමන ප්‍රතිචාරයක් දක්වන්නට තිබුණිද?

ගමට යන විට මේ තැන් දකින විට අහිංසක පොඩි වුන් දකින විට අදත් මට මෙය හිත තුල නැගේ!!!





Saturday, August 6, 2011

අහස සේ ඔබ අනන්තයි...

අහස සේ ඔබ අනන්තයි...

සයුර සේ ඔබ අනන්තයි...

මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි...

ඔබ අනන්තයි...


වෙණ තතක් හැඬවෙන තැනත් ඔබ

මධුවිතක් උතුරණ තැනත් ඔබ

තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ

පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ


අඩසඳක් සැඟවෙන තැනත් ඔබ

රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ

සිසිලසක් දනවන තැනත් ඔබ

උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ


පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - රෝහණ වීරසිංහ



ප්‍රේමයේ සොඳුරුතම හැඟුම් පිබිද

ආදරය කරන ආදරය පිරි පෙම්වතියකගේ හදවතේ නැගෙන

අව්‍යාජ සුපසන් හැඟුම් වදන් පෙළක ගොනු කර ඇති අරුමය

නාද සිත්තම

නන්දා මාලිනිය ගේ භාව පූර්ණ හැඟුම්බර ගැයුම

බලන්න පෙම්වතියගේ බැතිය ඈ සිත් තුල

ඇයගේ පෙම්වතා ගැන ගැයෙන පද පෙළහි ඇති සංයමය

නිවී සැනැහෙන

සුන්දර සැබෑ සොඳුරු ආදරය......................​........


අසා බලන්න http://www.youtube.com/watch?v=A1QddyTSpz8

Monday, July 11, 2011

කාලයේ වැලිතලාවෙන් සැඟවුනු  ඔබේ අවධානය ඉක්මනින් අවැසි බුදුන් වැඩි මහියංගනය නාගදීප පුදබිම

බොහෝ දෙනෙක් නොදන්නා සර්වඥ ධාතුන් වහන්සේ නිධන් වූ අසිරිමත් පුද බිමකට පිය තබන්නට පහුගිය දිනක මට හැකිවුණා. මේතැන වටිනාකම ලංකාවේ අපි වන්දනා කරන සිද්ධස්ථාන කිසිවකට නොදෙවෙනි නිසා මේ සටහන ලියන්න හිතුනේ.

මේ කතාව ඇරඹෙන්නේ මහියංගනයේ සිටයි. හියංගන නගරයේ ඉදන් බිබිල පාරේ ඉදිරියට කි මි 20ක් පමණ ගිය තැන හමු වනවා උරණිය කියා ගම්මානයක්. මේ උරණිය හංදියේ සිට නාගදීප විහාරය වෙත යන මග යම් අයෙක්ගෙන් ඇසුවහොත් කියාවි ගමන් මග නාගදීප විහාරයට.

ඔබ සිතුවා නිවැරදියි! මම කියන්න යන්නේ මේ නාගදීප විහාරය ගැනයි.

වෙලාව හවස 3ට පමණ ඇති. විහාරයට යන්නට දැන් යම් හොද මට්ටමක පාරක් ඇති බැව් මට පසුව දැන ගන්නට ලැබුණමුත් මම පැරණි මාවතම තෝරා ගත්තා. ඒ ගමන් මග වැටී තිබුණේ නාගදීප වැව් කණ්ඩිය මතින්.

එය තරමක් දුෂ්කර මගක් වුවත් නොඉදුල් වැවේ සුන්දරත්වය හරිම අපූරුයි.මේ ගමන් මග අවසන ඔබට පිවිසිය හැකියි නාගදීප විහාරය නම් වූ නිස්කලංක විහාර භූමියට.

බොහොමයක් විහාර වගේ නෙක කලබල නොමැති මේ විහාරාරාම සියවස් විස්සකට වඩා මෙහි පවතින බැව් බොහොමයක් දෙනා නොදත් කරුණක්. විහාරාධිපති හිමියන්ගෙන් දැන ගත් පරිදි මෙම විහාරය කාවන්තිස්ස රජු කල ඉදි කර දුටුගැමුණු රජු කල නැවත ප්‍රතිසංස්කරණය කරන ලද්දක්. ඇත්තටම අවට පිරික්සන විට ඔබට විවිධ ගොඩනැගිලි හා නටබුන් දැක ගත හැකියි. මේ වන විටත් චෛත්‍යයන් බොධීන් වහන්සේ මෙහි දැකිය හැකියි. ඒ අනුව මෙහි ඵෙතිහාසික වැදගත්කමක් තිබෙනවා.

මෙහි වැදගත්ම දෙය තවමත් කියන්නට තිබෙනවා. එනම් මෙහි ඇති සෙල් ලිපියකද ඇති පරිදි අප බුදුරදුන් වැඩම කල නාග දීපය මේ ස්ථානය බවයි. මෙය තහවුරු කෙරෙන සාධක නම් එතරම් හිඟ නෑ. සැබැවින් ම මේ ස්ථානයේ ඇති ශාන්තිය හා සිත් නිවෙන ස්වභාවය ගැන ගත හොත් එහි යම් දෙයක් පවතින හෙයක් සිත් හි ඇති වනවා.


නමුත් මේ අසිරිමත් ස්ථානය මේ වන විට ඉතා දුෂ්කර ව අභාවයට යම්න් තිබෙනවා. එහි වැඩ වසන ස්වාමීන් වහන්සේට නිසි ලෙස දන් ලැබෙනවා දැයි යන්න පවා සැකයක්. උන් වහන්සේ විහාරය සැඟවී යා නොදී තිර අදිටනින් හි වැඩ සිටිනවා. මේ අවට වසන දුප්පත් මිනිසුන් තම එදා වේළ සරි කර ගැන්මේ සටනේ නිරත වෙනවා. යන්තම් ගොඩ වගාවෙන් ඉරිඟු පළදාව ලබා ගත් විට ඔවුනට සුසුමක් හෙලන්න මොහොතක් ලැබෙනවා. මේ නිසා විහාරය අභාවයට යන එකට ඔවුනට කල හැක්කක් නැති තරම් කියලයි මට හිතෙන්නේ.

ඉතින් දිනකට මහියංගනයට පිවිසෙන බැතිමතුන්ගෙන් කොතෙක් පිරිසක් මෙවන් වටිනා පුද බිමක් ගැන දැන සිටීද? සපථ කිරීමට සාධක කොතෙත් ඇති බුදු පහසින් පවිත්‍ර වූ මේ පින් බිම දැක බලා ගන්නටත් ඉතා ආනුභාව සම්පන්න චෛත්‍ය රාජයාණන් වන්දනා කිරීමටත් අපේ සැඳැහැති පින්වත් දන දැනුවත් කරන්නයි ඔබෙන් ඉල්ලන්නේ. වෙසෙසින් ම තමන් ගේ සුඛ විහරණය පසෙක තබා අනාගත පරපුර වෙනුවෙන් මෙහි වැඩ වසන හිමියන් වෙනුවෙන් සහ මේ පින්වත් බිම වෙනුවෙන් කල හැකි යමක් වේ නම් ඒ සඳහා දායකවන්නටයි මේ දැනුවත් කිරීම.

"මහත්තයෝ බුදුන් වැඩි මූලාශ්‍ර සහිත ඉතිහාසයක් ඇති මේ තැනට නිසි පුද ලබලා දෙන්නයි මට ඕන. කොහොම වුනත් මේ තැන අපි අපට හැකි පමණ බලා කියාගෙන ඉන්නයි එකම බලාපොරොත්තුව. "

එහෙම තමයි ඒ හිමියන් මම ආපහු එන මොහොතේ පැවසූයේ.


මේ පිළිබද වාද විවාද හිත තුල ඇති කර ගැනුම හෝ පිලිගැනුම ඔබට භාර කරමි
. නැවත මහියංගනයට යන දිනක නොවරදවාම වරක් මේ විහාරයට ගොස් එන මෙන් කාරුණිකව ඉල්ලමි.


ඉපැරණි චෛත්‍යයන්



පැරණි බෝධිය















යටගිය නටබුන් සමහරක්

පිය ගැට පෙළ

ගල් කණු

Thursday, June 2, 2011

සිතුවිලි කොතැනද?

ජීවිතය හරි අගේ ඇති දෙයකි. මෙසේ සිතන්නට අප හරි කැමැත්තෙමු. ඇත්තෙන්ම එය එසේ නොවූවානම් අපට ජීවත් වීමට අවැසි නොවනු ඇත.

කොයි හැටි වෙතත් සිදුවීම් අප හිත් තුල සිතුවිලි මවයි. සිතුවිලි වලින් නොයෙක් ක්‍රියා කරවයි. යහපත් සිතුවිල්ලක් නම් යහපත් ක්‍රියාවක් ද යහපත් ක්‍රියාවක් නම් යහපත් ප්‍රතිඵල ද ලැබෙයි. ඒ සනාතන දහම බැව් අවබෝධය එතරම් අපහසු නැත. උදේ දිවා රැයේ සිව් දෙසින් බණ ඇසේ. මේදේ කියන්නට එතරම් අපහසුකම් කරදර විඳින්නේ ඇයි දැයි හිතේ.

නමුත් අද උදෑසන මට සිදුවූ සිදුවීමක් නැවත සිහිවේ.

උදේට කොහොමත් පාර තදබදය මහා වැඩිය. බොරැල්ලට ළං වෙන විට මම දැක්කේ පාර අයිනේ ඉඳන් කහ ඉර හරහා පාර පැන ගන්න වෙර දරණ පිරිසක්. ඉතිං කොහොමත් තදබදය අතරේ යන්න බැරි හිංදා මම නවත්ත ගත්තා රථය. පිරිස බොහොම පුදුමෙකින් නමුත් හරිම සතුටකින් පාර පනින්න උනා. ඒ බව දකින මට ඇති වුණු සතුට හා සැනසුම කිව නොහේ.

ඇත්තටම වාහන ධාවනය කරන්නන්ට විනාඩියක් දෙකක් ප්‍රමාද වීම මහත් ම අපහසු දෙයකි. ඒ බව මට තේරුණේ පසු පස හිටපු මෝටර් රථය නොනවත්වා නලාව ශබ්ද කරන්න ගත් තැනය. ඒ නම් මඳෑ ඒ මෝටර් රථ මා ළඟින් ගමන් කරන විට අපූරු බැණුම් ාපළකින් (හස්ත සංඥා මගින්) සත්කාර කලා නොවැ. පොඩිත්තක් වෙලා යනතෙක් මේ බනින්නේ මට යැයි තේරුම් ගියේත් ටිකක් පසුවී උනත් මට එක දෙයක් නම් තේරුනි. මගේ යහපත් ක්‍රියාවට අයහපත් ප්‍රතිඵලයක් ලැබෙන බවය.

මේ දේ ගැන ලියා තැබීමෙන් කොතෙක් දෙනාට යහපතක් වේදැයි මම මේ මොහොතේ නොසිතමි. ඒ වුනත් මහ මග රියදුරන් කොයි තරම් පීඩනයකින් හිඳින්නේ දැයි කියන දේ අවබෝධ කර ගන්නට මෙය මට උදව් වුන බව නම් පිලිගනිමි. .

ඉතින් මම ප්‍රතිඵලය කුමක් වුනත් පාරේ යන විට ඉවසීමෙන් යන්නට ඉටා ගතිමි. එය ඒ තරම් පහසු නැති බැව් අප හැම දෙනාම දනිමු. උත්සහයක් ගත්තාට වරදක් නැතැයි සිතේ.

මන්ද මම වඩාත් සතුටු වුනේ පාර පැනපු ඒ මිනිසුන් මා දෙස ස්තූතිය මුසු සැබෑ ළෙංගතු බැල්මකින් බැලූ නිසාවෙනි. කුඩා දරුවන් මට නලාව නාද කල ඈයින් දෙස තරහින් බලා සිටියහ. ඇත්තටම එයද අපේ රටේ අනාගතයට යහපතක් ඇති කරන්නේ නැත.

පදිකයින් රියදුරන්ටත් රියදුරන් පදිකයින්ටත් වෛර බැඳ ගනිමින් සිටී. කලින් සිටි තැන මතක ද?

සිදුවීම් අප හිත් තුල සිතුවිලි මවයි. සිතුවිලි වලින් නොයෙක් ක්‍රියා කරවයි. යහපත් සිතුවිල්ලක් නම් යහපත් ක්‍රියාවක් ද යහපත් ක්‍රියාවක් නම් යහපත් ප්‍රතිඵල ද ලැබෙයි.

සිතුවිලි කොතැනද?

Saturday, May 28, 2011

රුක් අත්තන මල මුදුනේ

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ…
සැදෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ…
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ…

මුතු පිණි දැල් සැළෙන උදේ
උදා දිමුතු හිරු එළියේ…
පුතු සවනට රහස් කියා පියමන් කරලා…
අප වෙනුවෙන් දවස ගෙවා
වෙහෙසී එන්නේ…

පතොක් වැටිය උඩින් ඇදී
දිවයුරු මිය යන මොහොතේ…
පුරා හඳක් සේ ඈතින් කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ..


දිවිය ගත වන්නේ සබඳතාවන් හි සොඳුරු සමීප බැව් නිසායැයි මම සිතමි. ඉතින් කියවා බලන්න මේ මව්ගේ සිත් තුලැති සෙනෙහස තම පුරුෂයා වෙනුවෙන් දරුවා වෙනුවෙන්. මේ අපූරුතම සොඳුරුතම උපමා පෙළින් හැඩ ගැන්වූ පද වරුණ දකින මට සියුම් දුකක් ද ඇති වනවා. තම පියා එන මගේ ඇති දෑ සොබා දම හා එකතු වන හැටි කියන ඒ ගැන දරුවාට හඟන මවුන් කොතෙක් සිටීදැයි නොදනිමි? සොබා දම හා දිවි ගෙවන්නට වරම් ලැබ මේ ගීතයට පසුබිම් වූ දරුවා හා මවු කොතෙක් වාසනාවන්ත දැයි එවිට මට සිතේ!!!

ගීතය අහන්න බලන්න අපූරුතම රූප පෙළකින්
http://www.youtube.com/watch?v=9vCGPl0kujg

Thursday, May 26, 2011

එය අපූරු පාඩමකි

මගේ කර දඬු දිගු වූ කල පටන් අප බොහොමයක් දේ ගැන සමාන අදහස් නම් දරා නැත. හැම විටකම පාහේ මම දරන අදහසට තරමක් වෙනස් අදහසක් ඔහු දරයි. ඔහු දරන අදහසට මමත් කිසි විටක එකඟ නොවෙමි. මේ හිංදා බොහෝ විට ඇති වන්නේ මත ගැටුමකි. වාදයකි. අවසානයේ මහා පෙරළියකි. නමුත් කිසි විටක අප දෙදෙනාම අවසානයේ හෝ එකඟ වන්නේ නම් නැත.

මැදිහත් පාර්ශවය ඇවිත් අප දෙදෙනාටම බැණ අඬ ගසමින් සිනාසෙමින් අපව සමථයකට පත් කරන තුරුම අපි වාදය කර ගෙන යමු.

කාලය බොහෝ දේ අපට ලබා දෙයි. එය සබසක්ම ය. බොහෝ අත් දැකුම් දිනපතා අප විඳියි. නොයෙක් පිරිස් ඇසුරු කරවෙයි. ඉන් ලැබෙන්නේ අපමණ දැනුමක් මය. විවිධ අවස්ථාවල විවිධ ඈයින්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කිරීම අපූර්ව අත්දැකුම් එක් කරයි.

මම කතා කරන්න උත්සහ කරන දේ ඔබට තවමත් පැහැදිලි නැති බැව් නම් මා දනිමි

ජීවිතය ඔබට බොහෝ දේ ලබා දෙයි. නමුත් වඩාත් වැදගත් වන්නේ ජීවිතය තුලින් අන් අයටත් යහපතක් කරමින් තමන් සුව සේ දිවි ගෙවීමයි. මෙය මට කියා දුන්නේ ඔහුය. ඒ පමණක් නොවෙයි ඔහුට මෙලොව කිසිදු තරහාකරුවකු නැත. කිසිවකු හා තරහා බැඳ ගැනීම මහාම මෝඩ තකතීරු ක්‍රියාවක් බැව් මගේ මුල් ම පාඩම් වලදීම කියා දී තිබේ. තේරුමක් නැති දෙයක් අනවශ්‍ය දෙයක් කියා සිතුනත් එය හරි අගේ ඇති දෙයකි. මන්ද එහි අන් තේරුම ලොවම ඔබ ගේ මිතුරන් කියන නිසාය.

නෑදෑයින් යනු ඔබ සතු ධනය නම් මිතුරන් යනු ඔබ අත ඇති ශක්තියකි. මේ කරුණ තේරුම් ගැනීම හා තේරුම් කිරීම මේ වැකිය කියවීම තරම් පහසු නැත. ඒ බැව් ඔබ වටපිටාව බැලූ විට වටහා ගත හැකි වනු ඇත.

අද වන විට අප අවට දකින බොහෝ දෑ ඇසුරු කරන්නන් තුල ඇති ගැටුම් වියවුල් ඇත්තේ මේ වැටහුම නැති නිසාද කියා මට හිතේ. කතාව ඉදිරියට ගෙන ගිය හොත් නැවතත් තරහා නොබැඳ ගැනුම හා සබඳතා පවත්වාගෙන යාම කියන තැනට අපි නැවත එන්නෙමු. මේ කලියුගයේ උපරිමයදැයි කියා හිතෙන්නේ මේ තරම් කඩි මුඩියක් හදිස්සියක් හැම දෙනාටම ඇති නිසාය. කවුරුත් තරඟයට මෙන් දුවයි. හති දමන්නවත් වෙලාවක් නැති බොහොමයක් දෙනාට මුහුණූ පෙන්වන්නටවත් මුහුණු පොතවත් පිහට වෙමින් සිටී. බලාපොරොත්තු ඉහ උඩින් තබා කර පහත් වී ඇත.

වඩා වැදගත් වෙන්නේ සරල සන්තෝසයද පරිපූර්ණ තෘප්තියද යන්න ගැටළුවක් වී තිබේ. අවශ්‍යතා වලට වඩා අනවශ්‍යතා වැඩිය. වාසනාවකට මෙන් ඔහු මට අවශ්‍යතා පිළිබඳ නීතිය උගැන්වීය. අපට කලක් යන තුරුම වර්ණ රූපවාහිනියක් නොවීය. හැබෑවට ම වර්ණ රූපවාහිනියක් තබා අපේ ගමට විදුලිය ආවේත් මම 4වසරේ දීය. ඉතින් මගේ මුල්ම හීනය වර්ණ රූපවාහිනීයකි. මගේ මිතුරාගේ නිවසට ගෙන ආ වර්ණ රූපවාහිනිය මට කොතෙක් බලපෑම් කලේද යත් මම වර්ණ රූපවාහිනියක් ගෙනෙන තුරු අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාවකට බැස්සෙමි. සාමාන්‍ය විදිහටම මින් වඩාත් බැට කෑවේ මැදිහත් පාර්ශවය වූ අපේ අම්මාය. මම කෑම අඩුවෙන් කෑම ඇත්තටම මට මෙන් ම ඇයට ද මහත් අසහනයක් ගෙන ආවේය. හැබැයි වර්ණ රූපවාහිනියක් ගෙදරට ආවේ නැත. ඔහු කිසිවක් කීවේද නැත. මට නැවතත් බඩ පුරා කෑම කන්නට වැඩි කල් ගියේද නැත. ඒ අවශ්‍යතාවයේ අනවශ්‍ය බව ඉන් වසර කීපයකට පසු වර්ණ රූපවාහිනියක් ගෙදරට එන තුරුම මට දැනුනේද නැත.

හැබැයි ඔහු මට එක් දෙයක් කීවේය. දැනුත් හැම විටම කියයි. තමන්ගේ අවශ්‍යතාව තමන්ටය අන් අයගේ අවශ්‍යතාව ඔව්න්ගේය. එය ඔව්නට ම තියා ගන්න දෙන්න. තමන්ට අවැසි දේ තමන් තෝරා ගන්න.

ඇත්තය. මොන පෙරළි සෙල්ලම කලත් තෑග්ගට මම හැම දාම පොත් ම තෝරා ගතිමි. එහි ප්‍රතිඵලයක් ලෙස පොත් ගොඩක් මා ළඟ තිබේ. තවෙකෙකුට ඒ පොත් ගොඩ තව්ත් පොත් ගොඩක් ම වන කල ඇතැම් මිතුරෙක් පොත් බදා ගන්නට යයි. ලෝකය කොයි තරම් අපූරු ද කියා දැනෙන්නේ මේ හැම දෙනාම මම සමීපව ඇසුරු කරන්නන් වීමයි. වෙනස් විදිහට හැදුනු මිනිසුන් නිසා වෙනස්ම දේ බිහි වී තිබේ.

හොඳ මිනිසුන් හා නරක මිනිසුන් නැත. ඇත්තේ වෙනස් මිනිසුන්ය. මිනිසුන් වෙනස් මිනිසුන්ගෙන් එකම දේ බලාපොරොත්තු වීමත් ඒ මිනිසුන් සමඟ තරහා වීමත් මොන තරම් මෝඩ තකතීරු කමක් ද?

සිතේ තරහක් නැත. තරහා වූ අයද තරහා යන අයද නැත. අපූරු මිනිසුන්ගෙන් පිරි ලොවකි. දෙවියනේ මේ දේ මට ඔහු මුලින් ම කල පාඩම වීම මගේ වාසනාවකැයි දැන සිතේ. ඇත්තටම එය අගනා පාඩමකි.
ලබන සතියේත් අප වාද කරනු ඇත. නමුත ඔහු ගේ මේ පාඩම මා හට මිතුරන් අපමණක් තනා දී ඇත. ඉන් එක් කිපුණුවකු නැත.

ඉතින් නැවත මුල් කතා ව මතක් කර ගන්න හොඳ ප්‍රවේශයක් දැන් මම හදා ගෙන තිබේ. හැබැයි තවත් මෙතන කතා කරන්නට දැන් ඉඩ නැත.

එය අපූරු පාඩමකි

Friday, May 20, 2011

ගිමන ට ලියැවුනු කව

දුවාලන දිවි ගමන මුලා ව සිහිසුන් ව
ගෙවා ලන කල දැක
සිනාසෙන
අයෙකු දුටිමි යම් තැනක

විසල් සිතුවම් අතර මැවි මැවී නොපෙනී යන
සියුම් සිතවමක් ඇඳි
අයකු
සැඟව හිනැහෙනු දුටිමි වරක

සිතුම් සැනැහුමෙන් දිවි තරණය කරන
තුටුව සුව සිත් ඇති ඈත ගමනාන්තයකට
පාව යන
සැබි හෙළබොදෙක් වනු දැන

එබී බලන හිනැහෙන නෙතු යට
සැබෑ සොඳුරු මිනිසත් බැව්
රඳන
සොඳුරු මිනිසකු දුටිමි දිනක

Saturday, April 16, 2011

ජාතික තොටිල්ල - එස් මහින්ද හිමි

දැයක් නගන්නට තම වදන් මෙතරම් සරලව නමුදු ව්‍යක්ත ලෙස භාවිතා කල විරලතම අවස්ථාවන් අතරින් ටිබෙට් ජාතික එස් මහින්ද හිමියනගේ මේ පද පෙළ මාලාව ඉහලම තන්හි තැබිය හැකි වේ. පද ගැලපුම තුලින් ජන මන පිබිදීමෙහි ඇති කරන හැඟුම් පෙළ තම රට පිළිබඳ ඇති කරන්නේ උසස් හැඟුමක්මැයි.

මෙහි මා දක්නා වඩා අපූර්වත්වය වන්නේ මෙහි ඉදිරිපත් කිරීමේ ශෛලියයි. එනම්
මේ තරම් සිත් කුළු ගන්වන බලවත් හැඟුම් ජනිත කරවන පද පෙළ ම ජාතික තොටිල්ල තුල නැලැවෙන රටේ අනාගතයට හිමි කම් කියන සිඟිත්තාගේ දෙසවනට නැළවිල්ලක් සේ ගැයිය හැකි වන සේ සියුම් ලෙස පද ගැලපුමයි.

තම දෙස බස රැස ගැන හැඟුමක් නැති ව වල්මත් ව තරඟයේ දුවන සියල් දනා වෙත මේ පද පෙළ නව අරුතක් ගෙන එනවා. කියවා බලන්න සංයමයෙන් පැදි පෙළ, කුමක් සිතේද ඔබට?

මේ පැදි පෙළින් ජාතික තොටිල්ලේ නිදි ගැන්වෙන පුන්‍යවන්ත බිළින්දන් කිසිදු දිනක තම දෙස බස රැස අමතක නොකරනු බැව් මාගේ විශ්වාසයයි. එවන් බිළිඳුන් කෙතරම් වාසනාවන්තදැයි මට සිතේ!!!

1.
මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිඳියන්නේ

2.
නිදහස මහ මුහදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ

3.
විජය තුමා තම්මැන්නේ
පිරිවර සෙන් සමගින්නේ
සිටි සැටි දැන් සිහිවෙන්නේ
මගේ පුතා නැළවෙන්නේ

4.
දෙන දිවි මුත් රට වෙනුවෙන්
ජාතික දරුවන් ලැබුවෙන්
මිදි නොයෙක් සතුරු මුවෙන්
ලක් මව් විසුවාය සුවෙන්

5.
තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

6.
දෙව් පුර මෙන් දෙවියන්නේ
සිරි ලක දිව් බබළන්නේ
එහි සක් දෙව් රජු මෙන්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

7.
ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ

8.
ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

9.
සිරි මහ බෝ සිඹිමින්නේ
මහමෙවුනා පෙදෙසින්නේ
සුළං දෑලක් මේ එන්නේ
මුටසිව රජු සිහිවෙන්නේ

10.
ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එ මී

11.
එදා පටන් මෙසිරි ලකේ
සම්මා සම් බුදු මැණිකේ
දම් එළියෙන් අඳුරු මැකේ
මිසදුටු විසකටු නො රැකේ

12.
දනන් කෙරෙන් මෙලක් දිවේ
පළමුව බොදු බැති වුවේ
අප පියතිස් නරනිඳු වේ
ඉගෙන ගනින් මගේ පුතේ

13.
ලන මෙන් මොක් පුර අරවා
ලෝවා මහ පහ කරවා
ඒ අප සිංහල දරුවා
සිරිලක් මව තුටු කෙරුවා

14.
ගොස් මාගම් පුර පවරා
අප මහ නා දෙරණිසුරා
මාගම් රජ පරම්පරා
ඇති කොට විසුවේ එ වරා

15.
කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී

16.
අවිචියේ කප් දහසෙත්
වහල් කමේ එක් දවසෙත්
වෙනසක් නැති බව සිතතොත්
උඹට පුතේ වැඩ සැලසෙත්

17.
තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ

18.
තිස්ස රජුන් හට රුහුණේ
එඩිතර කුමරකු ලැබුණේ
ඉන් පසු සිරි ලක් දෙරණේ
ජාතික බැති මල් පිපුණේ

19.
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

20.
විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජයගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී

21.
රුවන්මාලි සෑ තනවා
මුනි පුත් සඟ ගණ පිනවා
ගිය එ රජුන් සිහි වෙනවා
මගේ පුතා නැළවෙනවා

22.
එළාරගේ මළ කුණටත්
ගරු බුහුමන් කළේ ඉමහත්
ගැමුණු පුතාගේ මෙ සිරිත්
පුරුදු කරන් පුතේ උඹත්

23.
ලියන 'තුරින් මෙ ලක් දිවේ
පළමුව මහ පළ ලැබුවේ
අප අනුලා දේවි වේ
එහෙම වෙයන් උඹත් දුවේ

24.
සිය රට ගැන ළය උණු වී
වැද මහ මුහදට බිලි වී
ආ ඒ කැළණියේ දේවී
මගේ පුතා නළවාවී

25.
වැද යුධ බිම නොම බිය වී
විහාර මහ රජ දේවී
පෑ විමන් සැටි සිහි වී
මගේ පුතා ඔද වේවී

26.
තුදුස් වසක් වල් වැදිලා
සිට දෙමළුන් බල බිඳලා
පුරඳුරු සිරි ඇර පාලා
ලක එක සේසත් නඟලා

27.
වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්

28.
අබය ගිරි සෑ තනවා
දඹුලු විහාර ද කොටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන් හෙළි කෙරුවා

29.
සිය රට ගළවමියි සිතා
දිවි දුන් සැඬ රුපුන් වෙතා
සෝමා දේවිගෙ පුවතා
ඉගෙන ගනින් මගේ පුතා

30.
මහ සිළු මහ තිස් නිරිඳා
සඟ සැට දහසකට එදා
සැට දහසක් සිවුරු පුදා
කළ පින්කම් සිතනු සොඳා

31.
සොළී පුරේ වැද ගජබා
සොළින්ගේ දප් සිඳ නො තබා
පෑ සිංහල විකුම් සොබා
සිතෙන විටත් සිත් පොළඹා

32.
බුදු ගොස් මහ තෙරිඳු ලවා
දහමට අටුවා ලියවා
ඒ අප සිංහල දරුවා
සිරි ලක් දිව හෙළි කෙරුවා

33.
අත්නගලු වනයේ දී
මඟියෙකු හට හිස දන් දී
බුදු බව පැතු සඟබොධී
සිහි කරපන් සිත පෑදී

34.
අහසේ නිල් වළාකුලේ
ගැටෙන රුවන් කොතිනුදුලේ
දෙව්රම් මහ සෑය කෙළේ
මහසෙන් මහ රජු ඒ කළේ

35.
හේමා රජ කුමරි එදා
දළදා හිමි ගෙන ආ දා
සාදු නදින් දෙව් සමුදා
ගුම් ගති සිරි ලක් සමුදා

36.
දැක කළු ලෙඩ නයෙක් එදා
අප බුදුදස් මහ නිරිඳා
කළ පිළියම් සිතන සඳා
උඹට පුතේ සැප ම සදා

37.
කුමාරදස් රජු පොරණේ
බැන්දේ ජානකිහරණේ
බමුණන්ගේ ඔද බිඳුණේ
සිහපුන්ගේ නැණ වැඩුණේ

38.
මිතුරා හට දිවි පිදුවේ
ඒ රජු ගේ ගුණ සිහි වේ
එඩිතර සිංහල පපුවේ
සැටි ඉන් කාටත් කියවේ

39.
ඉදි කොට පුර පොළොන්නරූ
අප පැරකුම් රජ කුමරූ
දඹදිව ජයගත් අයුරූ
උඹට පුතේ වෙයි මියරූ

40.
පද රස එක් කොට මෙ ලොවේ
කුස ජාතක කව් කෙරුවේ
දඹදෙනි පැරකුම් රජු වේ
ඉගෙන ගනින් මගේ දුවේ

41.
කළ වියකන විසුදු මගේ
වික්මැති ඒ රජුගේ රඟේ
සිහි වන මා පුතුගේ ඇඟේ
ලේ උණුසුම් වෙවී නැඟේ

42.
ඇති නම් මා අත කඩුවක්
මට සක් දෙව් කෙරෙයි කුමක්
මේ බස කියු සිහල පුතෙක්
උඹට පුතේ වෙයිද මතක්

43.
බලනේ කඳු මුඳුනේ දී
පරංගියා මැරුණ විදී
ඇසුවොත් පුත සිත පැහැදී
රාසිං දෙවියන්ට වඳි

44.
ඇහැළේපොළ පුත් කුමරූ
කඩුවට ගෙළ දුන් අයුරූ
පුරුදු කළොත් සිහල දරූ
නිදහස අත්වනු නිබොරූ

45.
නිදහස් හිරු දෙව් එනවා
දෑ බැති මල් පිබිදෙනවා
සිරි ලක් මව් හිනැහෙනවා
මගේ පුතා නැළවෙනවා

46.
නො දී වැටෙන්නට විපතේ
තබනට නිදහස් සැපතේ
මුළු ලක් දිව නුඹේ අතේ
තබමි ඉතින් ඔන්න පුතේ

47.
විජය අබා රජ්ජුරුවෝ
සැඬි දෙමළුන් වඳ කෙරුවෝ
පෙර අප සිංහල දරුවෝ
මෙ බඳු හපන්කම් කෙරුවෝ

48.
පඬි සක්විති තොටගමුවේ
වීදාගම වැත්තෑවේ
ඉපදුණ මේ ලංකාවේ
ඉපදීමත් පිනක් ම වේ

49.
කැප්පැටිපොළ සෙනෙවි සුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මියුරූ

50.
ඇඳි සළුපට ගෙන සෝදා
දළදා සමිඳුන්ට පුතා
කඩුවට ගෙළ දුන්නේ එදා
ගුරුකමටයි උඹට මෙදා

51.
එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ

52.
මැරුණොත් යළි උපදින්නේ
අතරක නෑ පවතින්නේ
එම මරණෙට ඉතිකින්නේ
ඇයිද පුතේ බය වෙන්නේ

53.
බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි

54.
ගන්නෝරුවේ කඳු මුදුනේ
සිට රජසිහ එ දිනේ
නැංවු යුද හඬ මෙ දිනේ
රැව් දෙයි ම පුතුගේ සවනේ

55.
සිංහල ඊ පහර වැදී
පරංගි සෙන් වැටුණ විදී
සිහි කෙරුවොත් සිතින් ළැදී
නුඹට අදත් පෙනෙයි ඇඳි

56.
නිදහස් ලිය ලියලන්නේ
සම් මස් ඇට පොහොරින්නේ
මේ සිතිවිලි සමඟින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

57.
පිළගම දේවාලේ වැදී
සිටි නිරිඳෙක් බයෙන් බැඳි
රෑ සිහිනෙන් දුටු පරිදී
පින් පැණ යුත් පුතෙක් ලදී

58.
ඉන් පසු සිරිලක සිරියා
වැඩි විය සුර පුරෙක නියා
වැටෙමින් සිටි සිංහලයා
ගේ නම ලොව පැතිර ගියා

59.
"නිවටුන්ගේ බිය සහදයි"
යනු කීවේ එ මහ රජයි
පුත නුඹගේ ගතයි හදයි
එ බසට යොමු කළොත් හොඳයි

60.
ලක එක සේසත් සෙවණේ
තැබු ඒ නිරිඳුගේ සරණේ
ලද ම පුතුට මුළු දෙරණේ
වෙන සැප කිම එම පමණේ

61.
"අහස් දියෙන් බිඳක් පවා
ඉවත නොගොස් නැවතේවා "
ඉටමින් මහ වැව් කණවා
වැඩ කෙළේ ඒ රජ දරුවා

62.
ලැග සිටිමින් වහල් බවේ
මෙත් කෙරුවත් පලක් නොවේ
පුත නුඹ හද මල් ගොමුවේ
මේ මල් පිබිදිය යුතුවේ

63.
කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩ ගෙන දස්කම්
පෑම තමයි සුරුවිරුකම්

64.
සතුරුව පෙරමුණට එතොත්
අර මහමෙර සමඟ වුවත්
සතුරු වෙයන් පුතේ නුඹත්
ඒකයි හරි වීරකමත්

65.
මිතුරුකමින් පෙරට එතොත්
දූවිල්ලක් එක්ක වුවත්
මිතුරු වෙයන් පුතේ නුඹත්
එයයි ලොවේ ගුණය මහත්

66.
උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

67.
සිරිකත මිණි විජිනි පතින්
පවන් සලයි නුඹට මෙතින්
බියක් සැකක් නො ව යහතින්
නිඳා ගනින් පුතේ ඉතින්

68.
බීමට එක කිරි උගුරක්
කෑමට නිසි රස අහරක්
නැතියෙන් උඹ වැනි දහසක්
අනේ පුතේ විඳින දුකක්

69.
අපිය අපේ රට රැක්කෝ
කියන අපේ ලොකු ලොක්කෝ
මේ බව තව නො ම දැක්කෝ
අපට ඉතින් බලයක් කෝ

70.
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරි කොට සිතතොත්
උඹයි මගේ පුතා සමත්

71.
විහාර මහ රජ දේවී
ගැමුණු පුතා හා එක් වී
සිහිනෙන් නුඹ අමතාවී
කළ යුතු දෙය පවසාවී

72.
කව්සේකර ගුත්තිල දා
සසදා සහ මුවදෙව් දා
මේ සිංහල ගත් සමුදා
දෙයි ම පුතුට නැණ පහදා

73.
මියුරු කොවුල් සැළ පරෙවී
තිසර ගිරා සරණ අවී
මේ ගත්වල තියෙන කවී
රසය උරා බොනු මැනවී

74.
විදු සක්විති ඇදුරිඳුගේ
බුත්සරණේ තිබෙන අගේ
දැන ගෙන පොඩි පුතා මගේ
වෙන්න උඹත් මතු එ වගේ

75.
විසතුරු පද අරුත් සොමී
එක් කොට පඬි ගුරුළු ගැමී
කළ දේ පොතින් වැහෙන එ මී
මගේ පුතාටත් කවමී

76.
සිනිඳු මොළොක් බව මලෙහී
පිරිසුදු බව පිනි බිඳෙහී
එක් වී මා පුතුගේ ළෙහී
අරක් ගනී හැම දිනෙහී

77.
ජාතික දෙව් ගී ගයමූ
මුළු ලෝකෙ මත් කරමූ
නිදහස් දෙව් දූට හමූ
වෙන්ට අපිත් පෙරට යමූ

78.
කුල බේදය ලියලන්නේ
ජාතික බැමි පුපුරන්නේ
මේ රට මේ විපතින්නේ
උඹ ද පුතේ ගලවන්නේ

Friday, April 15, 2011

යොවුන් වසන්තයේ

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...

රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...

දිළිසෙන කඳුළේ කිරණින් නෑවී

සිඟිති ආදර දූපතක තනිවී...

ගංඟාවක් සේ - ගලා බසිනු මැන

නිරන්තරේ සිනා සිසී...

හසරැලි ගවසා තුරු මුදුනේ

කල්පනා තෝතැන්නේ...

තරු අහුරක් සේ - රෑ ඇවිළෙනු මැන...

අහස් ගඟේ දියඹ දිගේ...


බොහොමයක් දෙනා හිතන දෙයක් තමයි නන්දා මාලිනී වැනි ප්‍රබුද්ධ ගායක ගායිකාවන්ගේ ගීත රස විඳින්නන් සරල වචන වලින් සැදි ගීත වලට විරුද්ධ බැව් හා සරල පද වලට ගරහන බැව්. මේ අපූර්ව ගීතය සරල පද එකතුවක සැබෑ අරුත, මිහිර, සොඳුරු බැව් පහදා දෙනවා/ කියවා යන්න ගී පද පෙළම එක පෙළට දැනේවි ඔබට සොඳුරුතම යෞවනයේ අපමණ සැහැල්ලුවකින් ලොවම ඔබ හා සිනාසෙන බැව්.

ඒ නමුදු මේ ගීතයේ සරල සුන්දර පදපෙළ තුල මිහිරියාව ජනිත කිරීම රැක ගැන්ම පමණක් නොව පෙළින් පෙළ එය තීවර කරනුවස් පද රචකයා තුල තිබූ සියුම් හැකියාව හා සංයමය අගය කිරීමට මා සතු වදන් පමණ නොවේ!!!

ගීතයක ප්‍රාණය හැඳිනීම හා එහි ශ්‍රාවකයා ජීවත් කරවීම තනු රචකයාගේ කාර්‍යයයි. ඉදින්,ජීවිතයේ මිහිරිතම සොඳුරු බව හිතට ගෙන එන්නට, වෙසෙසින්ම ගීතය අසා ඒ ලොව තනි වන්නට මේ තනුව තුල ඇති සියුම් සුමට බව, ගීතයට ගැල‍පෙන සේ ප්‍රාණ වායුව පිඹින නන්දා මාලිනියගේ ගායනය තුල ඇති වෙනත් මානයන්වෙත අප කැඳවා යන්නට අපමණ සහයක් ලබා දෙන බැව් මගේ හැඟුමයි!!!


මෙතනින් අහන්න http://www.youtube.com/watch?v=7gUBU6dOPzQ

Wednesday, March 2, 2011

සරුංගලේ වරල් සැලේ

සරුංගලේ වරල් සැලේ

නිසංසලේ ගුවන් තලේ

අපෙන් මිදී වෙන රටකද යන්න හදන්නේ

උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ


සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි

සරුංගලේ ලාටු උලා රැළි කෙරුවේ අපේ ළමයි

සරුංගලේ කොල අලවා හැඩ කෙරුවේ අපේ ළමයි

සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි


සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි

සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි

සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි

සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි


මට මේ ගීතය ඇහෙන හැම මොහොතකම හිතට විස්තර කල නොහැකි දුකක් දැනෙනවා! බොහෝ වෙලාවට ජීවිත ගමනේ ආ මග තුල යමක් අපට දායාද කර දුන් බොහෝ දෙනා සිහිපත් කරන්නක්. හැබෑවටම බට පතුරක් අහසට නංවා නිදහසේ පා කර අරින්නට වන වෙර විරිය කොයි තරම් වේද ඒ තරමට ම සරුංගලය ...අහසේ පියාසරන විට එය තැනුවන් තුල ඇති වන පහන් සංවේගය කවියා මෙතනදී නොකීවත් සිහිපත් වන්නක්. සදහටම රට හැර යාම කොතරම් සංවේගයක් ඇති කරන්නේ දැයි මෙය බලන විට දැනෙන්නක්.

මේ හැම දෙයක් ම අමතක කලත් මට නම් මේ හැමටම වඩා සිහි වන්නේ පුංච් මා නිදහසේ සරුංගලයක් තනා අපහසුවෙන් ගුවන් ගත කර නූල ගිලිහී සරුංගලය ඈතට පාවී ගිය සොඳුරු අතීතයක්. හිතට කිව නොහැකි දුක නම් ඒ අපූරු සරල සුන්දරත්වය නැවත විඳිය නොහැකි බැව් සිහිවීමමැයි!!!


මේ අපූරු ගීතය අහන්න මෙතනින්

http://www.youtube.com/watch?v=2T1u6jUnyZQ


Friday, February 11, 2011

අනාගතය දකින මුහුණු

උණුසුම් ම රැස් පතිත වූ මද්දහනේ දහසකුත් පිරිසක් බොහොම කඩිනමින් ඉදිරියට ඇදුනේ තෙහෙට්ටුව අමතක කරලමින්. සෙවන වු සිසිල් කුටියට පැමිණි පිරිස ආ ගමන බාල කර ගත්තේ අපූර්ව තැනකට පැමිණි බැව් හැඟුනු නිසාවෙන්.

විවිධ වයස් කාණ්ඩයන් වලට අයිති පිරිස අතරේ බොහොමයක් දෙනා වටපිට බැලුවේ මඳ චකිතයකින්. ඔව්න් අවට තිබුණු සමහරක් දෑවල තිබුණ ආගත්තුක බව එයට හේතු වුණා. ඒ හේතුව ම ඔවුනගේ හිතට කුටිය තුලින් ඉක්මනින් පිටව යාමට බල කලා. නමුදු ඒ පසුකර යන කුටිය තුලින් අනාගත ජීවිතයේ වෙනස්කම් වෙත ගෙන යන මාවත වැටී ඇති බැව් කිසිවෙක් දැන සිටියාදැයි යන්න සැකයක්. මේ කඩිනම් ගමන මඳකට නතර කරවමින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය කියන බර වචන තුන ඇතුලේ ඇති සරල නමුත් සිත්ගන්නා අනාගතය ගැන කතාන්දරය බෙදා ගැනුම දිගින් දිගටම කරගෙන යමින් තිබුණා. නෙක පස ඇති විවිධ දෑ ගැන විමසිලිමත් දෑස් යොමු වූ මොහොතේ ඔවුන් වෙනුවෙන් ම වෙන් කර තිබූ පරිගණක සඳහා එතරම් ම තදබදයක් තිබුණේ නෑ. ඒ නමුත් කිහිපදෙනෙක් එකතුව කරන යම් යම් දෑ ගැනත් ඉන්පසු තිරයේ දිස්වන දෑ ගැනත් බොහෝ දෙනා බලා සිටියා. තාක්‍ෂණය ගැන කියවුන කතා බහත් අපේ අනාගතය අනාගත රාජ්‍ය අංශ්‍ය ගැන කියවුනු කතාන්දරත් අවසන, මේ කුටිය තුල හැම දෙයක් ම ඔබ වෙනුවෙන්මයි කියැවුනු විට බොහොමයක් දෙනාගේ මුහුණු වල නැගුණු හැඟුම පුදුමය සතුට ගෞරවය මුසු වූ එකක්.

සුපුරුදු පරිදි ඉන් පසු පිරිසක් කඩිනමින් පිටව ගියත් තවත් පිරිසක් කුටිය තුල රැඳෙමින් සිටියා. රැඳුනු පිරිසේ එකා දෙන්නා බැගින් පරිගණක කරා ලං වුනේ අන් පිරිසේ සිත් සන්සුන් කරවමින්. පරිගණක ළඟ රැඳුනු අපේ සොයුරන් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයේ ප්‍රතිලාභ පසෙක තබා කොම්පියුටරයේ චමත්කාරය හැමටම බෙදා දුන්නේ නොමසුරවමයි. පිරිස තුල තාක්‍ෂණයට ඇති දුරස්ථ බව ලං කරන්නට විවිධ ක්‍රම භාවිතා කෙරුණා. සියඹලා ගහ ගැන විස්තර සෙවීමේ සිට ඉතිහාසය සමාජය දේශය ආගම දැනුම ඔස්සේ අන්තර්ජාලයේ දේශීය බස භාවිතය දක්වාත් ඉන් අපේ රාජ්‍ය අංශය දක්වාත් පැතිරුණු දැනුවත් කිරීම ප්‍රායෝගිකව ම අත් දුටු යම් කෙනෙක් මඳ සිනා පහල කලා. ඉනුත් දේශීය බසින් අන්තර්ජාලය තුල ඇති විවිධ දෑ දකින බොහෝ දෙනෙක් තුල ඇති වූයේ කලක් දන්නා අයෙක් නැවත දුටු විට දකිනා සිනහවක්. කටයුතු අතරේ බොහොමයක් දෙනාගේ මුහුණු කොම්පියුටර් ගැනත් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයේ ප්‍රතිලාභ ගැනත් පොඩියෙන් නමුත් ධනාත්මක අදහසකින් පිරී ගියා. නමුත් නුදුරු කාලයක මේ ප්‍රතිලාභ ගැන වැඩි දුර අවබෝධයක් ඔවුනගේ හිතට දැනෙන බව කිව යුතු නොහේ.

කාලය ගත වුණා, මෙසේ බොහෝ වාරයක් බොහෝ පිරිස් කුටිය තුලින් පියමන් කලා. හැම පිරිසක් එකතු වෙන මොහොතක ම පරිගණක සිනාසුනා. කුටිය ජව සම්පන්න සැනසුම් හැඟුමකින් පිරී ගියා. ඒ සැනසුමින් වටපිට බලන විට අසුනක් ළඟ කෙලවරක එක් දෑසක් ළඟ නෙත් නතරවුණා.

මේ නෙත් පසුගිය පිරිස් පෙල කීපයකම දුටු බැව් මට හැඟුනා.

ඔහුගේ අතේ තිබුණේ කොල කීපයක් පමණයි, අන් බොහොමයක් දෙනා ගෙනයන විවිධ පත්‍රිකා ගොනු ඔහුගේ අතේ තිබුණේ නෑ. සුදු පැහැයට හුරු නිල් පැහැති කොට කලිසමකින් හා අච්චු වැටුනු සුදු කමිසයකින් අවුරුදු 13ක විතර වයසැති කුඩා සිරුර සැරසී තිබුණා. බොහොම පිලිවෙලට දැමූ පාවහන් යුගලකින් සැරහුනු මේ අමුත්තා සතුටකින් පුදුමයකින් හා තිගැස්මකින් මා දෙස බලා සිටියා. මා ඔහු වෙත යත් ම සෝපාවෙන් මෑත් වූ ඔහු සෙමෙන් පිටතට පිය මනින්න වුණත් අපේ සොයුරන්ගේ හෘදයංගම සිනහවින් පිරි කරුණා බර මුහුණු ඔහු ව මාවෙත නැවත යොමු කරන්නට ඇති.

ජීවිතයේ කිසි දිනක පරිගණකයකට අත නොතැබූ අමුත්තා පහුගිය විනාඩි කීපයක්ම තනිවම වට පිට බලමින් හිඳ තිබුණා. ඒ නමුත් පරිගණක අසලට යන්නට පුංචි හිතට හිතුනා දැයි යන්න සැකයක්. එසේ යන්නට හිතුනත් ඉන් ඇති ඵලය ගැන නොදැනුනාට සැකයක් නෑ. ඒ නමුත් කිසිවෙකුත් නොදන්නා සියුම් හැඟුමක් නැති නම් ඔහු සතු අදිටනක් ඔහු ව අප කුටිය තුල රඳවා තිබුණා. ඒ හින්දාමයි මේ අමුත්තා හට සරල නමුත් බොහොමයක් දෑ ගැන අපි කියා දුන්නේ. සෙවුම් යන්ත්‍රයක ඔහු කැමති දෙයක් හොයා ගන්නට රිසි දේ ගැන අපෙන් විමසන්නටත් ඉඩ විවර වී තිබුණා. ඒ උනත් පුංචි අමුත්තා පලමු වෙබ් පිටු කීපයෙන් පසු විමසුම් කලේ නෑ. යම් යම් විටක බස නොවැටහීම හරස් වුනත් ඔහු බොහෝ පිරික්සුම් කලේ හිතට ආ යම් වැටහීමකින් බව පෙනුනා.

විනාඩි පහලොවකට පසුව තම පුතු රැගෙන යාමට පැමිණි මව හමුවන විට පලමු ක්ලිකයෙන් ම අපේ පුංචි මිතුරා බොහෝ දුරක් ගිහින් තිබුණ බවක් ඔහුගේ මුහුණ තුල රැඳී තිබුණා. අනාගත දිනක ඔහුට තම පලමු පරිගණක අත්දැකුම අමතක නොවනවාට සැක නැහැ. ගමන තුල දුටු වඩාත් ම වටිනා දෙය දකින්නට ලැබුණ මොහොත එයයි. එය අප ඉදිරි ගමන් මඟ ඇති විවධත්වය සංකීර්ණ භාවය හා වැදගත්කම හැබැහින්ම කියාපන්නක්.

ඇවිදීමෙන් තෙහෙට්ටු වූ මවගේ මුහුණ දුටු ඔහු පරිගණකය අසල සිට පෑවේ මඳ සිනහවක්. සැබෑම අව්‍යාජ ආඩම්බරයක් සතුටක් අපමණ තෘප්තියක් ඒ සිනහව තුලත් ඒ සිනහව දුටු මවගේ මුහුණ තුලත් රැඳී තිබුණා.


Sunday, January 2, 2011

සුබ නව වසරක්!

"අළුත් වසරක්
නැවුම් බලාපොරොත්තු
සිහින රැසක්
නව වසර තුල අප සතු දෑ ගැනම නොව
අප වටා සිටින මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සිත් යොමමු
ජීවිතයට වඩාත් දැනෙන හැඟෙන
අපූර්වතම සුපසන් හැඟුම් දැනෙන්නේන
ලොව වෙසෙන සොඳුරු මිනිසුන් නිසාවෙනි"
සුබ නව වසරක්!

සමීර