Sunday, March 25, 2012

මග කියන කතාව !


මාවත කාටත් පොදු වුවත්
ගමනාන්තය තමන්ගේම වූවක්
ඒ නිසාවෙන්
ඔබ ගමන යන්නේ කෙසේද
ඔබ ගමන් කරන්නේ කොතැනටද යන්න
ඔබගේ තීරණයයි

මාවත පුළුල්
මාවත දිගුයි
මාවත පැහැදිලියි
රුක් සෙවන සදාවි ඉදිරි ගමනට
ඇඳි ඉර සීමා කලත් නුඹ ගමන

ගමනාන්තය කා හටත් වඩා
අපූර්ව තැනක් නම්
ඒ ගමන නවතනු
ඒ මග වලකනු
කවරහුද

නවතින්න අවැසි නම්
ඒ ඔබේ තීරණයයි
ඉදිරියට යන්නට අවැසි නම්
එයත් ඔබේම තීරණයයි

සොබාදම බලා සිටී
මග දෙපස ඔබ එන තුරු
මාද ඔබට උදව් කරන්නට රිසියෙන් ම
බලාසිටිමි

අපූරු මාර්ගය අපට කියයි!

Saturday, March 24, 2012

කන්ද කියන කතාව


කඳු මුදුන් උස් යැයි ඔබ සිතයි
ඒ නමුදු ඒ බැව් නොහැඟෙවි
කන්ද තරණය කරන්නකුට

වළාකුල අඳුරුයි
තව මොහොතින් වැසි වසීවි
සිත කියයි

එනමුදු වැසි නොවැස සෙවන සදන කල
එම වළාවම ඔබට
සිතෙයි
කොයිතරම් අපූරුද හැබෑවටම වළාකුල තිබුණ එක

සොබා දම් දිනිතිය මවා ඇති සකල
ආශ්චර්යයන්
නොවේ හිරිහැරයක් ලොවට

ඉතින් බලන්න කඳු මවු සිඹින වළාපෙළ
පිස ආ සුලං රැල ගැන කෙසේ වනම්ද මා

හැම කන්දක්ම තරණය කරන්නට උදව් කරන්නට කොයි තරම් පිරිසක් සැදී පැහැදී සිටීද
නොබියව එය තරණය කරන්න


සිනාසෙන කඳු පෙළ අපට කියයි

Friday, March 23, 2012

අහස !!!


ඔබ සතුටින් නම්
අහස බලන්න
ඔබ දුකින් සිටී නම්
අහස බලන්න
ඔබ තරහෙන් සිටී නම්
අහස බලන්න
ඔබ ගේ බලාපොරොත්තු
හිස් අහස තුල මවා ලන්න
මේ සොඳුරු අහස ඇත්තේ ඒ වෙනුවෙන් මැ නොවේද?

මිනිසුනි කියන්න ඔබගේ තැවුල්
බෙදා ගන්න ඔබ තුටු හැඟුම්
කියන්න මාහට ඔබ සිහින

අහස එහෙම කියනවා


Saturday, March 10, 2012

අම්මා සහ අම්මාවරුනේ

ඉස්සර ඉඳන්ම අපේ ගමේ රජයේ රස්සාවක් කරන දෙපලක් විදිහට අම්මගෙනුයි අප්පච්චිගෙනුයි එක එක රජයේ ලියුං කියුං ආදී වැඩ වලදි කතා බහ කරන්න බොහොමයක් දෙනා ආවා ගියා. අම්ම විශ්‍රාම ගියාට පස්සේ ගමේ පොඩි දරුවන් බොහොමයකට ඉංගිරිසිය කියල දෙන්න අම්මට බල කලේ අප්පච්චිම තමයි. ඒ හංදා බොහොමයක් විට පුංචි උන්ගෙන් ගෙවත්ත පිරිලා තිබුණා. අපේ අම්මත් බොහොම ආසාවෙන් ඒ කටයුතු කරා. ඇත්තටම ඒ දරුවන්ගේ මව් පියන් ගෙනත් දුන් දෙල් ගෙඩිය, බතල අලය වැනි දේවල් මුදලට වඩා කොයි තරම් වටිනවාද කියලා නෙකිවමනායි. ඒ හැම දේකම ගෑවී තිබුණ මනුස්සකමේ සුවඳ අනිත් හැම දේටම වඩා වටින බැව් මගේ මව්පියන්ගේ අදහසයි.

මේ ටික හරි ලියන්න හිතුනේ අම්මා අප්පච්චි ගැන වෙන දෙයක් ලියන්න කලින් ඔව්න් ගත කරන අපූරු ජීවිතය ගැන අදහසක් කියන්නයි.

එදා ඉඳන් අද වෙනකම්ම අපේ ගෙදර දොරකඩ ගමේ හැම දෙනාටම විවෘත තැනක්. ඒ හිංදමද කොහෙද බොහොමයක් දෙනා පාර දිගේ යන අතර ඇබිංදකට හරි ගොඩ වෙලා බුලත් විටක් කාලා යන්න අමතක නොකරන්නේ. අපේ අප්පච්චි මොන තත්වයකදී වුණත් බුලත් විටෙහි ඇති අඩු වැඩිය අමතක කරන්නෙ නෑ. (ඇත්තටම මමත් බුලත් විට කන්නේ නෑ. ඒත් මේ බුලත් විටේ ඇති දේවල් නොවන ඊට පිටුපසින් දුවන කාරණා ගැන ඉඩ ඇති වෙලාවක ලියන්නයි හිතන්නෙ. )

ඇත්තටම මම ලියන්න හැදුව දේ ගැන ලියන්න පටන් ගන්නේ දැන් තමයි.

අපේ ගෙදර තියෙන්නේ වටේට ගස් ගොඩක් තියන තැනක කීවත් වරදක් නෑ. ඒ හංදම ගේ ඇතුලට
ගුලි ව ඉන්නවට වඩා අපි පුරුදු වෙලා තියෙන්නේ ගෙයින් පිට වාඩිවී ඉන්නයි. බොහොමයක් දෙනා ඇවිත් කතා බහ කරන්නෙ මේ ගස් පිසගෙන එන සුළං හමන මේ එලිපත්තේ තියන විවෘත පෝටිකෝව යටයි. දවසේ වැඩ අවසන් වුණාම පවුලේ හැමෝම මෙතනට ඇවිත් රාස්සිගේ අවුව බැහැලා වවුලන් පියාඹන තුරු කතා කරන්න පුරුද්දක් තිබුණා (හවසට වව්ලන් ගනන් කිරීමේ තරඟ ගැනත් පසුව කියන්න ඕන). සමහර දවසක ගමේ කවුරුන්හරිත් මෙතන හිටියා.

බොහොමයක් විට මට දැන් ගෙදර යන්න ලැබෙන්නේ දෙසති යකට වරක් වුණත් ඒ ගියාමත් අපි හවසට මෙතන ඉන්නෙ හරිම සැනසීමකින්.

පහු ගිය දවසක මම ගෙදර ගිය මොහොතක අම්මත් මමත් කතා බහක හිටියේ මෙන්නම මේ තැනයි. සාමාන්‍යයෙන් කලාතුරකින් දකින කඳුළු පුරවගත්ත ඇස් දෙකකින් අම්මා කතා කරන්න ගත්තා. (ඇත්තට ම අම්මලා අඩන්නේ නැතිද කඳුළු එන්නේ නැතිද කියන එක බොහොමයක් දරුවනට ඇතිට ප්‍රශ්නයක්. ඒ අම්මලා කඳුළු හංගන්න දක්‍ෂ නිසා වියයුතුයි)

හැබැයි එදා අම්මගේ ඇස්වල සැබෑම කඳුළු පිරවී තිබුණා. සාධාරණ හේතුවක් මටවත් ඒ ගැන හිතන්නට බැරි වුණ හංදා මම ඇහුවා මොකද අඬන්නේ කියලා. හේතුව ඇසුනාම තමයි මට දැනුනේ යම් පද පෙළකට කොයි තරම් සංවේදනයක් මිනිසකුගේ සිතේ ඇති කරන්න පුළුවන්ද කියලා.

අපේ අම්මගේ අම්මා (අපේ ආච්චි) මැරිලා වසර 30කට ආසන්නයි. එදා ඉදන් අද වෙනකම් නොයෙක් වෙලාවලදී අම්මට තමන්ගේ මව සිහි වෙන්න ඇති. හැබැයි ඒ කවරදාටත් වඩා අම්මාට මේ පද පෙළ අසා එදා හිත කම්පනය වී තුබුණා

අම්මාවරුනේ…
අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා……
ඒ කඳුළැලි පිසිනා

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ… අම්මාවරුනේ…
සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ


අපූර්වතම පද පෙළටම සරිලන සංගීතයත් හිත් තුල දෝංකාර දෙන නන්දා මාලිනියගේ භාවාත්මක ගැයුමත් අම්මාගේ හිත තමන්ගේ මව ගැන සිහි ව අතිශයින් කම්පා කරන්නට සමත් ව තිබුණා.
සැබැවින් ම දිවි ගමනේ මේ තරම් අත් දැකුම් ලැබ දරුවන් හදා වඩා උගෙන්වා උස් මහත් කර පරිණත වූ අම්මා, තමන්ගේ මවගේ අභාවයෙන් වසර 30කට පසු වුවත් මේ ගීතය ඇසීමෙන් මේ තරම් කම්පනයක් සිත තුල ඇති කරලීම ගීතයේ ඇති භාවමය ආශක්ත බැව් මොනවට කියා පාන බැව් මගේ හැඟුමයි.

Wednesday, March 7, 2012

වහින්නට හැකිනම් ගිගුම් දී


වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්...

‍රැ‍ඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුඩින් තුඩ
නෙලාගත හැකි වන මලක් වී...

නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබැ වන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී...



සාර සිතක පහල වූ සාර පද සංකල්පනාවක්!!! අපි හැම දෙනාගේම සිත් මොහොතකට හෝ කම්පනය කරන්නට පද පෙළ පමණක් වුවත් ප්‍රමාණවත් යැයි මට සිතෙනවා.

මේ තරම් තීව්ර පද පෙළක් සියුම් සංගීත පෙළහරකින් වර්ණවත් කල ඇති අපූරුව! අසන්න මොහොතක් වසින්නට පෙර ගිගුම් දෙන්නට සූදානම් වන අහස, වෙණ පෙළක වරුණ!

නන්දා මාලිනියගේ ගැයුම ගැන වැනුම් ඇවැසිද? ගීතයේ භාවයන් මේ යැයි ඇය අප වෙත කියා දෙන අයුර! දෑසම පියාගෙන අසන්න වරක් කුමක් සිතේද ඔබට අවසන! සිතේ නැංවෙන චිත්ත රූ පෙළ!

අගෙයි අගෙයි සැබැවින්ම විය හැකි නම් වරක් වත් එසේ කොතරම් සැනසුමක් දැනේවිද! නොවෙද අපට