Sunday, July 22, 2012

පෙරහැර එනවා


මේ ගීතය අපේ ගීත සාහිත්‍යතුල පෙරහැර ගැන කෙරුණු නිර්දය විවේචනයක් ලෙස මා දකිනවා. නමුත් එහි ඇති අරුමය ගීතය අසා අවසන්වන විට අප සිත් තුල පෙරහැර ගැන ඇති වන ක්‍රෝධයක් නොවන පහන් සංවේගයයි.  පෙරහැරක් දැක ඇති ඕනෑම අයෙකු පෙරහර ගීතය ඇසූ පසු සිතට නැගෙන අදහස් ගොනුකලහොත් එවැන්නක් සිතේයැයි මගේ අදහසයි. 


අපහාසය නොවන ලෙස උපහාසය භාවිතයේ සුනිල් ආරියරත්නයන්ගේ ඇති විරල දක්‍ෂතාවය  අපූර්වතම නිමැවුම් තුලින් ගීතය පුරාවට දැකිය හැකියි. එසේ වුවද පෙරහැර නවතිනු නොහේ. එය ඉදිරියටත් පැවතිය යුතුය. සමාජයේ ඇති අවශ්‍යතාවයන් ඉටු කිරීම පිණිස සමාජය විසින්ම සාදාගත් ක්‍රමවේදය තුලින්ම ඒ සමාජයේ තම පැවැත්ම තහවුරු කරගැනීමේ අසීරු ගමන පෙරහර ගීතය තුලින් කියාපාන බැව් මට සිතෙයි.

නන්දා මාලිනිය ගීතයට පෙරවදනක් සපයනවා! පෙරහරක් තුල ඇති දුක් සුසුම් ගොඩක් කියලා! පෙරහරක අප නොදුටු පැත්තක් නොදුටු අරුතක් අපට මේ ගීතය කියා දෙනවා. එහි පද පෙළ ගැන වැනුම අවැසි නොවන බැව් ගීතය බලන අයෙකුට පෙනේවි. මන්ද මා ගීතයක දකින අතිශය විරල ගුණයක් මෙයින් දකින නිසාවෙනුයි.


මෙහි පදපෙළ කියවන්නෙකුට වුවත් තමන් පෙරහර තුල සිටින බැව් හැඟේවි.  පෙරහර පුරාම පැවතෙන රිද්මය සහ හඬ රෝහණ වීරසිංහයන් මතු කර තිබෙන අයුරු අපූරුයි. ඒ රිද්මය පමණක් ඇසූ අයෙකුට වුවත් තමන් පෙරහරක සිටින බැව් හැඟේවි. නන්දා මාලිනියගේ ගැයුම පමණක් ගත් කල වුවත් එහි ඇති රිද්මය පෙරහරම බැව් දැනේවි. ඉදින් මෙය අගේ ඇති නිර්මාණයක් ම නොවේද?

මේ කතා කල දැයින පරිබාහිර ව ඇති වැදගත්ම කරුණ ලෙස මා දකින්නේ නිර්මාණකරුවකු පද රචකයකු ලෙස අයෙකුට යම් සමාජ සංසිද්ධියක් දෙස කෙතරම් කෝණ ප්‍රමාණයකින් බැලිය හැකි යන වගයි. ඒ බැව් වටහාගන්නට මේ ගීතය ඉඩ සලසා දෙන අයුරු අගෙයි.  සාමාන්‍ය ජනයාට කියා ගන්නට අවැසි ඔව්න් දන්නා දහසක් දෑ සමාජයට, පාලකයනට කියා ගන්නට නිර්මාණය පහුරක් වූ අයුරු අප නන්දා මාලිනියගේ යුගයක ගීත තුලින් අත් දකින්නක්.  නමුත් මෙවන් ගීයක ගැයෙන දෑ තුලින් වෛරයකට වඩා සමාජය කෙරේ සංවේදී වන්නට උගැන්ම එහි ඇති අනන්‍ය ලකුණක් බැව් නොකිවමනැයි. ඉතින් සමාජයේ නෙක දෑ ගැන වඩාත් විමසිල්ලෙන් බලන්නකුට මෙවන් නිර්මාණ සඳහා වස්තු බීජ අපමණ සෙවිය හැකි නොවේද? එවන් දෑ අරමුණු කරගත් නිර්මාණයන් තුලින් සමාජය වඩාත් යහපත් තැනක් කරන්නට හැකි වන්නේ නොවේද? නමුත් කණගාටුවකට මෙන් එවන් නිර්මාණකරුවන් පද රචකයින් සහ ගැයුම් අපට දක්නට නොලැබේ. එයට ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුල ඇති ඉඩද ප්‍රශ්නකාරී වීමද හේතු විය හැකියි. නමුත් උත්සාහයක්වත්..............

පෙරහැර එනවා කස පුපුරනවා
හේවිසි නද පතුරනවා
කස කරුවන්ගේ දහදිය මුගුරින් පාවඩ මග අතුරනවා

යදමින් බැදි ඇතු අසීරු ගමනින් හෙමිහිට පාද තබන්නේ
යන ගමනේ ඉම දක ගනු රිසියෙනි ඇත් ගොවුවන් ගාටන්නේ
ගුරුන්ගේ අණටයි නිදි මත දරු කැල කළ ගෙඩි අරගෙන එන්නේ
පන්තේරුව බොල් පින්නෙන් නැහැවී දෑතට දියවී යන්නේ.

පාර දෙපැත්තේ පොඩි මිනිසුන් දෙස නිලමේවරු නොබලන්නේ
රජ සිටු මැතිවරු නරඹන තැන්වල නිලමේවරු නවතින්නේ
එතැනදි වැයුමේ රිද්මය වැඩිවී හොද හොද නැටුම් පෙනෙන්නේ
එලි අඩු පන්දම් තෙල් නැති පන්දම් තෙල් ගල්වා දල්වන්නේ .

හිතේ වේගයට හේවිසි හොරැණා තම්මැට්ටම් අඩවන්නේ
මාලක්කම් මැද වෙස් නළුවන්ගේ පීඩිත මුහුණු පෙනෙන්නේ
අඹුදරුවන්ගේ කුස් පුරවන්නයි වන්නම් තාල ගයන්නේ
වේල දෙවේලට අත සරුවෙන්නයි කොහොඹ කළේ නටවන්නේ
  

අසන්න මෙතැනින්

http://www.youtube.com/watch?v=GdCETflDD7g

Saturday, July 14, 2012

සිහින සැනසීම හා සතුට 2

කුඩා කාලයේදී ඔබට අයෙක් කිවහොත් අහසේ තරුවක් අල්ලන්න කියා ඔබ එයට උත්සහ දරාවි. මොකද ඔබ දන්නේ නැහැ තරු අල්ලන්න බැරි බැව්.

නමුත් ඔබ උත්සහ කරාවි කල්පනා කරාවි සිතාවි කල හැකි දෑ ගැන බොහෝ වේලාවක්

කිසි විටක කිසිදු හේතුවක් නිසා අත් නොහරීවි උත්සාහය

උස් මහත්වන තුරුම වයසින් මුහුකුරා ගොස් ලොව ඔබට කියන තුරුම එය නොකල හැකි බැව්

සැබැවින්ම ළමා විය සිහින කොයි තරම්ම අපූරුද! ඒ සිහින කොතෙක් නම් අප සිත්තුල තිබුණිද! ඉන් එකක් හෝ සපුරාගන්නට හැකි වූවේ නම අප කොයි තරම් වාසනාවන්තද/

මොහොතක් සිතා බලන්න. ඔබ එදා සිතූ දැයින් කොතරම් දෑ ඉටුව ඇත්ද යනවග. බලන්න ඒ සිහින නිසා කොයිතරම් ඔබේ ජීවිත ගමනට දායක වීද යන වග. මේ මොහොතේත් ඔබට හැඟෙන ඒ අපූර්ව සිතුවිලි.

කවරදාවත් සිතුවිලි පසුපසට හරවන්න එපා සිහින ඔබව ඉදිරියට ගෙනයයි

මන්ද ඔබේ සිහින මත ඔබ අනාගතය ඉදිවන නිසාවෙන්.

තමන්ගේ ජීවිතය හැරයන බැව් දැන දැනම තමන්ගේ අවසන් දෙසුමේදී තම කුඩා කල සිහින ගැන අපූර්ව අදහස් ගොන්නක් ලොවට තබා ඉන් තෙමසකින් වියෝ වූ මේ අපූරු පුද්ගලයාගේ දෙසුම බලන්න.

Achieving Your Childhood Dreams ...Dr Randy Pausch

http://www.youtube.com/watch?v=cyuZWDX55mI&feature=fvwrel



Friday, July 13, 2012

විවේචන අවශ්‍ය වී තිබේ


මගේ බ්ලොග් පිටුවේ සොයුරෙක් ඒ ගැන සඳහන් කර තිබුණා

සබසක්

මෙයට වඩා සමාජයේ එදිනෙදා වන අකටයුතුකම් ගැන අපට විවෘතව නොබියව විවේචනය කල හැකි නම් විවේචන මුළු සමාජයේම ඉදිරි ගමනට වඩාත් ප්‍රයෝජනවත් වේවි

අපේ ඇති එක අඩුවක් තමයි ධනාත්මක විවේචන(constructive criticism), ඒ කියන්නේ යමක් නිවැරදි කරවන්න බලපෑම් කරන විවේචන (මඩ ගැසීම් හෝ දේශපාලන උවමනාවන්ගෙන් තොර).

එවැනි දෑ මතු කිරීම සහ අදාළ පාර්ශවයන් වෙත යොමු කිරීම අවැසි කරුණක් ව ඇති බැව් මගේ හැඟුමයි !  
ඉතින් ඒ ගැන බ්ලොග් කරුවන් විදිහට අපටත් යමක් එකතු කරන්නට හැකි නම්..... හැම දෙනාටම එක්ව යහපත් යමක් කල හැකි වේවි!

Thursday, July 12, 2012

අපි දකින දසුන් - අපි හිතන හැටි

මේ පහුගිය දිනක මුහුණු පොතේ මා දුටු පිංතූරයක්. එහි මහා පුදුමයක් නොවන්නේ මේ වැනි සේයා රූ ඇති පදම් දිනපතා අප මුහුණු පොතේ දකින නිසාවෙන්. ඒ වුණත්.........................
සමාවන්න මෙය මගේ පුද්ගලික මතයයි! එයට එකඟ නොවීමට ඕනෑම අයෙකුට සාධාරණ අයිතියක් තිබේ - බොහෝ දෙනා තමන්ගේ රට බාල්දු කරමින් කතා කිරීමට නිරතුරුව පුරුදු වී ඇත. මෙය අපට කවුරුන් හෝ විසින් පුරුදු කර ඇති කරුමයකැයි සිතේ. රට යනු දේශපාලනය හෝ අන් කවරක් හෝ නොවේ. අපේ රටේ මෙහෙමයි කියන විට යම් ඈයින් තුටු වනු ඇත. නමුත් එය සමස්ථ සිතුවිලි ප්‍රවාහයටම අපේ අනාගත දූ දරුවන්ට උරුම කරන ආකල්ප සපුරාම වෙනස් කරයි. මෙය කිසිසේත් ඔබට කියන්නක් නොව මෙවන් දෑ නැවත නැවත ප්‍රචාරණයට පෙර යලි සිතිය යුතු බැව් මතක් කර දීමක් පමණි.

අප යුධකාමීන් නොවේ. අපට කවුරුන් හෝ පෙළන්නට අවැසි නොවේ. ඒ නිසාම අපට බිය වන්නටද කිසිත් හේතු නැත.

"බස් රථය යනු පොදු මහජනතාවගේ රථයයි. එය කුඩා දුවා දරුවන්ගේ සිට කාන්තාවන් රෝගීන් මහළු පුරවැසියන් හට තරාතිරම නොබලා ගමන් පහසුව සලසයි. මහ වැස්සේද පොදු ජනතාවට මහ මග පිළිසරණ මේ බසයම නොවේද? වැසි වැටුනත් පාරම වතුරින් පිරුණත් තම බසයේ නැගි ඉක්මනින් ගෙදර බලා යන මිනිසුන් කෙසේ හෝ ගෙනයන්නට උත්සහ කරන බස් රියදුරාගෙන් දැනෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ තවමත් ඉතිරිව ඇති මිනිස්කමේ මිහිර නොවේද?"
අපි හැමදාම මේ වගේ දෙයක් දැක්කහම අඩුම තරමේ මේ දේ ලියල තියන්නවත් හැකි නම් අඩුම තරමේ මේ පණිවිඩය කීප දෙනෙක් හෝ කියවාවි කීප දෙනෙකුට හෝ දැනේවි හැඟේවි

මේ රූපය දැක එසේ ලිවීම මැනවැයි මට සිතුනා

Thursday, July 5, 2012

මම පරිගණකයත් සමඟ දෙවන වර උපන්නෙම් ඔබ?


ඇත්තටම ඒක හරිම පහසු දෙයක් කියලා මම හිතුවේ නෑ.  මොකද කිසිවෙක් මේ දේ පහසු දෙයක් කියලා කියන්නේ නැති නිසා.  හැම දෙනාම කියන්නේ ගොඩක් අමාරු කටයුත්තක් කියලා. හැබැයි මේ සඳහා සැබැවින් ම යොමු වෙන කෙනෙකුට තමයි හරියට තේරෙන්නේ කියන තරම් අමාරුවක් එතන නැති බව.

දිගින් දිගටම අනිකුත් මෙහෙයුම් පද්ධති පාවිච්චි කරලා විවෘත මෘදුකාංග මෙහෙයුම් පද්ධතියකට යොමු වෙලා වැඩ කරන්න හිතෙන්න බලපාපු ප්ර්ධානම කරුණු කීපයක් ම හිතේ තිබුණා. ප්‍රධානම දේ තමයි මේ දේ භාවිතා කරලාම බලන්න තිබූ ආසාව. අනිත් වැදගත්ම දේ තමයි වේගය (Speed). අපොයි දෙයියනේ මගේ පරන O/S එකත් එක්ක බලනකොට මේ මෙහෙයුම් පද්ධතිය (Ubuntu) නිකං Ferrari කාර් එකකුයි බර කරත්තෙකුයි වගේ කියලා මට දැන් හිතෙනවා. ටිකක් සැර වැඩියි වගේ කියලා දැනුණත් ඇත්තට ම ඒ වෙනස ගොඩක්ම දැනෙන එකක් (අවිශ්වාසනම් Ubuntu live CD එකක් ධාවනය කරලා බලන්න). මම නොකියා ඉන්නේ නෑ Ubuntu වල තියන නම්යශීලී, වේගවත් හා හුරුබුහුටි ගැජට්ස් (Fancy Items) ටිකත් මාව තව දුරටත් වීවෘත මෙහෙයුම් පද්ධතියට යොමු කරා කියන එක. ඇත්තටම මේවා හරිම නැවුම් අපූරු දේවල්, වැදගත් ම දේ තමයි මොන දේ කලත් වේගය අඩු නොවෙන එක. Grin Grin

මේ වැඩේ කරනකොට අපට එන අභියෝග නම් බොහොමයි. මට ආපු පලවෙනි අභියෝගය තමයි අපි සම්බන්ධ වන අනිකුත් පිරිස් එක්කලා එකට කටයුතු කරනකොට Compatibility ගැටළු එයිද කියන එක.  විශේෂයෙන්ම මේ පැත්තට යනකොට නිකුත් පද්ධති වල ඉන්න හැම දෙනාම පාහේ මේ ගැන ගැටළු ඇති කර ගැනීම ඇත්තටම අභියෝගයක්. දෙවැන්න තමයි ඉ මේල්, වාසනාවකට වගේ Zimbra කියලා බොහොම සම්පූර්ණ ඉ මේල් මෘදුකාංගයක් තියනවා.  හරිම අපූරු වෙබ් මුහුණතකුත් තියන මේ මෘදුකාංගයේ නව සංස්කරණයේ අළුත් දේවල් ගොඩක් තියනවා. එතකොට මගෙ හිතට වද දුන්නු තවත් ගැටළුවක් තමයි Open Office ලිබ්රා ඔෆිස් හා සිංහල වැඩ කරන එක ගැන. ඇත්තටම මුලින්ම මේ කටයුත්තට හුරු වෙන එක පොඩ්ඩක් අමාරු වුනත් පසුව ඒක එතරම් දැනෙන්නෙ නෑ. හැබැයි මුලින්ම Open Office දැක්ක වෙලාවේ මට හිතුනා මේකෙන් මට අනික් මෘදුකාංග වලින් කරන දේවල් කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම හිතුන උත්තරය බෑ කියන එකයි. මොකද මේ අතුරු මුහුනත එතරම් ම ලස්සන නෑ. ඒ උනත් ටික දවසක් භාවිතා කරනකොට තමයි දැනෙන්නේ අපි ඇත්තටම භාවිතා කරන හැම දෙයක් ම  වගේ මේ තැනත් තියනවා කියලා. හැබැයි අනිවාර්යයෙන්ම ටිකක් කලක් ගන්න වෙයි. Cheesy

Ubuntu වලට ගිය දවසෙ ඉඳන් එක දෙයක් මම අත් විඳිනවා, ඒ ආයෙත් මගෙ පරිගණක උගත්ත මුල් කාලේ වගේ විවිධ නව එකතු කිරීම් හැම දාම වගේ දකින්නත් එකතු කර ගන්නත් ලැබෙන එක. ඒ එක්කලා මම හිතනවා මම මේ මෙහෙයුම් පද්ධතියත් එක්කලා පරිගණක ගමනේ නැවත උපතක් ලැබුවා කියලා (මේ කතාවම පහු ගිය දිනක Kubuntu වලට ගිය මගේ මිතුරකුත් සනාථ කරා).  ඔබට විවෘත මෙහෙයුම් පද්ධතියක් තියේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබට දැනෙන්නේ අපූරු නිදහසක්.

ඉතින් විවිධ අවස්ථාවලදී විවිධ බාධක ඔබට ඒවි. නමුත් මේ හැම ගැටළුවක්ම අන්තර්ජාලයේ මඳ වෙලාවක් සැරිසැරුවොත් විසඳගන්න පුළුවන් වේවි. මේ සංක්රාහන්තියේ දී කිසිවෙක් ඔබව උනන්දු නොකලත් තම විශ්වාසය මගින් උනන්දුව ඇති කර ගැනුම ඉතාම වැදගත් කියලා මම හිතනවා. බාධක කොතෙක් ආවත් අවසානය ඉතාම මිහිරි යහපත් එකක් බව නම් සහතිකයි.

ප ලි. මෙය අන් මෙහෙයුම් පද්ධති හෝ අන් මෘදුකාංග අවතක්සේරුවක් නොවේ. බොහෝ දෙනාගේ දැන ගැන්ම පිණිස ලියැවූවක් 





Tuesday, July 3, 2012

අවිවේකය!

අවිවේකය තරම් මිනිසා පෙළන තවත් දැයක් ඇති දැයි නොදනිමි. විවේකී මනස තුල ඇති සැනසුම අවිවේකී මනසකට කෙසේ දැනේද! අවාසනාවක මහත බොහෝ දෙනෙකුගේ මනස අවිවේක ව ඇති හැටි. ජීවිතය කොතෙක් අවිවේකී වුවත් මනස විවේකීව තබා ගැනුමට හැකි නම් අගෙයි. එය එතරම් පහසු නොවූවත් නොකල හැක්කක් නොවන බැව් මගේ හැඟුමයි !