Sunday, September 5, 2010

ඔබ හිතන්නෙත් මෙහෙමද?

පහු ගිය දවසක මට මගෙ පරණ මිතුරෙක් හම්බ උනා. හැබෑවටම ඒ මමත් එක්ක ගමේ ඉස්කෝලේ අවුරුදු 12ක්ම එකට හිටපු මිතුරෙක්. අපි දෙන්නා හමු වෙලා කතා කරන්නේ වසර ගණනකට පස්සේ. ඇත්තටම අපිත් එක්ක උන්න මිතුරන් බොහොමයක්ම හොඳ තැන්වලට ගිහින් තියන එක ගැන අපි හරිම තෘප්තියකින් කතා කලා. ඊටත් වඩා මේ හැම දෙනාම තමන්ගේ ගමේ තියන අක් මුල් එහෙමම තියාගෙන ඉදිරියට යන එක ගැන හරිම ආඩම්බරයක් සතුටක් අපේ හිතට දැණුනා. මේ කතා බහ නිසාම තමයි මේ වගේ පොඩි සටහනක් කරන්න ඕන කියලා හිතුනේ.

බොහොමයක් ගමේ ඉඳන් ආපු පිරිස් තමන් නගරයේම කොටසක් බව පෙන්වන්න හදන එකත් ගමත් එක්ක තමන්ගේ ඇති අක්මුල් බිඳ ගන්න හැකිතරම් උත්සහ කරන එකත් පොදු දෙයක් වෙලා. හැබැයි නගරයේ දිවි ගෙවපු ඈයින්ට තමන් ගමේ කෙනෙක් කියලා කියන්න හරිම ආසාවක් ඇති බවයි මගේ හැඟීම. මේ කුමක් උනත් ඒක ඒ අයගේ කැමැත්ත නොවැ. මම කතා කරන්න හිතුවේ මේ දෙපිරිසේ නාටකය ගැන නොවෙයි. මේ කවුරු උනත් මේ හැසිරෙන විදිහෙ හැටියට අපේ සමහර වටිනා කියන දේවල් දෙපසටම නැති වෙලා යන එක ගැනයි.

සරලවම කිව්වොත් අද සිහල බස කතා කරන බොහොමයක් දෙනාට ඒ කතාව මැදට ඉංග්‍රීසි යෙදුමක් නැතිනම් එහෙම නැත්නම් සම්පූර්ණ වැකියක් සිංහලෙන්ම කිව්වොත් එයාට ඉංග්‍රීසිත් බෑ ටිකක් ගම් කාරයෙක් කියලා හිතන පිරිසක් ඇති වෙලා (අවශ්‍ය තැන් වලදී ඉංග්‍රීසිය යෙදීම වැදගත් කියන තැන මමත් ඉන්නවා). මම පහුගිය දිනක පුංචි කතාවක් සම්පූර්ණ සිංහලෙන් කරපු වෙලාවක මුළු කතාවට ම සවන් දීල මට ප්‍රශංසා කරපු අයෙක් සම්පූර්ණයෙන්ම සිංහලෙන් හදා ගන්න ගොඩක් වෙලා ගියාද? කියල ඇහැවුවේ බොහොම ආදරයෙන් හා ගරුත්වයකින්. හැබෑවටම තමන්ගේ මව් බසින් වචන පෙලක් කියන්න ඒ තරම් අමාරුද? සිංහල බස බොහොම අමුතු තාලයකට ඇදලා කතා කරන මේ මනුස්සයා වගේ ලංකාවේ ජීවත් වෙන තම මව් බස ගැන හැඟීමක් නැති උදවිය ගැනත් ඒ ඇත්තන්ගෙන් පැවත එන ඉදිරි පරම්පරාවන් ගැනත් අපට හිතා ගන්නටත් අමාරු තරම්. මම හිතන විදිහට ඉංග්‍රීසිය කියන දේ අද අපිට අත්‍යවශ්‍යයි. ඒ ගැන සැකයක් නෑ. මම කියන්නේ බස ගැන නෙමෙයි, හිතන පතන හැටි ගැනයි.

තවත් කතාවක් කීවොත් අද අපේ කීදෙනෙකුට පුළුවන්ද තව අයෙකුට ආයුබෝවන් කියල කියන්න. උදේට හම්බ වෙන අයට Good Morning කියනව වගේ ආයුබෝවන් කියල (බස තේරෙන අයට) බලන්න ඒ ගොල්ලන්ගේ මුහුණු කොයි වගේ වෙනවද කියලා. හරිම පුදුමයකින් ඔබ දිහා බලාවි (කලාතුරකින් සතුටකින්).

රටක අනන්‍යතාව රැකෙන්නේ එරටේ සංස්කෘතිය මතයි කියලා කියන දේ සබසක් කියලා මම හිතනවා. අපේ සංස්කෘතියේ ඇති වැදගත්ම දේ තමයි අපේ හරසුන් කොටස් නැති එක. ඒත් මේ හරවත් කොටස් හීන ලෝකවල ජීවත් වෙන අපේ අහිංසක මිනිසුන් අතරින් ගිලිහී යනවා කියලයි මට හිතෙන්නේ.

ඉතින් අපි ඇරඹුමක් විදිහට ආයුබෝවන් කියන්න පුරුදු වෙමුද උදේට/.

යෝජනාවක් විතරයි, ඔබට අවශ්‍ය දෙයක් කියල හිතෙයි නම් පමණක් කරන්න පටන් ගනිමු. සංවාදයට විවෘතයි!

සමීර