Tuesday, June 10, 2014

හැබෑම පොත් කියවන්නන් සහ පොත් ගැන කියවන්නන්

 - මේ දවස්වලමුහුණුපොතේ පොත් කියවන අය කණ්ඩායමේ අපූරු සහෘදයින් පිරිසක් එක්ක කතා බහ කරනකොට මට ලියැවුණු වාක්‍ය කීපයක්! 

මට හිතෙන විදිහට හැබෑම පොත් කියවන්නෙක් ගේ ලක්‍ෂණ

පාරේ යන විට
පොත් කඩ අසලදී නැවතීමට හිතීම
පොත් ගොඩක් ඇති තැන්වලදී අනිවාර්යයෙන් නැවතී අඩුම තරමින් පිටකවර ටික හෝ කියවා යෑම

පොතක් මිලදී ගැනීමේදී
- පොත් ගන්න ගිහාම පොතක් දෙකක් තෝර ගන්න පැය ගණනක් ගත කිරීම
- පොතක් තෝර ගත්තත් තව පොත් ගණනාවක්ම ගන්න ඕන බව හිතේ තියා ගැනීම
- පොතක් නොගත්තත් පොත් කඩය තුල වරුවක් වුණත් සතුටින් ගත කිරීමේ හැකියාව
- මමත් පොත් කඩයක හිටියානම් මේ හැම පොතක්ම කියවනවා යැයි හිතීම
- පොත් 10ක් ගත්තත් තවත් පොත් ගත්තා මදි යැයි හැඟීම

පොතක් ගත් පසු
- පොත කියවා ඉවර කරනකම් ඉවසිල්ලක් නැති කම
- බොහෝවිට ගෙනගිය දවසේම රෑ නිදිමරාගෙන පොත් කියවා ඉවර කිරීම
- කියවූ පොත ගැන නැවත නැවත හිතීම
- සතියක් ඇුතුලත පොත නැවත වරක් කියවීම
- පොත් සියල්ල කියවූ පසු පොත් ගත්තා මදි යැයි සිතීම
- තව පොත් ගන්නට සැලසුම් කිරීම

මීට අමතරව මම නම් කරන වැරැද්දක් තමයි
- පොත් කියවන්නන් නොවන කටින් කියවන්නන්ට (පොතක් දැක්කහම අනේ මම මේ පොත කියවල දෙන්නම් කියන අය) සැබෑම පොත් කියවන්නන් යැයි රැවටී පොත ගැන වර්ණනාවකුත් ඒ පොත වින්ද අයුරු ගැනත් කියලා "කියවා දෙන්න" යැයි පොත ඔව්නට දීම. මේ විදිහට තමන් ආස වටිනා පොත් අනිත් අයත් කියවා රස විඳී යැයි සිතා ලබා දී සදහටම පොත් අහිමි කර ගැනීම.
(නමුත් මේ බොහොමයක් කටින් පොත් කියවන්නන්ට පොත කියවීමට වෙලාවක් නැති වූ බව අවුරුද්දකට පස්සේ වුණත් කිසිම ලැජ්ජාවක් නැතිව කියන්නට හැකියි)

- හැබැයි වටිනා දෙය තමයි ඒ පොත කොහේ තියනවාදැයි ගෙනිච්ච මනුස්සයා නොදන්නවා වුනත් බොහෝ විට සැබෑ පොත් කියවන්නෙක් මේ මනුස්සයාගෙන් ඒ පොත අරගෙන කියවන එක.

Thursday, February 6, 2014

පියෙකුගේ එක් දිනක පසුවදනක්!


අහස පාළු වෙලා ගිහිං
සඳ කොහේද යන්න ගිහිං
දුව බලනා තුරු හොරැහිං 
තරු මිතුරනි බලා ඉඳිං

සඳයි තරුයි බැස අහසිං
නුඹ ඇඳ වටකර සිටිමිං
සුරඟන පිරිවර සමගිං
නිදි කරවයි නුඹ සිහිනෙං 

සුළඟ සිහිල සැඟව ගොහිං
ගහද කොළද හා සමගිං
යහළු කුහුඹු රළ අවුදිං
දුව එනතුරු බලා ඉඳිං 

උදා මහීකත සිඹිමිං
පා පොඩි යුග අවුදිනකං
මිරිවැඩි සඟලත් අවුදිං
බලා හිඳී නුඹ එනකං

බෝනික්කෝ දෑස් පියං
මුළු රැයක්ම විවර කරං
උදා හිරු කිරණ එනකං
බලා හිඳී කල් මනිමිං

වැඩ ඇරිලා මං එනකං
දෑස් පියන් පත් රිදවං
බලාඉඳං නුඹ නිදියං
දුක් කවි මා කියමි ඉතිං

හෙට උදේම අවදි වෙයං
මා පිටවන්නට කලියෙං
නුඹ මුව දැකගනු රිසියෙං 
නොනිදමි හෙට එළිවෙනකං

බෝනික්කං කූඹිත්තං
හිරු සඳු තරු  සිහිල් සුළං
ලෝකේ සොඳුරුම මිතුරං
බලාගනියි නුඹ සතොසිං