Sunday, August 18, 2013

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ !

 

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
දෑස අබියස පිපී සැලේ
දෑස අබියස පිපී සැලේ

තුන් යම ගත වූ ජීවිතයේ
අරුණ නැගෙනා පබාතයේ
අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ
රිදී පහන් තරුවක් වාගේ

දෑස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිරී නිදන වෙලේ
කවියක් ලෙස ඔබ හදවත ගුලි වී
මා හද පිරිමැද අවදිකලා

මැදියම අවදි ව හැබැහින් දුටුවෙමි
පෙරයම නින්දේ දුටු සීනේ
එහෙත් සිහිනයක් වේ දෝ එය යළි
ජීවිතයේ අන්තිම යාමේ

රචනය : ධර්මසිරි ගමගේ
ගායනය : ඩබ්.ඞී.අමරදේව
සංගීතය : ඩබ්.ඞී.අමරදේව
අනවරතව ගලායන ජීවිතයේ අහඹු ඉසිඹුවක දුටු ඇය මගේ හදවත සොරා ගත්තීය. මුළු මහත් දිවියම බලා සිටි සිහින නෙලුම් මල දුටිමි මා, නොදනිමි එය සැබැවින් මවෙතදැයි කියා!සැබෑවක් ද මේ!

මට දැනෙන විදිහට මේ ගීතය දිවියේ අග සිටින්නකුගේ අපූර්ව සිතුම් පෙලක දිග හැරුමක්..., ස්ත්‍රියක් පෙම්වතියක් ගැන නොහැඟවුවත් සමහරවිටක දිගු වියෝගයක අවසන මේ යැයි කියා පෑමක් දෝයි හැඟේ.

පුහුදුන් මිනිසාගේ මුළු දිවියම සිහින පෙළකි. ඉදින් මේ දිවියේ අවසන් යාමයේ දී හෝ මිනිසා තුල නැගෙන විසිතුරු පැතුම් සිතුම් සනහන්නට හැකි වේද?

තනුවත් ගැයුමෙන් අපට ළං කරන හැඟුම් පෙලත් මෙවැන්නක් කියා පාන බැවි මාගේ හැඟුමයි!
මේ ගීතය මෙතනින් අහන්න
http://www.youtube.com/watch?v=SaVb1cC0pLU

Saturday, August 17, 2013

උඩඟු ලියන් ගොතා බඳින


නිදහසේ සිතන්නට නිදහසේ අදහස් පවසන්නට හැකි
බලැති මිනිසුන් අබියස කවටයන් සේ නොහැසිරෙන්නට
තම පැවැත්ම උදෙසා නිවටයින් නොවන්නට තරම්
තම කශේරුවේ පණ ඇති මිනිසුන් වෙනුවෙන්
නොමිනිසුන්ගේ අඳුරින් වැසුනු යුගයක ගැයූ අභීත ගීයකි මේ.

කාලය ගෙවී ගියත් ජීවිතයේ එදිනෙදා හමුවන නොයෙක් මිනිසුන් අතරද මෙවන් කවටයන් හා නිවටයන් අපමණ ඇති බැව් මට හැඟෙයි!

සංයමයෙන් ලියැවුණු සුනිල් ආරියරත්නයන්ගේ අපූර්ව පද පෙළ අැතුලතින් කියැවුණූ උපහාසය තුලින් දේශිභිමානය මේ යැයි පසක් කරයි.

අමරදේවයන්ගේ සංගීත මුසුව ගීත දේහයේ පෞරුෂය වඩන විට නන්දාමාලිනිය ඒ දේහයට ප්‍රාණ වායුව පිඹින්නීය.

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ

හිස් මිනිසුන්-කුස් පුරවන-සිත් පිනවන-බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හලන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවකුගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දූවිලෙන්
තැලී වෙළී සැනහී මිය යන්නෙම්

මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
එමගට මා විසි කරන්න

ගීතය අසන්න මෙතැනින් https://www.youtube.com/watch?v=cIj6ljE6My8

Saturday, June 8, 2013

ගමනක් මැද ගමනක් - දින දෙකක්



ජීවිතේ සමහර දේවල් අපට හමුවෙන්නේ බොහොම කලාතුරකින්.  ඒ අතරින් සිදුවීම් සහ අවස්ථා කියන දේ අත් දකින්න ලැබෙන්නේ ජීවිතේ ඒ මොහොතේ පමණක් බැව් අයෙකුට හිතිය හැකියි.  අපි හැමදාකම එකතු වෙන හම්බවෙන කණ්ඩායමක් වුණත් කෙටි කාලයකට හරි එකම කුඩා කුටියට ගුලිව ගත කල දින දෙකක් ගෙවී ගියා. ඒ අපි මේ ජීවිත කාලයේ ගත කල තවත් එක් අපූරුම අමතක නොවන දින දෙකක් බැව් නොකිවමනායි. එකම රටක වුණත් නොයෙක් තැන්වල නොයෙක් කාලවල ඉපදිලා එකම තැනක හමුවීමත්. නැවත ඒ හමුවීම කණ්ඩායමක් විදිහට එකතු වීමත් අහඹුවක්ම යැයි නොකිව හැකි තරම්! 

බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයන් හි කලබලකාරී ම මොහොතක් ගත කරන වේලාවක අපූරුම සැනසුමකින් යුතු වූ මිනිසුන් පිරිසක් රැගත් කුඩා වෑන් රථයක් නගරයෙන් ඉවතට පිටව ගියා.  කාලය ඉතා හෙමින් ගතවූ ඒ රථය තුල ගිය වුන් දෙස මහමග කඩිමුඩියේ දුවන මිනිසුන් මොහොතක් හෝ බලන්නට ඇති.

ගමන පටන් ගත්තේ  දවසේ ගමනාන්තය වුණ වස්ගමුව බලා ඉක්මනින්ම ළඟා වෙන්න වුණත් අතරමංවල කෑම බීම ගැන කටයුතුත් එක්ක හවස තුන හමාරට අපි වස්ගමුවට ළඟා වුණා.කොළඹ ඉඳන් දඹුල්ලට ගොහින් මාතලේ පාරේ කණ්ඩලම හන්දියෙන් හැරිලා බකමූණ හරහා ගමන අපූරු ගමන් මගක්.  මේ මගේ යන අයෙකුට මහපාරේ නිදා ගන්නත් හැකි බැව් යමෙකුට පෙනී යා හැකියි.

හවස එකතු වුණ පිරිස කැළෑවට ගමන් කලා. සුපුරුදු පරිදි ජීප් රථ රියදුරා අලින් පසුසප යන්නටත් අලියන් කුලප්පු කරන්නටත් උත්සහ කරා. මේ දේ දකින විට අලියාෙග් නිවහන තුල අලින්ගේ නිදහස කොයි තරම් සීමා වී තියේ දැයි යන්න කිව යුතු නොහෙයි. අනිකුත් කැලෑ අලින්ට වඩා තරමක් වස මේ අලින් ලවා තමන් එක්ක ගමන් කරන සංචාරකයින්ට ත්‍රාසජනක අත්දැකීමක් දෙන්නට රියදුරන් කරන මේ උත්සහය සැබැවින් ම කල යුත්තක්ම නොවන බවයි මගේ හැඟුම.  කොයි හැටි වෙතත් කුඩා ජීප් රථයක කුටියකට හිරව හිටි අපේ කණ්ඩායම පස්සෙන් අලියෙක් එළවාගෙන ආපු වෙලාවෙන් පස්සේ නම් "එ්කත් හොඳයි "  කියලා නොහිතුනාමත් නොවෙයි.  ඇත්තටම එය අපූරු ත්‍රාසජනක අත්දැකුමක්.  ජීප්රථය පස්සෙන් අලියා ආ වේගයත් අපි ගමන් කල වේගයත් බැලූ විට අලියාට අපි ළඟට එන්නට ඒ තරම් අමාරු නොවෙන බව් හැමෝටම තේරුම් ගිය දෙයක්.  ඒත් එතන හිටි හැම දෙනාටම වාෙග් බය අමතක වී කැමරා අටවන්නට පටන් ගැනීමත් එක්කම රථය නතර කිරීමත් ඒ එක්කම අලියා නතරවීමත් සිදු වූයේ අලියා කැමරාවලට මුහුණ දෙන්නට අකමැති නිසා විය යුතුයි :).  ඇත්තෙන්ම තමන්ගේ රංචුෙව් කොටසක් පාර එහා පැත්තේ ඉන්නා විට තමන්ට පාර මාරු වෙන්නට ඉඩ නොදී එහෙට මෙහෙට කරන ජීප් රථයත් එහි ගමන් ගන්නා මිනිසුන් ගැනත් අලියාට තරහවකටත් වඩා කලකිරීමක් ඇතිවන්නට ඇති.  ඉතින් මේ ගැන අපි කොයි තරම් කියුවත් හැන්ද තියෙන්නේ වනාරක්‍ෂක නිළධාරී අතේ හිංදා ඒ කතාව එතනින් නතර කරනවා.  හැබැයි මේ සිදුවීමෙන් තවත් එක අමතක නොවන අත්දැකීමකට අපි එක කණ්ඩායමක් විදිහට මුහුණ දුන්නා.

හවස හය හමාරට නැවත නවාතැනට අාපු අපිට තවත් ගමනක යෙදෙන්නට අවස්ථාව ලැබුණා. ඒ රෑ අට හමාරට විතර කැලෑවේ අලි ගැවසෙන තැනක ඇති  වැව් තාවුල්ලකට. තරමක අවදානමක් නොතිබුණා නොවුනත් හැම දෙනාම එක පයින් මේ ගමනට එකතුවුණා.  නුදුරු කලක ලැබුණු වැස්සෙන් තෙත්වූ ගහ කොළ අතර තෙත් නොවූ දර කොට කැබලි හොයන්නට එක කණ්ඩායමකුත්  හොයන අයට ආරක්‍ෂාව දෙන්න තව කණ්ඩායමකුත් අවශ්‍ය අාෙලා්කය දෙන්නට තවත් පිරිසකුත් විදිහිට මුළු කණ්ඩායමම ගිණි ගොඩක් ගසා ගැනීමේ මෙහෙයුමට දායක වුණා.  සැබැවින්ම ගිණි ගොඩක් ගසා ගැනීම එතන රැඳෙන්නට අවැසි පළමු සාධකයක් වුණේ වන සතුන් එතැනට එන එක නවත්ව ගන්නට තියෙන හොඳම ක්‍රමය ගිණි ගොඩ නිසාවෙනුයි. තරමක උත්සාහයකින් පස්සේ මහත් වෑයමින් දල්වාගත් ගිණි මෙලය හැම දෙනාගෙම මුහුණු එළිය කලා. ඒ කණ්ඩායම් උත්සහය සියළු දෙනා තුලට නව අත්දැකුමක් ගෙන ආ බැව් සහතිකයි. කැලයටවත් එහි සතුන්ටවත් හානි කරන කිසිදු අදහසකින් තොරව දැවුණු වැව් බැම්ම අසල ගිණි ගොඩත් ඒ වටේට හිටි මිනිසුන් දෙසත් අවට ගහකොළ නිසලව බලා සිටින්නට ඇති. සමහරවිට වන සතුන් පවා!

ගිණිමැලය නිවෙන්නට පැය දෙකක් පමණවත් ගත වෙන්නට ඇති. යලි නවාතැනට ආ  අපේ රාත්‍රිය සුපුරුදු පරිදි ඉතා දිගු සුන්දර නමුත් අපූර්ව එකක් වුණා. එක් පසකින් විසල් වෙල් යායකටත් සහ අනික් පැත්තෙන් වැව් තලයටත් පසුපසින් ගමටත් මායිම් වූ විසල් සඳළුතලයක් සහිත සාමාන්‍ය මට්ටමේ උඩුමහල් නිවහනක් අපට සෙවන සැලසුවා.  නගරයේ බොරු ආටෝපයෙන් සහ කෘතීම පරිසරයෙන් මිදුණු මේ නිවහනේ සඳළුතලය තුල ගෙවුණු නිමේෂයන්වලට සැබැවින්ම විසල් වටිනාකම්ක් තියෙන බැව් නොකිවමනයි. අවට වනයෙන් නැගුණු නොයෙක් හඬවල් ගී රාවයන් අතර මුසු වී ගියා. ඈත වෙල්යායත් වැව්තලයත් පිසගෙන පැමිණි සීතල සුළං රළින් නගරයේ අපවිත්‍ර සුළඟින් විඩා වූ සිරුර පිස දැමුවා. ජීවිතයේ තවත් එක් දිනක් ගතවී තවත් දිනක් උදාවෙන්නයි සූදානම!


උදේම නැගිට දතකට මැදකියා ගත්තට පස්සේ හැම දෙනාටම ඕනෑ වුණ දෙයක් තමයි කොහෙන් හරි හොඳට නා කියා ගන්න එක.  වැවේ ඉඳන් ගලා යන විසල් ඇළ මග ඒ කටයුත්තට ඉහටත් උඩින්. උදේ ඉඳන් වෙල්යාය දිගේ ඈතට නිදහසේ ඇවිද ගිය කණ්ඩායමේ හැම දෙනාම පාහේ නවාතැනේ වූ නාන කාමරයට ආයුබොවන් කියලා අැනිකට් එකක් ළඟ වතුර පාරට බැස්සේ සීතල ගැනත් හිතමින්.සීතල නමුත් පිරිසිදු වතුරත් ඇළ පාරේ මාළුන්ගේ සම්බාහනයක් පෙරදා තෙහෙට්ටුව මකන්නට උදව් වෙන්න ඇති. නැවත ගොඩට ආ යුතුමයි කියන විධානයක් ලැබෙන තුරුම හැම දෙනාම ඇළ වතුරේ පහස ලබමින් හිටියේ ඒ නිසා විය යුතුයි.  කොහොම වුණත් මේ තරම් අපූරු නෑමක් තවත් නැතැයි කී බොහොමයක් දෙනාට ඒ කතාව වෙනස් කර ගන්නට එදා දවසේම සිදුවුණා. ඒ කටයුත්ත වෙන්ෙන තව ඉදිරියට!

කොහොමින් කොහොමින් හරි ගොඩට ඇවිත් ඉක්මනින් නමුත් බඩ කට පිරෙන තුරු උදේ ආහාරය ගිල දමා නැවතත් අපි වෑන් රථයට ගුළි වුණා.  ඉඳි ආප්ප පාන් බත් පොල්සම්බෝල පරිප්ප සහ සැමන් යන ආහාරවලින් ඉස්මුරුත්තාවට එනතෙක්ම වාෙග් ගත්තු මේ උදේ ආහාරයත් අපට හැබෑම උදව්වක් වුණු නිසයි විශේෂයෙන් සඳහන් කරන්නට හිතුවේ. 

තරමක් මන්දගාමීව ගමනේ යන අපේ රියදුරු මහතාත් එක්ක නොයෙක් කතා මැද කතා අතරින් අපි පිටත්වුණේ රිවර්ස්ටන් යන්නටයි. තාක්‍ෂණ උපාංගත් ඒවාට ආසාකරන්නවුනුත් අඩු නොවුණු කණ්ඩායමේ පාර හොයා ගැනීමේ ඉඳන් වට පිට විත්ති ගැනත් හැම තිස්සේම වාර්තා කරන්නට කවුරුන් හෝ හිටියා. දකුණු පළාතේ ධීවරයන්ගේ අතුරුදහන්වීමත් දිවයින පුරු පැතිරෙන ඉතා අයහපත් කාලගුණය ගැනත් අතරින් පතර යමෙක් කතා කලා. මේ හැම දෙයක්ම මැද්දෙන් රිවර්ස්ටන් වෙත යන කඳු පාර දිගේ අපේ වෑන්රථය අපහසුවෙන් ගමන් කරමින් තිබුණා.  වෙනදාට වඩා තරමක තද සුළං සහ වැසි තිබෙන බැව් පාර දිගට කඩා වැටී තිබූ ගස් වැල් පෙන්වා දුන්නා. වෑන් රථය අවසානයේ තෙල්ගමු ඔය අසලට ආවා. 

කොහොමටත් සීතල වතුල පිරි තෙල්ගමු ඔය  වතුරින් පිරී වේගයෙන් පහලට ගලමින් තිබුණා. ඒ අතර හමන හුළඟත් ඒ හුළඟට මුහුව එන වැහි වතුරත් ඇඟ විනිවිද යන හීතලක් අපට ලබා දුන්නා. මේ මොහොතේ මෙතැන නාන්නට තබා ඒ ගැන යෝජනාවක් කරන්නටවත් අයෙක් කැමති වේදැයි මට තවමත් සැකයක්. මෙතන අපි නාලා යමු කියන අදහස යෝජනා කරන්නත් එය ස්ථිර වන්නත් එතරම් කල් ගත නොවුයේ දවස් එක හමාරක කණ්ඩායමේ අත්දැකුම් නිසි වියයුතුයි.  මොකද හැම වේලාවේම කණ්ඩායමේ ඕනෑම අයෙකුගේ අදහසක් ක්‍රියාත්මක කල හැකිව තිබුණ නිසයි. වේගයෙන් ගලන පිරිසිදු වතුරත් සුදොවුන් පෙණ අතරේ තදින් හමන වැසි සුළඟෙන් සිරුර හිරිවට්ටාගනිමින් ජීවිතයේ කිසිදා නොලද අත් දැකීමක් එදා හැම දෙනාම විඳගත්තා.  වැදගත්ම දෙයක් වූයේ කණ්ඩාමමම හැම දෙනාගේම ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වීමයි. මා හිතන විදිහට වීරයන් වන්නට අවැසි නොවන තරමේ පරිණත බවක් කණ්ඩායමට තිබීම එයට හේතුවයි. මේ හේතුවම තවත් අවස්ථාවක් කණ්ඩාමමම ගලවා ගන්නට හේතුවනවා. ඒ ඉදිරියට.

පැය දෙකකට අාසන්න වෙලාවක් අධිශීතලක ගත කරපු හැමදෙනාම ගොඩට විත් නැවතත් වෑන් රථය තුල ගුළි වුණේ වෑන් රථය තුල උණුසුමත් විඳිමින්.  මෙතැන් ඉඳන් කි මි 12කට වඩා දුෂ්කර කඳු නැගුමක් ඇති රිවර්ස්ටන් වෙත යන්නට තීරණය කළේ මේ අත් දැකීම තවත් දවසක නොලබන බැව් හැමදෙනාටම තේරුම් ගොසින් තිබූ නිසා වියයුතුයි.  යන අතරමග විවිධ බාධක පසු කරමින් තවත් වේලාවක බිමට බැස වටපිට බලමින් හැම දෙනාම සන්සුන් සිතෙන් ගමන් කලේ මෙවන් ගමනක් තුල කාලය ගැන දුක් වන්නට කාලයක් නොමැති නිසා වියයුතුයි.  සැබෑවටම අයහපත් කාලගුණයත් වැස්සත් සමඟ සුළඟ එකතු වී  පෙනෙන මානයේ ඇති කඳු අතර විවිධ රටාවන් මැවී මැකී යනු දැකීමට ලැබීම අයෙකුට ජීවිතයේ බොහෝවරක් ලැබෙන අවස්ථාවක් නොවෙයි. 

තරමක මීදුමකින් සහ වැස්සක් අතරින් විශාල සුළඟකට මුහුණමින් අපි රිවර්ස්ටන් හි රථය නතර කලා. වේලාව ප ව 2.30 ට පමණ ඇති. අන් දවසක නම් අවට අතිශය තද සීතලකින් හා වැහිබිඳිති වලින් වැසීගත් මේ වටපිටාව තුල රිවර්ස්ටන් නැගීම තබා රථයෙන් බිමට බැසීමට මේ කණ්ඩායමේම  ඕනෑම අයෙක් දෙවරක් සිතනු නොඅනුමානයි.  ඒත් ගත කල දිනය ගැන අපූරු හැඟුමකින් පිරි කණ්ඩායම රවර්ස්ටන් වෙත පයින් යාමට තීරණය කලා. වැහි බිඳු හා සුළඟත් ඒටත් වඩා ඇති අධික සීතලටත් ගැලපෙන ලෙස හැකි තරම් තමන්ගේ ඇඳුම් සකසාගත් කණ්ඩායම මීදුමෙන් වැසීගිය කඳු පාර තුල ඉදිරියට ගමන්කළේ කි මි 2කට ආසන්න නැගීමක් ඇති බැව් නොදැන නොවෙයි.  කවුරුවත් මේ තරම් සීතකට ලැහැස්ති වී නො ආ නිසා හැම දෙනාම අධික සීතලක් දරාගෙන ඉදිරියට ගමන් කලා. වෙනදා දකින මිනිසුන් කණ්ඩායම් කඩ කිසිවක් නැති මේ දවස තුල යන ගමත කාටවත් අමතක නොවන බැව් කිවයුතු නොවෙයි.  සුළඟ හමන සුළං කපොල්ල වෙත ගමන් කල කණ්ඩායමට ඉන් එහාට යන්නට බැරි බව තේරුණේ තමනුන් සුළඟට ගසා යන්නට තරම් හුළඟක් ඇති බව දැන ගත් පසුවයි. පසුපස ආ පිරිසක් එතැනින් ඉදිරියට යන්නට යැයි කියුවත් ආපසු එන්නට අපි තීරණය කලා.  ඒ වන විටත් අතිශය සීතල සැඩ සුළඟ මැද කි මි 1කට වඩා ගමන්ගෙන තිබුණු අපි සුළඟට කඩා වැටී තිබූ අතු අතරින් පහලට අැවිත් නැවතත් වෑන් රථයේ උණුසුම තුල ගුළි වුණා. අතරින්පතර කූඩැල්ලන්ගේ කරදර විසඳාගනිමින් මාතලේ බලා ගමන් කරපු අපි හවස 5ට පමණ ආප්ප කිහිපයක් කන තුරු දවල් කෑම පමා වූ බව කාටවත් ඒ හැටි නොදැනුනේ ලැබූ අත් දැකුමත් එක කුටියක ගත කල අපූර්ව දින දෙකක මතකයන් හිත වෙලා ගෙන තිබූ නිසා විය යුතුයි. !





Wednesday, March 20, 2013

හිතවත් රැඩ්ලි

එය තවත් එක් උදෑසනක්! හරියටම උදේ දහය පසු වන්නට ඇති. බොහෝ දෙනා තමන්ගේ එදිනෙදා කටයුතු කඩිමුඩියේ ඉටුකර ගන්නා මේ වෙලාව රාජකාරියට පැමිණි කිසිවකුට නැවතිය හැකි වේලාවක් නොවන බැව් මහ මග වේගයෙන් ගමන් කළ මොටෝරථ  පසක් කලා. කුරුල්ලන් වටපිට බලමින් පියාඹා ගියේ සුදු හැඳි විසල් පිරිසක් යම් තැනක් වෙත ගාටනු බලමින් විය යුතුයි.  සිනහවක් නොමැති ව එක එල්ලයක ගමන් කරන මුහුණු පෙළ දුටු අයෙකුට මේ හැම දෙනාටම සිදුව ඇත්තේ කුමක් දැයි සිතෙන්නට ඇති. හැබැවින්ම ඒ තරමටම මුහුණු පෙළෙහි ඇති හැම මුහුණකම පිටුපස හිඳි  හිත් එකම හැඟුමකින් පෙළෙන්නට තරම් බලපෑ කරුණ කුමක්දැයි අයෙකුට කියා දීම පහසු නොවෙයි.

ඒ අපේ හිතවත් සහෘදයකුගේ සදාකාලික නික්ම යාම සනිටුහන් වූ මොහොතක්.

හැබැයි, ඔහු සැබැවින්ම මට වඩා වසර ගණනාවකට වඩා වැඩි මහළු සගයෙක්. මගේ පියාටත් වඩා වැඩිමහළු ඔහුත් මාත් අතර පරපුර ගණනක් පරතරයක් තිබුණු බැව් තවමත් නොදැනෙන්නක්.  ඒ ඔහු කලාතුරකින් ඇසුරු කරන්නට ලැෙබන විරල මිනිසෙක් නිසාවෙන්.

රැඩ්ලි මට පලමුව හමු වන්නේ මීට සය වසරකට කලින්. ඔහු අපේ ආයතනයේ පරිපාලන ප්‍රධානියා.  ඔහු දරදඬු අයෙකුයැයි මම මුලින් හිතා හිටියත් වසරක් දෙකක් තුල ඔහු තුල ඉන්නා සැබෑ මිනිසා හැඳින ගන්නට ලැබුණු බවයි මගේ අදහස. එතැන් පටන් මේ වසර පටන්ගන්න තුරාවට අප එකට දවල්ට කෑම ගන්නට හැම දාකම එකතු වන්නට ලැබුණා. රැඩ්ලිගේ යුග ගණනක අදහස් මේ කාලයේ අපි සමග බෙදාගන්නට ඔහු හැම දාම ආසා කලා. ඔහුගේ විශේෂ ලකුණ නම් තමන්ට වඩා පරපුර ගණකට පසු බිහි වූ අපි එක්කත් අපේ අදහස් එක්කත් එකතු වෙන්නට තිබුණු හැකියාව. මුලින් දරදඬු යැයි සිතන ඕනෑම අයෙක් රැඩ්ලි එක්ක මිතුරු වන්නේ ඒ නිසයි.

ඇත්තටම ඔහු නොවන්නට මගේ ජීවිත ගමන වෙනස්ම මගක් ගන්නට තිබුණා. දෙවරක් ම  අස්වීමේ ලිවුම රැඩ්ලිගේ අතරම දුන්නු මම වෙනත රස්සාවකට යන බව ඔහුට කියුවේ මම ආයතනයට ඇවිත් මසක් ඇතුලතදියි.  මඳ සිනහවක් නැගූ ඔහු "හොඳට හිතල බලන්න" කියුවා හැරුණු විට වෙන දෙයක් කීවේ නෑ. දවස් දෙකකින් ඒ ලියුම් දෙකම අතට දී "හොඳ තීරණයක් ගත්තේ" කියා කියුවේ සැබෑම අව්‍යාජ අවංක අදහසකින් බව මට තේරෙන්ෙන් කාලයක් ගතවූ පසුවයි.

මිනිසුන් ජීවිතයේ හමු වෙන්නේ හේතුවකට, කාලයකට හෝ ජීවිත කාලයට  කියා තිබෙන්නක්.  සැබැවින්ම රැඩ්ලි ජීවිත ගමනේ හේතුවකට එක් කාලයක හමු වූ අපූරුම ගමන් සගයෙක්! වැඩිහිටියෙක් ප්‍රධානියෙක් විදිහට ඔහු විවිධ භූමිකාවන් හි කටයුතු කලත් මම ඔහුට සගයෙක් කියන්නට කැමති වෙන්ෙන් ඇත්තටම ඔහු සගයෙක් වුණ නිසයි. බලාපොරොත්තු විය නොහැකි තරම් අව්‍යාජ ඔහුගෙන් උගත් දේ ඔහු නිසා ලැබූ සතුට ඔහු හා ගත කල කාලය හැබෑවටම අපූරුයි.

අද උදෑසන... කාලය වේගයෙන් ගමන් කරන්නට වූ ඒ මොහොතේ ඔහුගේ පණසුන් සිරුර පොළව තුල තැම්පත් වුණා. එතැන හිටි හැම මුහුණකින් ම  දකින්නට ලැබුණු හිත් වේදනාවේ ලකුණු වලින් හැම හිතකම ඔහුගේ මතකයන් කොතෙක් මුල් බැස තිබේදැයි කියා පෑවා.  එතැන සිටි බොහෝදෙනකුගේ දෙනෙතින් වට කඳුළු බිඳිති වලින් තෙත් වූ පස් වලින් ඔහු කෙමෙන් කෙමෙන් වැසී ගියා. හිත් තුල දුකත් පාළුවත් තවරාගත් මිනිසුන් පිරිස දෙස අවට ගහ කොළ නිහඬව බලා හිටියා.
හිතවත් රැඩ්ලි
හෙට උදෑසන ඉඳන් කතා කරන්නට හිනා වෙන්නට වාද කරන්නට ඔබ අප ළඟ නැතත් ඔබ ලබා දුන්නු මතකය අමතක නොවන වටිනා එකක් බව සහතිකයි. 






Thursday, February 21, 2013

පුරෝහිත පින්නට තෙමුණත් මොකද?

දවසක් එක රජ කෙනෙක් තමන්ගේ රට තව විශාල කරගන්න හිතාෙගන අල්ලපු රට අල්ලන්න ඕන කියලා හිතුවා.ඒ තීරණය ගත්තු රජතුමා මහ විසාල සේනාවක් ලෑස්ති කලා. රටේ හැම ගෙදරකින්ම අයෙක් ඊට සම්බන්ධ වුණා.

රටම යුද්ධයට ලක ලැහැස්ති වෙනවා. ඒ යුද්ධය ගැනත් ඉන් ලැබෙන ප්‍රතිලාභ ගැනත් රට පුරාම ප්‍රචාරය. මේ අතර යුද්ධ කරන්න දවසින් දවස ළං වෙනවා. මේ අතර දවසක් උදේ රජතුමා තමන්ගෙ කාමරයෙන් එළිය බලනවා. දකින්නේ කුතුහලය මතුවෙන දෙයක්.

තමන්ගේ අග්‍ර පුරෝහිත තැන උදේ පින්නේ තෙමීගෙන සොටු හූරමින් උයනේ ගහක අත්තක් දිහා බලන් ඉන්නවා.

ඔහොම දවස් දෙකක් තුනක් ම උදේ පාන්දර මේ සිද්ධිය දකින රජතුමා එක දවසක පුරෝහිත ළඟට ගිහින් අහනවා...

"පුරෝහිත තමුන් මොනවද හැමදාම මේ උදේ පාන්දර ගහක අත්තක් දිහා බලන් ඉන්නේ?" කියලා

පුරෝහිත මෙන්න මෙහෙම උත්තර දෙනවා.

"රජතුමනි අර පේන ගහේ අත්තේ පුංචි කුරුළු පැටවු ටිකක් ඉන්නවා.  කුරුළු අම්මා ඒ අත්තේ ඉන්න සත්තු අල්ලගන්නේ නැතිව එහා ගහේ සත්තු අල්ලන්න යනවා. හැබැයි ඌ දන්නෙ නෑ ඌ එහෙ මෙහෙ වෙනකන් ඉඳලා කුරුළු පැටවු කන්න සර්පයෙක් ගහේ කඳ දිගේ බඩගාන බව. හැබයි ගහේ කඳ දිගේ බඩගාන සර්පයා දන්නෙත් නෑ ඌ අත්ත උඩට එනකන් උකුස්සෙක් එහා ගහේ බලං ඉන්න බව ඔන්න ඔය සිද්ධිය තමයි මම බලන් උන්ෙන්"

මේක අහපු රජතුමා වහාම තමන්ගේ තීරණය අහෝසි කරනවා. අනිත් රට අල්ලගන්නවා වෙනුවට තමන්ගේ රට දියුණු කරන්න පටන් ගන්නවා.

දැන් කාට හෝ හිතෙන්න පුළුවන් මේ කතාව ලියන්නෙ අැයි කියලා? පහුගිය මාසය දෙක පුරාවටම මුහුණු පොතෙත් වට පිටාවෙත් අාගම් ගැන කතා වෙන සම්ප්‍රප්පලාප වලින් හෙම්බත් වෙලා යමක් තේරෙනවානම් තේරුම් ගන්න කැමති අවැසි හිස් ගෙඩිය හිස් නොවූ මොළයක් ඇති මිතුරු මිතුරියන් වෙනුවෙන් මේ කතාව ලියන්න හිතුවා. කැමතිනම් බෙදා ගන්න රිසි අයෙක් සමග.

ප.ලි. මේ කතාව මගේ නිර්මාණයක් නොවෙයි. මේක පරණ චීන උපමා කතාවක්. මම පොඩ්ඩක් හරිගස්සගත්තා අපේ අද දවසේ සිදුවීම් වලට.

හැබෑවටම නුවණැති පුරෝහිතයන් ඉන්නතාක් රජවරුත් රටත් රැකෙන බව නම් මේ කතාවෙන් මොනවට පෙනෙනවා. ........!








Friday, January 18, 2013

හිතවත අපට සමාවෙයන්!

සතියේ රාජකාරි දිනක් නිසාවෙන් පාරේ වාහන එකිනෙකා පරයමින් දුවන්නට වෙරදරන හැන්දෑවක් බවට එදා පත් ව තිබුණා. අළුත් පාලම ළඟ  එක් පෙළට දිවයන නවීන පන්නයේ මෝටර් රථ ජීප් රථ අතර කඩිනමින් මග සොයන මෝටර් බයිසිකලත් මහමග එකම කලබලයක් කරමින් ගමන් කරන මගී බස්රථත් යම් කටයුතු වලට පැමිණි ලොරි රථ වැනි විසල් වාහනත් එක මග ගමන් ගනිමින් තිබුණා. එකම මිනිස් පවුලේ සාමාජිකයින් වුවත් තම තමන්ට හැකි පමණ පහසු ලෙසින් ගමන්පහසුව සකසා ගැනීම ගැන දැකිය හැකි හොඳම උදාහරණයක් ලෙස එය ගත හැකි බැව් මගේ අදහසයි. එසේ වුද සුවපහසු මෝටර් රථයක වුවත් සෙනග පිරී තෙරපීයන බස් රථයක වුවත් ගමන් කරන්නේ එකම මිනිස් පවුලක සාමාජිකයින් නොවේදැයි අයෙකුට හිතෙන තරමට පරතරයක් සමාජය විසින් ඇති කර තිබෙන බව පෙනුනේ බස්රථයන්ට ගොඩ වීමට වෙරදරන මිනිසුන් තනි මිනිසකු ගමන් කරන මෝටර් රථ දෙස බලාපොරොත්තු සහගත බැල්මෙන් බලනු දැකුමෙන්.  සැබැවින්ම මිනිසුන් තම දහඩිය මහන්සියෙන් ලබා ගන්නා දේ ගැන තෘප්තිමත් වීම සහ ලබා ගතයුතු දේ ගැන ඇති බලාෙපාරොත්තු හැම දෙනාවම මේ එදිනෙදා ජීවත් වීමේ අරගලය වෙත ගෙන යනවා ඇති.  ඒ ගැන කතා කරන්න අද වේලාව නොවන හින්දා මම සිදුවීම ගැන ලියන්න හිතනවා.

මගේ රථයත් මේ ගමන් රථ පෙළ අතර හිරවෙලා සෙමින් ගමන් කරන ඉබ්බෙකු වගේ ඉදිරියට ඇදුණා. මේ අතරේ පාරේ එක් කොනක හිටි අයෙක් දෙස මා බැලුවේ එතරම් ඕනෑකමකින් නොවෙයි. ඒ නමුත් ඉරි සරමකින් සහ සුදු ෂර්ටයකින් සැරහී එක් අතක ෂොපින් බෑගයක් සහ අනික් අතේ කුඩා දැරියක් එල්ලාගෙන සිටි  ඔහු තම දියණිය සමග පාර පනින්නට දරණ උත්සාහය නිසා මම ඒ දෙස බලා සිටින්නට ඇති.  කහ ඉරක් නුදුරු මානයක නොවූවත් කුඩා දරුවාත් සමග මේ නොනවතින රථ පෙළ හරහා යන්නට ඔහුගේ ඇති බලාපොරොත්තුව අත් නොහලේ කඩිනමින් නිවසට යන උවමනාවෙන් වෙන්නට ඇති.  විටින් විට මගට බසිමින් දරුවා අල්ලාගත් දෑත දැඩි කරගනිමින් පාර පනින්නට මේ දෙදෙනා උත්සහ කලා. එක් වාහනයක් ඒ දෙදෙනාට ඉඩ දෙමින් නැවතුවේ මේ අරගලය දැකලා විය යුතුයි. ඉක්මනින් කාලය ගතවන රාත්‍රියේ තමන්ට වගේම පාරේ යන හැම දෙනාටම ගෙදර යන්නට ඇති උවමනාව ගැන සංවේදී විය හැකි මිනිසකු ඒ වාහනය පදවන්නට ඇති.

ඔහු දෙස අහිංසක ස්තූතිකරන බැල්මක් හෙලමින් පියා කුඩා දැරියත් අතින් ගෙන ඉක්මනින් පාර හරහා දුවන්නට වූයේ හැම රියදුරකුටම එසේ සංවේදීවිය නොහැකි බැව් දත් නිසා වෙන්නට ඇති.  ඔව්න් පාරේ මැදට එනවාත් සමග වුෙණ් ජීවිතයේ සැබෑ ස්වභාවය ගැන පහදන සිදුවීමක්. ඔහුගේ අත තිබුණු ෂොපින් බෑගය කඩා වැටී තිබුණේ පාර පුරාවට යම් ඇට වර්ගයක් විසිරුවමින්.  වහාම තම දරුවාව පාර මැද කොංක්‍රීට් තීරුව මත තැබූ පියා පාර මැදට විත්ඒ ඇට එකතු කරන්නට වුණේ තමන්ගේ හිස මතින් වාහන ගියත් කම් නැතැයි කියා විය යුතුයි. ඇත්තටම මුංඇටහෝ කව්පි වැනි ඇටවර්ගයකින් කිලෝ එකක ප්‍රමාණයක් පාර පුරා එකතු කරන්නට උත්සහ කරන්නටඒ තරම් පහසු නෑ. පසු පසින් නොනවත්වා වාහන නලා ශබ්ද වෙන්නට පටන් ගත්තත් ඉදිරි පෙළ වාහන සියල්ලම නවතා තිබුණේ ඔහුට ඇති තරම් කාලය ගෙන ඒ කටයුත්ත කරන්නට ඉඩ දෙමින්. විටින් විට ඇඬුම්බර මුහුනින් සිටි තම දියණිය සනසන බැලුම් හෙලමින් ඔහු ඒ අැට වර්ගය බෑගයට එකතු කරමින් සිටියා. මේ මොහොතේ ඔහුට උදවුවට පැමිණි පාර අසල සිටි තවත් අයෙක් පාරේ දූවිලි සමග දෝතින් එකතු කරගත් ඇට මල්ලට දැම්මා.  මේ කටයුත්ත විනාඩි දෙකක් තුනක් පමණ සිදු වෙන්නට ඇති.

අවසානයේ ඔහු තමන් වෙනුවෙන් නවතා සිටි වාහන දෙස අතිශය ගෞරවයකින් බැලුවා. එහි තිබූ කෘතඥබව කියන පණිවිඩය අහිංසකව ඉදිරියට මතුව පෙණුනා. ඉන් පසු හේ වහාම එකතු කරගත් ෂොපින් බෑගය ගෙන තම දරුවා වෙත ඉක්මනින් ගමන් කලා.

රාත්‍රියේ නිවසට යන රියදුරන්ටත් බස් රියදුරන්ටත් විනාඩියක් යනු කොයි තරම් පමාවක් දැයි කිවයුතු නොවෙයි.මේ මොහොතේ ඉදිරි පෙළ රථයන් හි උන් රියදුරන්ගේ ඉවසීමට හේතුව මේ දසුනේ ඇති සංවේදී බවයැයි මට හිතුණා. 

 සියයක වැනි මුදලකට ගත හැකි මේ ධාන්‍ය කිලෝව ගැන මේ තරම් කරදර වන්නට ඔහුව පෙළඹූ හේතූන් කුමක් විය හැකිද? නිසැකවම ආයෙත් වියදම් කරන්නට ඇති නොහැකියාවයි. ඒ නිසා තමන්ගේ දරුවාත් අතක අල්ලාගෙන පාර මැදක මෙවැන්නක් සිදු කරන්නට ඔහුට සිදු වෙයි. ඒ දැක සංවේදීව තම  වාහන එතැන නවතා සිටින්නට තරම් ඉවසීමක් තිබූ අතලොස්සක් පමණවත් මිනිසුන් පෙළක් සිටි නිසා ඔහුට තරමක් හෝ අස්වැසිල්ලක් ලැබෙන්නට ඇති.


ඇත්තටම මෙයට සංවේදීවිය යුත්තේ ඇයි? මේ කතාව මගේ මිතුරන් පිරිසක් හා කියූවිට කිහිප දෙනෙක් කියූ කතා දැක ඉහත කොටසත් ලිවිය යුතු යැයි හිතුණා. අයෙකුගේ පිලිතුර වූයේ අප පමණට වඩා මේ අන් මිනිසුන්ගේ දේ ගැන හිතන බවයි. තවත් අයෙකු එසේ සිතීම සහ නවතතබාගෙන උන් රියදුරන්ගේ ඇති මෝඩ කම ගැන පවසා සිටියා. තවත් අයෙක් කියා සිටියේ වාහන රැසක් කඩිනමින් යන මේවැනි තැනක පාර පැනීම නිසා මොහුට වෙච්ච දේ හොඳවැඩේ යැයි කියායි.  කිහිපදෙනකු පමණක් ඒ රියදුරන්ගේ ඉවසීම අගය කලා.

වසර දහස්ගණනක සිට අාගමින් දහමින් පෝෂණය වී යැයි කියන උදෑසට සිට රාත්‍රිය තෙක් බණ කියන රටක එයටත් වඩා මහත් ඕනෑකමින් රටේ තොටේ බොහෝ කටයුතු දෑ ගැන සංවේදී වන අපි ගැන වැඩි දුරටත් සිතිය යුතු බැව් එ් අදහස් අසන මට හිතුණා.  තමන්ගේ මඩිය තදවී තිබේ නම් අන් අයගේ කටයුතු ගැන සිතීම අවශ්‍යදැයි හිතන තරමටම සමාජය විසින් අපට වෙස්මුහුණු පැළඳ තිබේද? ඔබ මෝටර් රථයක නොව බසයක නැෙතාත් ඒ මොහොතේ පාර අයිනේ හිටියානම් හිතන දෙය සහ කරන දෙය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණාද? තමන්ගේ මෝටර් රථයන් හි ගමන් කරන මිනිසුන්  සහ අන් මිනිසුන් අතරත්, මෙවන් සිදුවීමකදී අතහැර දමා අළුතින් ධාන්‍ය ගන්නට මුදල් ඇති මිනිසුන් හා නැති මිනිසුන් අතරත් ලෙසින් අප අතර වෙනස් කමක් තිබෙයිද? මට දැෙනන ලෙස කටුක සත්‍යය එය එසේ බවයි.  අවාසනාවනම් බොහෝ දෙනාට අන් අය ගැන සංවේදී වීමට ඇති හැකියාව මේ ධනය බලය සහ තමන්ගේ මට්ටම සමග ගැටුමක් ඇති කර හීනවී යාමයි.  ඉතින් සමාජය ලෙසින් ගත් කල මිනිසුන් පදිකයන් වීම රියදුරන් වීමට වඩා හොඳයැයි අයෙකුට සිතිය හැකියි. මේ එක් උදාහරණයක් පමණක් වුවත් සමාජයේ සියලු තැන්හිදී මෙය සිදු වන බැව් දැකිය හැකියි.  ඉතින් මෙවන් තත්වයක හිඳ හැම දෙනාගැන සංවේදී වන විනයැති සමාජයක් ගැන කතා කිරීම කොයි තරම් අපහසු දැයි කිව යුතු නොෙහ්.

අප දියුණු සංස්කෘතියකින් පෝෂණය ලබන විට ම්ලේඡයින් මෙන් සිටි සමහර ජාතීන් අද අප පසු කර ඉදිරියට යෑමත් ඔව්නගේ විනය හර පද්ධති ගැන අපට කතා කරන්නට සිදුවීමත් පුදුම සහගත කරුණක් බැව් තවත් මිතුරකු මා සමග කියා සිටියා.  ඇත්තටම අපූරු ගැටළුවක් අපට කොහේ හෝ වැරදී ඇතිදැයි ඔහු නැවත ප්‍රශ්න කලා.

නැවත මුල්කතාවට යමු, මේ සිදුවීම ඇසින් දුටු මා හට ඔහුගේ උදව්වට යාමට නොහැකිවීම ගැන මම කණගාටුවට පත් වුණා. මම රථ පෙළක මෝටර් රථයක රියදුරු අසුනේ නොව මහමග පදිකයකුවී සිටියා නම් දෙවරක් නොසිතාම උදව් කරන්නට තිබූ බැව් මා දන්නා දෙයක්. ඉතින් මා මෙම ලිපිය "හිතවත අපට සමාවෙයන්!" ලෙස නම් කලා. මම මේ ලිපිය ලියන බැව් ඇසූ කිහිප දෙනෙක් අවඥාවින් සිනාසුන අතර තවත් කිහිප ෙදනෙක් ආදරයෙන් මා දෙස බලා සිටියා. මා වෙත පැමිණි එක් අයෙක් අනිවාර්යයෙන් ලියපන් යැයි කොඳුරා ගියා. මනුෂ්‍යත්වයේ කෙඳිරීමක් ඒ හඬ තුලින් ඇසුනායැයි අයෙකුට සිතිය හැකියි!