Tuesday, November 27, 2012

ගිමන් හරින දියඹ දිගේ!


විවිධ කටයුතු වලින් විඩාපත් වූ මම මුහුණු පොතේ මිතුරකු එවා තිබූ දිගුවක් විවෘත කළේ එතරම් අදහසකින් නොවෙයි. ඒ උනත් මේ දිගුවේ ඇත්තේ ගීතයක් බවත් ඒ ගීය අමරදේව ශූරීන්ගේ බවත් දැක්කහම මට එය විවර කරන්නම හිතුණා.  කර්කශ සංගීත යවුල් වලින් ඇණ තුවාල කර තිබෙන කණට යම් අස්වැසිල්ලක් ඉන් ලැබේයැයි කියලත් නොහිතුනාම නොවෙයි. නමුත් මේ ගීතය මා කිසිසේත් බලාපොරොත්තු නොවූ තරම් අපූර්ව ගීතයක් බව ගීතයේ මුල් සංගීතය අහන කොටම හිතුණා.

ජීවිතයේ සැඳෑ සමය ගත කරන ඔබගේ ස්වරය කොයි තරම් හිත සුවපත් කරන්නේද යන්න කොහොම පැහැදිලි කරන්නදැයි මට තවමත් නොතේරෙන දෙයක්. මේ පද පෙළත් එයටම සරිලන සියුම් සුගම සංගීතයත් ගීතය තුල අපට ජීවත් වෙන්නට ලෝකයක් මවනවා. 


ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා


හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු
ආදරයද මේ................
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ....................

නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රජයන
තොල් පෙති කල් පලදාලන
ආදරයද මේ......................
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ..................



ආදරය ! කොයිතරම් අපූරුම සොඳුරු වචනයක්ද කියලා කියන්න අවැසි නෑ. ලෝකයට බිහිවුණ දා ඉඳන් තමන්ගේ අම්මාට තුරුළුව විඳි ආදරයේ ඉඳන් ඇරුණු ලෝකයේ විවිධ චරිත අතර ගෙවුණු ආදරය ගැන කොයි තරම් පද ලියැවී ඇතිද? මිනිසාට කොයි තරම් ආදරය යන වදනත් ඉන් ඇති කරන හැඟුමත් වැදගත් ද යන්න කියන්නට අවැසිද? ඔබ මා අසා ඇති ගී අතුරින් කොතෙක් ගීත ආදරය ගැන ලියැවී ඇති දැයි හිතීමම එයට සාක්‍ෂි ගෙනනවා. 

මව්පිය සෙනෙහස ජීවිතය පුරා නොවෙනස්ව ලැබෙන්නක් නිසා දෝ එහි ඇති විවිධ අවස්ථා ගැන ගීත ලියැවුණා අඩුයි. ආදර ගීත බහුතරයක්ම ලියැවී තිබෙන්නේ ආදරවන්තයින් වෙනුවෙන්. නමුත් මෑතකදී මා අැසූ ගීත අතර ආදරය ගැන සියුම් නමුත් සරල පද පෙළකින් ලියැවුණු මේ ගීතය හිත තුල සියුම් හැඟුමන් එක් කරන්නට සමත් වූ අපූරුතම ගීතයක් බැව් කියන්නම අවැසියි. 

ආදරය යනු කොයි තරම් මිහිරි අත් දැකුමක්ද
විටෙක සිත  දැහැනින් වෙළන 
තවත් විටෙක සිතට විඩා ගෙනෙන 
අප හා සරන
මේ ලෝකය අප අවට වටපිටාව අපට කියා දෙන 
ඒ සොඳුරු  ආදරය මේ යැයි කියා මේ සොඳුරු ගීතය අපට කියනවා.
ආදරයේ ගැඹුර එහි ඇති මිහිර කොයිතරම්ද යන්න අසන්නා සහ බලන්නාගේ සිත් නොතැලෙන සියුම් වූත් සරල වූත් සුන්දර වූත් රූප පෙළකින් ගීතය සරසනවා 


එකම පද විවිධ ගායකයින් කියන කොට අපි විවිධ කන්ණාඩිවලින් දකින බව නටන කකුල්වලට ගයන නවක ගායක ගායිකාවන් කියනු මම දැක තිබෙනවා. හිතවත් සොයුර සොයුරිය බලනු කොයි තරම හැඟුමක් ගැයුමකින් හඬකින් අසන්නා වෙත පිදිය හැකි ද යන්න. ඒ නිසයි ඔව්න් ශ්‍රේෂ්ඨයින් ලෙස හැමදාමත් හිතේ රැඳෙන්නේ 

ගීතයන් තුලින් හිතවත් වූ අමරදේව හිතවතාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!

බලන්න 

http://www.youtube.com/watch?feature=player_embedded&v=J467jzLlDcc

Sunday, November 18, 2012

පාසැලේ ඉඳන් ගෙදරට



පාසැල ඇරී තරමක කාලයක් ගත වුණත් මහපාරේ ඇති පාසැලේ සිට අතුරු පාරේ තමන්ගේ ගෙදරට ඇති දුර කිලෝමීටර තුන හතරක් වූ නිසාත් ගල් ගොඩැලි ඇති වැලිපාරේ වාහන නොයන නිසාත් පුංචි වුන් පස් හය දෙනා ගුරුපාර දිගේ ගමන් කරමින් හිටියා. අහසේ වලාකුලක් පෙනෙන තෙක් මානයේ නොතිබුණු නිසාත් මද්දහන් වේලාවත් නිසා ඉර එළිෙයන් ලැබුණු උණුසුම වැඩියි. ඒ වුණත් මග දෙපස තිබුණ ගහ කොළ හිංදා පාෙර් තැනින් තැන කළු සෙවනැලි දකින්නට ලැබුණා.

තරඟයට මෙන් පුංචිඋන් ඒ සෙවනැලි වලට දුවමින් වෙහෙස නිවා ගත්තා. සපත්තු දෙකක් තිබුණේ එක් පොඩි එකෙකට විතරක් හිංදා පුංචි පිටිපතුල් දූවිල්ලෙන් පිරී ගොසින්.  වතුර බෝතලයක් කා ගාවවත් නොතිබුණේ වතුර බෝතල් තවමත් මේ පළාතට නුහුරු නිසාවට වඩා වතුර කියන දේ කොතැනින් කොහොම බීවත් එකයි කියා පවුලේ ඇත්තන් සිතූ නිසා විය යුතුයි. කොෙහාමටත් ගමේ වැවෙන් ඇලෙන්  වතුරින් පිපාසය නිවන මේ පුංචි උන්ට තමන්ගේ පිරිසිදු වතුර බෝතලයක් කියන දේ ඒ තරමට ඕනෑ දෙයක් නොවෙයි.

පාර පුරාවට දුව පනිමින් හිටි පුංචි උන්ගෙන් පිරිමි දරුවන් දෙදෙනෙක් කෝටු කෑලි දෙකකින් පාරේ ඉරි අඳිමින් ගමන් කලා. තවත් දරුවන් දෙදෙනෙක් වට පිටාවේ ගස් වල කොළ අතු වලින් සෙල්ලම් කරමින් ගමන් කලා. පුංචි දැරිවියන් දෙදෙනා පරිස්සමින් අඩි තියමින් කොලු පැටවුන්ට අවවාද දෙමින් තරවටු කරමින් ගමන් කලා.  මේ හය දෙනාම තමන්ගේ ඇඳුම් පරිස්සමින් කිලුටු නොවන ලෙස ගිය බව අයෙකුට දැනෙන්නට තරමක කාලයක් ගත වන්නක්. කොතරම් සෙල්ලමින් ගියත් තමන්ගේ ඇඳුම් කිලුටු වීම ගැන මේ තරම් සැලකිල්ලක් මේ පුංචි උන්ගෙන් දකින්නට ලැබෙන්නේ උනුත් තමන්ගේ මව්පියන්ගේ ජීවන අරගලය ගැන දන්නා නිසාදැයි සිතෙන්නක්.  පාර පුරා පැතිර යන පුංචි උන්ගේ කට හඬවල් අවට ගස් පවා අසා සිටියේ සංයමයෙන් සතුටින්. කුරුල්ලන් පවා ඔව්න් දෙස බලා සිටියා. කාලය ගැන  කිසිදු හැඟුමකින් තොරව ඔව්න් හිතුන තැන නතරවී කුරුල්ලන් බැලුවා.සෙල්ලම් කලා. පාර දෙපස තිබූ අඹ ගස් වල අමු අඹ ගෙඩි ගෙදරට යන තුරුම පුංචිකුසගිනි නිවන්නට ඇති.  මොවුන් මෙන්ම උන් දකින තුරු නිවසේ වැඩ කරන මව්පියන්ෙග් කාලයත් නිදහසේ ගලා යන බැව් මේ හැසිරීමෙන් පෙනුනා.

ඔව්න් දකින මට නගරයේ දරුවන් පාසැල ඇරී ගෙදරයාම සිහිවුණා.

මගේ සමීප මිතුරකුගේ දියණියක් පාසැලින් නිවසට එක්ක යන්න විඳින දුක මට සිහිපත් වුණේ නිතැතින්. තමන්ගේ රාජකාරි ජීවිතයේ ඇති බරපතල කටයුතුත් තම බිරිඳගේ රාජකාරි ස්ථානයෙන් ඇයට පැමිණීමට ඇති ගැටළුත් අතර පාසැල ඇරී මොහොතක් හෝ දරුවා තනිව තැබීමට නොහැකි තරමට ඇති අනාරක්‍ෂිත බවත් නිසා ඒ පවුලම දිනපතාම මුහුණ දුන්නේ කාලය සමග සටනකටයි. අම්මා හෝ තාත්තා පැමිණෙන තෙක් වෑන්රථ හා අනිකුත් වාහන අතර තම පුංචි මිතුරියන් නොපෙනී යන විට ඒ දරුවාගේ පුංචි හිත තුල ඇති වන තනිකම, බය සහ අසරණ බව ගැන මිතුරාත් මා සමඟ කියුවේ එක් දිනක පමණක් නොවෙයි. ඇත්තටම නගරයේ රැකියා කරමින් දරුවනට උගන්වන්නට වෙර වෑයම් කරන බොහොමයකගේ කතාව මීට වඩා වෙනස්වන්නක් නොවෙයි.

තමන්ගේ දරුවන්ට තමන්ටත් වඩා පහසුකම් දී නගරයේ පිලිගත් පාසැලක උගන්වා උස් මහත් කිරීමට දරණ විරිය අතර තුර දී ජීවිතය තුල තමන්ටත් තම දරුවනටත් විඳින්නට හැකි යම් දේ සැඟව යන බැව් මට සිතෙන්නක්.  සියළු දේ කෘතිමව මවා ඇති වටපිටාවක වැඩෙන දරුවා නිවසේ සිට පාසැලටත් පාසැලේ සිට නිවසටත් යන සීමාව තුල හිරවීම ඒ දරුවාට කොයි තරම් බලපෑමක් කරන්නේද යන්න දැනෙන්නට දරුවා සමාජගත වන තුරු දෙමව්පියන්ට අවබෝධ කිරීම පහසු නොවන බව දැකිය හැකියි. මීට හේතුව පිටින් නැතත් හිත තුල ඇති තරඟය සහ අවට ඇති තරඟකාරී බව යැයි අයෙකුට සිතිය හැකියි.

අවාසනාවකට මෙන් තමන්ට අද සැකසූ උද්‍යාන තුල පරිසරය දකින දරුවා සැබෑ පරිසරය තුල ජීවත් නොවන නිසාෙවන් අනාගතයේද පරිසරය යනු උද්‍යානයමයැයි සිතනු වැලැක්වීම පහසු නොවේ.  ඉතින් මේ රාමුව තුල හිරවී ලෝකය දකින පිරිසට තම දරුවාත් එකතු කරන්නට වෙහෙස වන දෙමාපියන්හට තරඟයෙන් පිට අවබෝධ කරන්නටද වේලාවක් නොමැත්තේ ජීවිතය ගෙනයාමට රැකියාව හා කාලය අතර නිමා නොවන තරඟයක ෙයදී සිටින හෙයිනි.

ඉතින් නැවත මුල් කතාවට යමු.

නගරයේ පොඩි උන් පිහිනුම්,භාෂා ආදී නොයෙක් පංති වල හිරවී ෙදමව්පියන් එනතුරු බලාසිට වාහනයක අසුනක නිදිකිරා වැටෙන විට මාදුටු මේ පුංචි උන් දවසම පරිසරයේ ජීවත් වී උන් එනකම් ගෙදර බලා සිටින තම මව්පියන් වෙත දුවනවා ඇති.

අපට නගරයේ ක්‍රියාකාරකම් මේ තරඟ දිවුම නැවැත්වීමට කිසිදා හැකි වේදැයි සැක සහිත මුත් සොබා පරිසරයේ ජීවත් වන මේ සොඳුරු කුඩා උන්ටත් තරඟ දිවීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බැව් දැනීම ඇති කරන්නේ සියුම් වේදනාවකි.





Saturday, November 17, 2012

වැනසීමෙන් සැනසීම - අපේ ගීතය


සටහන : මුහුණු පොතේ රනිල් මුදුන්කොටුව සොයුරාගේ නන්දා මාලිනී ගීත එකතුවේ සටහන් වූ කරුණක් නිසාවෙන් ලැයැවුණු සටහනක්.  පහත දැක්වෙන දිගුව තුල අප දන්නා අපූර්ව ගීයක් සම්පූර්ණ වෙනස්කර අන් අයකු විසින් කල ගැයුමක් එයට හේතු පාඨ වුණා. එය වඩාත් තීව්ර වුණේ  මේ ගායනා කරන්නේ කසුන් කල්හාර බැව් කතාවීමයි.

https://www.youtube.com/watch?v=iuTmk_8-m2k


මේ ගැන සෙවීමේදී මා කල සටහන මගේ පිටුව තුල ලිවිය යුතුයැයි සිතුවේ තවත් මිතුරන් රැසක් සමගින් මේ ගැන කතා කරන්නයි. මේ ඒ සටහනයි!


"පලමුවෙන්ම මෙවැනි දෙයක් ගැන සංවේදීවන පිරිසක් අපේ පරපුරේ සිටීම ගැන හිට ඇත්තේ සැබෑම සතුටක්.


ගීතයක අයිතිය හිමි කාටද කියන ගැටළුව අප කතා කරන්නේ කාලයක පටන්. ගීතයට වානිජ වටිනාකමක් ලැබීම ඉහල යාමත් සමග තමයි ශ්‍රී ලංකාව තුලමේ ගැටළුව එළිබසින්නේ. ගීතය විවිධ විදිහට භාවිතා කරමින් මුදල් හොයන එක අද අරුමයක් නොවෙයි. ස්ටාර් කියාගන්නා ආධුනික ගායක ගායිකාවන් තවමත් ජීවත් වෙන්නේ මේ අන් නිර්මාණකරුවන්ගේ ගීත විකුණාගෙනයි. ඒ ගීතයන් හි මුල් කෘතීන් හා නිසි අයිතිකරුවන් ගැන ඔව්න් කොහොමත් තැකීමක් නෑ. ඔව්න් තමන්ගේ තරඟය අවසන මෙරටේ වේදිකාවල පමණක් නොෙවයි පිටරට වේදිකාවලත් තවමත් ජීවත්ව සිටින ගායක ගායිකාවන්ගේ ගීත කියා ජීවත් වන බව අප්‍රසිද්ධ දෙයක් නොවෙයි. පහුගිය දවසක මම ඇසුවා ජෝතිපාල මහත්මයාගේ ගීයක් සම්පූර්ණයෙන් විකෘති කර ගායනා කර මුදල් හම්බකරන ආධුනිකයෙකුෙග් හඬක්. ඉතින් තමන්ට සල්ලි හම්බකරන්නත් තාවකාලික ප්‍රසිද්ධියටත් තම පෞරුෂයේ නිරුවත ප්‍රදර්ශනය කරන නවක ගායක ගායිකා පිරිස ගැන කතා කිරීමමත් කණගාටුදායකයි. සමහරවිටක සැබෑ නිර්මාණකරුවා මෙන් කිහිප ගුණයක් මුදල් ලබා ගන්නට මේ නිවට පිරිස් පෙළඹීමත් ඒ මුදල් ගෙවන්නට සූදානම් පිරිස් සිටීමත් මෙහි ඇති අවාසනාවන්ත තත්වයයි. එසේ වුද එළිමහන් ප්‍රසංගයකට යන අයෙකුගෙන් හෝ ඇසුවහොත් ඔව්න් මුල් නිර්මාණකරුවා ගේ ගීතය ඇසීමට වඩාත් ප්‍රියකරන් බැව් නොකිවමනායි. ඉතින් මේ ලැබෙන්නේ රසිකයනට අවශ්‍ය දේ ද නැති නම් මවාගත් දෙයක් ද කියන දේ ගැන කතා කිරීමම නිෂ්ඵල දෙයක්.

මාතෘකාවෙන් පිට කියල අයෙකුට හිතුණත් මේ තමයි පසුබිමින් ඇති ගැටළුව.

නමුත් මේ කතාවෙදි අපි මේ තරමි සංවේදී වෙන්නේ මේ ගීතය අපට ඇති සමීපතම සබැඳියාවත් මේ ගායිකාව, පදරචනය හා සංගීතය ගැන අපේ හිත ඇති ගෞරවයත් ඒ හා සමානවම කසුන් කල්හාර නම් නිර්මාණ ශිල්පියා ගැන අපි හැම දෙනාගේ ඇති බලාපොරොත්තුවත් නිසාවෙන් කියලයා මගේ අදහස.  මගේ පුද්ගලික අදහස මේ ගීතය ගායනා කරලා තියෙන්නේ කසුන් කල්හාර නොවේ කියායි. ඔහුගේ භාවයන් මේ කට හඬ තුල මට දකින්න නැති නිසයි එහෙම කියන්නේ. කසුන් අනුකරණය කරන පරම්පරාවක්ම සිටින නිසා මේ ඒ එක් අයෙක් විය හැකියි කියායි මගේ අදහස. ඒ වාගේම අප දකින සමහර හානි කිරීම් වලට වඩා මෙය අඩු හානියක් බවත් මට හිතෙන්නේ මීට වඩා හානි කිරීම් දිනපතා රූපවාහිනියෙන් ප්‍රසංග වේදිකාවල සිදුවන නිසා.

ඉතින් මේ වැනි සිදුවීමක් වූ පලමු හා එකම අවස්ථාව මෙය නොවුනත් නන්දාමාලිනියගේ ගීයකට මෙවන් දැයක් සිදු කිරීම මා  දුටු පලමු අවස්ථාව මෙයයි. ඉතින් අයෙකුට තර්ක කල හැකියි මේ එම ගීතයේම තවත් මානයක් කියා. ඇත්තෙන්ම ලෝක සංගීතය තුල මෙවැනි දේ ඕනෑ තරම් දැකිය හැකියි. නමුත් මේ ලෙසින් අනුන්ගේ දැයින් හම්බ කරගෙන ජීවත් වන හිඟන නවක ගායක ගායිකාවන් (වෙසෙසින්ම ස්ටාර්) සිටින රටක තමන්ගේ ප්‍රසිද්ධිය වාසිය තකා ඕනෑම දෙයක් කිරීමට සූදානම් පිරිස් ඇති රටක මෙවැනි දෙයක් සිදුවන විට රසිකයන් ලෙස අප සංවේදී වීම වැදගත් වෙන්නේ ඒ ගීතයටත් එහි නිසි හිමිකරුවනටත් මේ නිවටයින් පසුපස යා නොහැකි නිසාවෙන්. 

මුල් කෘතියේ අයිතිකරුවන්ගෙන් කිසිදු අවසරයක් නොගෙන තමන්ගේ වාසිය වෙනුවෙන් කරන මෙවැනි දෑ ගැන නීතිමය කටයුතු කරන්නට ආයතනයක්/සංවිධානයක හෝ අවශ්‍යතාවයක් මා දකිනවා. ඉන් අවම ලෙස අපට මේ දේ වඩාත් ක්‍රමවත්ව නිර්මාණශීලීව වනු දැකිය හැකි වේවි. "


ඉහත කතා බහට අදාල මුහුණු පොතේ දිගුව
https://www.facebook.com/pages/Nanda-Malini-%E0%B6%9C%E0%B7%93%E0%B6%AD-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80/240406086103

ප. ලි.

රසවින්දනය යනු සීමා මායිම් වලින් කොටුකල නොහෙන අපරිමිත ආශ්වාදයකි. එලෙස සිතන විට මූල්‍ය අපේක්‍ෂාවලින් තොරව මුල් නිර්මාපකයින්ගේ ආශිර්වාදයෙන් සිදුකරන වෙනස්කම් සිදු නොවිය/නොකල යුතු බව මම කිසිසේත් නොසිතමි.

ගීතයක විවිධ මාන පුළුල් වන ලෙසත් එහි මුල් රාමුව වෙනස් කරමින් යම් විටක මුල් ගායක/ගායිකාවන්ගෙන් ඔබ්බට ගොස් නැවත ගායනය,සංෙයා්ජනය සිදුවීම විය යුත්තක් වන බවත් වැඩි දුරටත් සිතමි.

එසේ වුද ඉන් ඇති කරන බලපෑම සහ එහි මූලික අවශ්‍යතාවය ගැන සිතීමට, දැනීමට තරම් පරිචයක්, ඉවසීමක්, දැනුමක් හා අවබෝධයක් ඇති පරිණත බවක් මේ දෙවන නිර්මාපකයා සතු වීම රසිකයන් ලෙස අපට වඩාත් හිතකර වනු ඇත. එසේ නොමැතිව තමන් යන්නේ කොහේද ඉන්නේ කොතැනද කියා නොදන්නා විද්‍යුත් නාලිකාවන් හි පැවැත්ම වෙනුවෙන් දංගෙඩිය වෙත තම උදුම්මාගත් හිස තබා ගත් අහිංසකයින්ට මෙවන් දෑ කල හැකිද යන්න ගැටළුවකි.


Wednesday, November 14, 2012

බයිසිකලය ජීවිතය හා වාර්තා වැඩසටහනක්

ජීවිතයේ විවිධ ගැටළු ගැන අපි හැමදාම හිතන්නක්. හැබැයි මේ බොහොමයක් ගැටළු ගැන හිතුවොත් ඒ ගැටළු ගැන හිතන්නෙත් තවත් ගැටළු නැති නිසාද කියා හිතෙනවා.

මනුස්ස ජීවිතයේ අවශ්‍යතා වල ඇති වෙන වෙනස ගැන මට දැනෙන්න පටන් ගත්තේ මම හතර වසරෙදි විතර. මට තිබුණු පරණ කාලේ බයිසිකලයත් මගේ අසල්වැසි යාළුවන්ට තිබුණු  බී එම් එක්ස් බයිසිකලුත් අතර තිබුණ වෙනස මට මහමෙරක් වගේ දැණුනේ. මොකද පාන් අරන් යන උන්දෑටත් තණකොල කපන්න යන ගුණපාලගේ බයිසිකලයටත් වඩා මගේ බයිසිකලය වෙනස් වුණේ ප්‍රමාණයෙන් විතරක් හිංදා.

අප්පච්චි කවරදාවත් ඒ ගැන ඒ තරම් උන්නදුවක් දැක්වුවේ නෑ. අන්තිමට රෝද දෙක කැරකෙනවට අමතරව බයිසිකලය ලස්සන කරන්න ස්ටිකර් අලවා දැම්මා. හැබැයි මේ වෙනුවට මට දැනෙන්න වුනේ මගේ බයිසිකලයේ තියෙන විශේෂය ගැනයි. හැබෑවටම මම ලොකු බයිසිකලයක් පදිනවා වගේ කියලා මම හිතන්න ගත්තා. එදා ඉඳන් මම මගේ බයිසිකලය ගැන අවතක්සේරු කළේ නෑ.

මේ බයිසිකල් කතාව ලියැවුනේ පහුගිය දවසක මම බලපු වාර්තා වැඩසටහනක් නිසා. ඇත්තටම සමහරක් දේවල් ගැන නිසි වටිනාකම අපට දැනෙන හැටි ගැන මටම තක්සේරුවක් කරගන්න හිතුන මේ වැඩ සටහන බැලුවට පස්සේ.  සාමාන්‍ය පසුබිම් කථනය නැතුව සත්‍ය සිදුවීමට මුහුණ දුන්නු පිරිස විසින්ම කතා කරන මේ වාර්තා වැඩසටහන ටිකක් දිගු වුණත් අපූරු එකක් කියායි මගේ හැඟීම. ඉතින් ජීවිෙතන් පැයකට වඩා මේ වෙනුවෙන් වැය කරාට පාඩුවක් වුණේ නෑ කියලයි මම හිතන්නේ.

මනුෂ්‍ය ජීවිතය කොයි තරම් වටින්නේද! මොනයම් තත්වයකදී වුවත් හිතේ දිරිය ඇති අයෙක් සමග සිටී නම් ඔහු හො ඇය අවට සිටින්නන් කොයි තරම් වාසනාවන්තද!

වසර 1972 දී සිදු වූ මේ සත්‍ය සිදුවීම් පෙළ ඒ ගැන අපට පසක් කරනවා. අතිශය දුෂ්කර හිමෙන් වැසුණු ඇන්ඩීස් කඳු පෙළ අතර මාස දෙකක් ජීවත් වූ ඔවුන් ගැන කතාව එක් වරක් බලන්න

 ජීවිතය ගැන සතුටු වන්න !!!

http://www.youtube.com/watch?v=sILm8VM-fec

මහත්වරුණි අපි පාරේ තාම බලන් ඉන්නවා රතු එළිය වැටෙනකම්

යන්තම් ගිය සතියේ පාරේ රස්තියාදු නොවී ඉක්මනට ෙගදර යන්න හැකි වුණා. හිතුවටත් වඩා කලින් එන්න හැකි වුණා. අපොයි මේ සතියේ ඉඳන් නැවතත් කට්ටිය පාරට බැහැලා කලර් ලයිට් අපි දිහා අසරණව බලා ඉන්නවා!

අපි?

ඊට වඩා අසරණව පෝලිම් ගැහිලා ඉන්නවා. බසයක වුණත් තමන්ගේ වාහනයක වුණත් අසරණ කමේ වෙනසක් නෑ.

පෝලිම හදන ඈයෝ අපටත් වඩා අසරණද කියලා හිතෙන්නේ තමුන් කරන්නේ මොකක්ද කියලා තමන්වත් නොදන්නා නිසා. එක තැනක කොළ පාට තියෙත්දී නවත්තනවා. තව තැනක පාට නොබලා ම යවනවා. ඉතින් මග දිගට රන්ඩු වෙවී රියදුරෝ ගමනේ යනවා. හොඳම උදාහරණය බේස් ලයින් පාරේ බොරැල්ලේ ඉඳන් නුවර පාළම ළඟට. මට ගිය සතියේ ගිය වැඩිම කාලය විනාඩි 25යි (ඒකත් හොඳම නෑ කි මි 7 ක් 8 ක් යන්න). නමුත් මේ සතියේ දින කීපයට විනාඩි 50යි.

හරිම අගෙයි මහත්වරුණි. මේ ගැන බලන්න තේරෙන්න පාරේ යන වාහනයක නග්ගලාම යවන්න ඕන. අපට ඔය මහත්වරු ඕන කලර් ලයිට්වල වැරදියට යන අයට නිසි දඬවම් දෙන්න. දැන් නටන නාඩගම් වල හැටියට එහෙම දඬුවම් දෙන එකත් වැරදියි. ඇයි අද කොළ පාටට යන කොට හෙට රතු පාටට යනවා :)

කියන්න තියෙන්නේ ශුද්ධ සිංහලෙන් මනුස්සයිනේ අනිත් මිනිස්සුන්ගේ කාලය නාස්ති කරවන්න එපා. මේ වැඩ කරන කාලය මිනිස් මිනිත්තු, පැය, දවස්, මාස නෙමෙයි අවුරුදු ගණනක් මේ වාහන තදබදයෙන් නාස්ති කරනවා. ඒ හැමෝටම වඩා හැම දෙනාගෙම මනස නොසන්සුන් කරනවා.

අමාරු වැඩක් තමයි බලන් ඉන්න එක. හැබැයි හරියට නිරීක්‍ෂණය කරලා දඬුවම් කරනවා නම් මීට වඩා විනීතව සතුටින් ඉක්මනට ගෙදර යන්න හැකියි. මම මේ කියන්නේ එකම වෙලාවල් වලට පහුගිය වසර 5ක් තුල මේ එකම මගේ දිනපතාම ගිය යන අයෙක් විදිහට මම අත් දැකපු දෙයක් තමයි අනතුරක් වුණු විටක හැරුණු විට අපේ රථවාහන මාර්ගඑළි වලට විතරක් යන කොට තදබදය අඩුයි කියන දේ.  එකම ප්‍රශ්නය සමහරක් (බස්රථ, ත්‍රී වීල් විශේෂයෙන්) රියදුරන්ගේ ඇති අවිනීත සහ මෝඩ කම කියන දෙය. ඉතින් මේ ගැනත් නීතිය ක්‍රියාත්මක කරනවා නම් බොහොමයක් දේ හදා ගන්න හැකියි.

ඇත්තටම ලිපියක් ලියන්න නෙමෙයි මුලින් මුහුණු පොතේ වාක්‍යයක් ලියන්නයි පටන් ගත්තේ. කොයි තරම් හිතට දැනුන දෙයක් නිසාද කොහෙද වැකි ගොඩක් ලියවිලා !!!

Saturday, November 3, 2012

වන සංචාරකයින් සහ වන සතුන්

ලියන්න කියලා බොහොමයක් දේ තිබුණත් කාලය හරස් වෙනවා. නමුත් මේ ලියුම් ගැන මතක් කල මිතුරන්ට ගොඩාක් තුති. දැන් වැස්ස පටන් ගත්තත් ආයේ නියං කාලයක් ආවොතින් මෙය වැදගත් වේවියයි හිතනවා. කොහොම වුණත් ඔබ නැවත රක්‍ෂිතවනයකට යනවානම් හිතන්න පුංචි කරුණු ටිකක් ලියා තබන්නයි අදහස.

වසර ගනනකට පස්ෙස් පරණම මිතුරන් වගයක් එක්ක සංචාරය කරන්න ලැබුණු එක ලොකුම සතුටක් වුණා. රිවර්ස්ටන්හි අපූරු තැනක කඳවුරු බැන්ඳ ගමන අවසන් වුණේ මින්නේරිය වනෝද්‍යානයෙන්.

රිවර්ස්ටන් ගැන බොහොමයක් දෙනා දන්නා නිසා ඒ ගැන කියනවාට වඩා මින්නේරියදී දුටු ඇත් දැකුමක් කියන්න යුතුමයි කියා හිතුනා.

අපි මේ ගමන ගියේ සැප්තැම්බරයේ, පායන පෑවිල්ල කොතෙක්ද කියන්න පොළොන්නරුව නගරයට ළංවන කොටම තේරෙන්නේ අවුකාස්ටකයත්, දුහුවිල්ලත් දැකුමෙන්. වැව් සියල්ලම පාහේ මා දැක තිබෙන කාලයකට මේ තරම් ම හිඳී ගොස් තිබුණා. පරිසරයට ගැන හැබෑ අමාරුවක් තිබෙන අපේ මිතුරෙක් කියුවේ "එහෙනම් මින්නේරිය වහල ඇති" කියලා.  හැබෑවටම මින්ෙන්රිය වහන්නේ මොන එකකටද කියලා අයෙකුට හිතෙන්න හැකියි. ඒ ගැන කියන්නයි මම අද හිතුවේ.

මින්නේරිය රක්‍ෂිතයට පිවිසුම් දොරටුව පිරී තිබුණේ නෙක වර්ගවලින් යුතු ජීප් රථ සහ වෑන් රථ වලින්. ඒ වුණත් එක් එක් රථයේ ඉන්නා පිරිස් අතර හැබෑම වෙනසක් තිබූ බැව් නොකිවමනායි. සමහර පිරිස් බීමතිනුත් තවත් පිරිස් කෑගසමින් ගමන් ගන්නා අයුරුත් අපට දැකගත හැකි වුණා.  අතරින් පතර විදේශිකයිනුත් විශාල පිරිසක් ගමන් ගන්නට සූදානමින් සිටියා.  ඒ මොහොතේ පමණක්  වනයට ඇතුළුවන්නට පෙළගැසී තිබූ ජීප්රථ ප්‍රමාණය 50කට අධික වෙන්නට ඇති. මොහොතකින් අපේ ජීප් රියදුරු තැන බලපත්‍රයත් රැගෙන ආවා. සාමාන්‍යයෙන් මෙවැනි ගමනකදී වනජීවී නිලධාරියකු ලබා දෙනු ලැබුවත් මේ වෙන විටත් වාහන අති විශාල ගණනක් පිටත්ව ඇති නිසා අයෙක් නොමැති බව කියා තිබුණා.

ප්‍රමාණයෙන් අති විශාල නොවුනත් අලින් විශාල ප්‍රමාණයක් කුඩා කාලයක් තුල දැක ගැනීමට හැකි මූලික ස්ථානයක් වන්නේ මින්නේරිය රක්‍ෂිතය බැව් කිව යුතු නොහේ. නමුත් මෙහි දී අලි ප්‍රමාණටත් වඩා ජීප්රථ වනයතුල සංචාරය කිරීම වනයටවත් වන සතුන්ටවත් යහපතක් ඇති කරන්නේ ද කියන දේ නැවත සිතිය යුත්තක්. තමන්ට කන්න කොළවත් බොන්න වතුරවත් නැති කාලයක මිනිසුන් අලි බලන්නට යවා මුදල් හම්බ කර ගැනීමට වඩා මේ සතුන්ට  තමන්ගෙ පාඩුවේ කන්න බොන්න ඉඩ සැලසුවානම් කොයි තරම් වටීද කියා හිතුනේ වනයට පිවිසෙන විට දුටු මේ දසුන් නිසාවෙන්.


මුළු වනයම වේලි ගොසින්.අහිංසක වන සතුන් මේ කුඩා භූමියතුල ආහාර වතුර හොයාගෙන දුවන්නේ උන්ට ජීවත් වෙන්න අවශ්‍ය හින්දයි. ඉතින් මෙවන් කාලයක මෙතරම් වාහන තොගයක් ඇතුළු නොකර රක්‍ෂිතය තාවකාලිකව වසා තැබුවත් කමක් නෑ කියලයි මට හිතෙන්නේ.

කොහොමින් කොහොම හරි අපිත් මින්නේරිය රක්‍ෂිතය තුල අලි බලන්න ප්‍රසිද්ධම තැන වන වැව් පිටියටත් ආවා. හැබැයි ඒකත් හරියට කොළඹ පාරක ට්‍රැෆික් එකේ වගේ ජීප් රථ පෝලිමයි, සමහර රියදුරන් හරියට පුද්ගලික බස්රථ රියදුරන් වගේ පාරෙන් පිට හෝ කොහෙන් හෝ ගිහින් අලි රංචුවට ළං වෙන්නයි එකම උත්සහය. එක් මොහොතක අලින් දහයක විතර රංචුවක් ඈත කැලයෙන් වැවේ වතුර ඉතුරු වෙලා තිබුණු පොඩි කොටසට එන්න පටන් ගත්තා.  අවාසනාවක මහත අපේ ජීප් රියදුරන් බොහෝ දෙනෙක් ඒදෙසට වේගයෙන් ගමන් කළේ අලින්ට මිනිස්සු පෙන්නන්ද කියා හිතෙනවා. පිපාසයෙන් පීඩිතව ආහාර නැති කමින් හෙම්බත්ව සිටිඒ අලි රැළ නැවත කැලය තුලට පිවිසුනේ ඔව්න් ගමන්ගන්නා මග අවුරමින් තිබූ ජීප් රථ පෙල නිසාවෙන්.  රියදුරන් සමහරවිට තමන්ට ලැබෙන ටිප් එක ගැන හිතනව ඇති.  හැබැයි මෙතන රියදුරන් පමණක්ම නොවෙයි, සමහර විටක වනයක සංචාරය කරන අපේ මිනසුන්ගේ දැනුවත් කම මඳකම කියායි මගේ අදහස.

කෑකෝ ගසමින් වාහන තරඟයට මෙන් දුවවමින් අපි ගමන් කරන්නේ මේ සතුන්ගේ භූමියේ නොවේද යන්න ඔව්නට කියා දීමට ක්‍රමවේදයක් වනයට පිවිසීමට පෙර තිබුණා නම් වඩාත් යහපත් වේවි.
විසල් අලිරංචුව ඇතුළු බොහොමයක් අපූර් ව දෑ දැක ගන්නත් කැමරාවට හසු කරගන්නත් ලැබුණු මුත් වෙනදා වන සංචාරයකින් පසුව සිතේ තියන සතුට හා සැහැල්ලුව අපේ කණ්ඩායමේ නොතිබුණේ මේ ගමනේදී දුටු මේ කණගාටුදායක දේ නිසාවෙන්. සැබැවින්ම එය වන සතුනට වගේම මේ රක්‍ෂිතයටත් රටටත් කරන හානියක බවයි අපේ හැඟුම. තමන්ගේ ජීවිකාව කරගෙන යන්නට උදව් කරන මේ වනසතුන් ගැන ජීප් රථ රියදුරනුත් මීට වඩා සිතිය යුතුබව් නොකිවමනායි.

නාට්‍යමය හෝ වාර්තාමය නොවුනත් කථාව ලියවුණේ මේ ලෙසින්