Tuesday, November 27, 2012

ගිමන් හරින දියඹ දිගේ!


විවිධ කටයුතු වලින් විඩාපත් වූ මම මුහුණු පොතේ මිතුරකු එවා තිබූ දිගුවක් විවෘත කළේ එතරම් අදහසකින් නොවෙයි. ඒ උනත් මේ දිගුවේ ඇත්තේ ගීතයක් බවත් ඒ ගීය අමරදේව ශූරීන්ගේ බවත් දැක්කහම මට එය විවර කරන්නම හිතුණා.  කර්කශ සංගීත යවුල් වලින් ඇණ තුවාල කර තිබෙන කණට යම් අස්වැසිල්ලක් ඉන් ලැබේයැයි කියලත් නොහිතුනාම නොවෙයි. නමුත් මේ ගීතය මා කිසිසේත් බලාපොරොත්තු නොවූ තරම් අපූර්ව ගීතයක් බව ගීතයේ මුල් සංගීතය අහන කොටම හිතුණා.

ජීවිතයේ සැඳෑ සමය ගත කරන ඔබගේ ස්වරය කොයි තරම් හිත සුවපත් කරන්නේද යන්න කොහොම පැහැදිලි කරන්නදැයි මට තවමත් නොතේරෙන දෙයක්. මේ පද පෙළත් එයටම සරිලන සියුම් සුගම සංගීතයත් ගීතය තුල අපට ජීවත් වෙන්නට ලෝකයක් මවනවා. 


ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා


හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු
ආදරයද මේ................
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ....................

නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රජයන
තොල් පෙති කල් පලදාලන
ආදරයද මේ......................
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ..................



ආදරය ! කොයිතරම් අපූරුම සොඳුරු වචනයක්ද කියලා කියන්න අවැසි නෑ. ලෝකයට බිහිවුණ දා ඉඳන් තමන්ගේ අම්මාට තුරුළුව විඳි ආදරයේ ඉඳන් ඇරුණු ලෝකයේ විවිධ චරිත අතර ගෙවුණු ආදරය ගැන කොයි තරම් පද ලියැවී ඇතිද? මිනිසාට කොයි තරම් ආදරය යන වදනත් ඉන් ඇති කරන හැඟුමත් වැදගත් ද යන්න කියන්නට අවැසිද? ඔබ මා අසා ඇති ගී අතුරින් කොතෙක් ගීත ආදරය ගැන ලියැවී ඇති දැයි හිතීමම එයට සාක්‍ෂි ගෙනනවා. 

මව්පිය සෙනෙහස ජීවිතය පුරා නොවෙනස්ව ලැබෙන්නක් නිසා දෝ එහි ඇති විවිධ අවස්ථා ගැන ගීත ලියැවුණා අඩුයි. ආදර ගීත බහුතරයක්ම ලියැවී තිබෙන්නේ ආදරවන්තයින් වෙනුවෙන්. නමුත් මෑතකදී මා අැසූ ගීත අතර ආදරය ගැන සියුම් නමුත් සරල පද පෙළකින් ලියැවුණු මේ ගීතය හිත තුල සියුම් හැඟුමන් එක් කරන්නට සමත් වූ අපූරුතම ගීතයක් බැව් කියන්නම අවැසියි. 

ආදරය යනු කොයි තරම් මිහිරි අත් දැකුමක්ද
විටෙක සිත  දැහැනින් වෙළන 
තවත් විටෙක සිතට විඩා ගෙනෙන 
අප හා සරන
මේ ලෝකය අප අවට වටපිටාව අපට කියා දෙන 
ඒ සොඳුරු  ආදරය මේ යැයි කියා මේ සොඳුරු ගීතය අපට කියනවා.
ආදරයේ ගැඹුර එහි ඇති මිහිර කොයිතරම්ද යන්න අසන්නා සහ බලන්නාගේ සිත් නොතැලෙන සියුම් වූත් සරල වූත් සුන්දර වූත් රූප පෙළකින් ගීතය සරසනවා 


එකම පද විවිධ ගායකයින් කියන කොට අපි විවිධ කන්ණාඩිවලින් දකින බව නටන කකුල්වලට ගයන නවක ගායක ගායිකාවන් කියනු මම දැක තිබෙනවා. හිතවත් සොයුර සොයුරිය බලනු කොයි තරම හැඟුමක් ගැයුමකින් හඬකින් අසන්නා වෙත පිදිය හැකි ද යන්න. ඒ නිසයි ඔව්න් ශ්‍රේෂ්ඨයින් ලෙස හැමදාමත් හිතේ රැඳෙන්නේ 

ගීතයන් තුලින් හිතවත් වූ අමරදේව හිතවතාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!

බලන්න 

http://www.youtube.com/watch?feature=player_embedded&v=J467jzLlDcc

Sunday, November 18, 2012

පාසැලේ ඉඳන් ගෙදරට



පාසැල ඇරී තරමක කාලයක් ගත වුණත් මහපාරේ ඇති පාසැලේ සිට අතුරු පාරේ තමන්ගේ ගෙදරට ඇති දුර කිලෝමීටර තුන හතරක් වූ නිසාත් ගල් ගොඩැලි ඇති වැලිපාරේ වාහන නොයන නිසාත් පුංචි වුන් පස් හය දෙනා ගුරුපාර දිගේ ගමන් කරමින් හිටියා. අහසේ වලාකුලක් පෙනෙන තෙක් මානයේ නොතිබුණු නිසාත් මද්දහන් වේලාවත් නිසා ඉර එළිෙයන් ලැබුණු උණුසුම වැඩියි. ඒ වුණත් මග දෙපස තිබුණ ගහ කොළ හිංදා පාෙර් තැනින් තැන කළු සෙවනැලි දකින්නට ලැබුණා.

තරඟයට මෙන් පුංචිඋන් ඒ සෙවනැලි වලට දුවමින් වෙහෙස නිවා ගත්තා. සපත්තු දෙකක් තිබුණේ එක් පොඩි එකෙකට විතරක් හිංදා පුංචි පිටිපතුල් දූවිල්ලෙන් පිරී ගොසින්.  වතුර බෝතලයක් කා ගාවවත් නොතිබුණේ වතුර බෝතල් තවමත් මේ පළාතට නුහුරු නිසාවට වඩා වතුර කියන දේ කොතැනින් කොහොම බීවත් එකයි කියා පවුලේ ඇත්තන් සිතූ නිසා විය යුතුයි. කොෙහාමටත් ගමේ වැවෙන් ඇලෙන්  වතුරින් පිපාසය නිවන මේ පුංචි උන්ට තමන්ගේ පිරිසිදු වතුර බෝතලයක් කියන දේ ඒ තරමට ඕනෑ දෙයක් නොවෙයි.

පාර පුරාවට දුව පනිමින් හිටි පුංචි උන්ගෙන් පිරිමි දරුවන් දෙදෙනෙක් කෝටු කෑලි දෙකකින් පාරේ ඉරි අඳිමින් ගමන් කලා. තවත් දරුවන් දෙදෙනෙක් වට පිටාවේ ගස් වල කොළ අතු වලින් සෙල්ලම් කරමින් ගමන් කලා. පුංචි දැරිවියන් දෙදෙනා පරිස්සමින් අඩි තියමින් කොලු පැටවුන්ට අවවාද දෙමින් තරවටු කරමින් ගමන් කලා.  මේ හය දෙනාම තමන්ගේ ඇඳුම් පරිස්සමින් කිලුටු නොවන ලෙස ගිය බව අයෙකුට දැනෙන්නට තරමක කාලයක් ගත වන්නක්. කොතරම් සෙල්ලමින් ගියත් තමන්ගේ ඇඳුම් කිලුටු වීම ගැන මේ තරම් සැලකිල්ලක් මේ පුංචි උන්ගෙන් දකින්නට ලැබෙන්නේ උනුත් තමන්ගේ මව්පියන්ගේ ජීවන අරගලය ගැන දන්නා නිසාදැයි සිතෙන්නක්.  පාර පුරා පැතිර යන පුංචි උන්ගේ කට හඬවල් අවට ගස් පවා අසා සිටියේ සංයමයෙන් සතුටින්. කුරුල්ලන් පවා ඔව්න් දෙස බලා සිටියා. කාලය ගැන  කිසිදු හැඟුමකින් තොරව ඔව්න් හිතුන තැන නතරවී කුරුල්ලන් බැලුවා.සෙල්ලම් කලා. පාර දෙපස තිබූ අඹ ගස් වල අමු අඹ ගෙඩි ගෙදරට යන තුරුම පුංචිකුසගිනි නිවන්නට ඇති.  මොවුන් මෙන්ම උන් දකින තුරු නිවසේ වැඩ කරන මව්පියන්ෙග් කාලයත් නිදහසේ ගලා යන බැව් මේ හැසිරීමෙන් පෙනුනා.

ඔව්න් දකින මට නගරයේ දරුවන් පාසැල ඇරී ගෙදරයාම සිහිවුණා.

මගේ සමීප මිතුරකුගේ දියණියක් පාසැලින් නිවසට එක්ක යන්න විඳින දුක මට සිහිපත් වුණේ නිතැතින්. තමන්ගේ රාජකාරි ජීවිතයේ ඇති බරපතල කටයුතුත් තම බිරිඳගේ රාජකාරි ස්ථානයෙන් ඇයට පැමිණීමට ඇති ගැටළුත් අතර පාසැල ඇරී මොහොතක් හෝ දරුවා තනිව තැබීමට නොහැකි තරමට ඇති අනාරක්‍ෂිත බවත් නිසා ඒ පවුලම දිනපතාම මුහුණ දුන්නේ කාලය සමග සටනකටයි. අම්මා හෝ තාත්තා පැමිණෙන තෙක් වෑන්රථ හා අනිකුත් වාහන අතර තම පුංචි මිතුරියන් නොපෙනී යන විට ඒ දරුවාගේ පුංචි හිත තුල ඇති වන තනිකම, බය සහ අසරණ බව ගැන මිතුරාත් මා සමඟ කියුවේ එක් දිනක පමණක් නොවෙයි. ඇත්තටම නගරයේ රැකියා කරමින් දරුවනට උගන්වන්නට වෙර වෑයම් කරන බොහොමයකගේ කතාව මීට වඩා වෙනස්වන්නක් නොවෙයි.

තමන්ගේ දරුවන්ට තමන්ටත් වඩා පහසුකම් දී නගරයේ පිලිගත් පාසැලක උගන්වා උස් මහත් කිරීමට දරණ විරිය අතර තුර දී ජීවිතය තුල තමන්ටත් තම දරුවනටත් විඳින්නට හැකි යම් දේ සැඟව යන බැව් මට සිතෙන්නක්.  සියළු දේ කෘතිමව මවා ඇති වටපිටාවක වැඩෙන දරුවා නිවසේ සිට පාසැලටත් පාසැලේ සිට නිවසටත් යන සීමාව තුල හිරවීම ඒ දරුවාට කොයි තරම් බලපෑමක් කරන්නේද යන්න දැනෙන්නට දරුවා සමාජගත වන තුරු දෙමව්පියන්ට අවබෝධ කිරීම පහසු නොවන බව දැකිය හැකියි. මීට හේතුව පිටින් නැතත් හිත තුල ඇති තරඟය සහ අවට ඇති තරඟකාරී බව යැයි අයෙකුට සිතිය හැකියි.

අවාසනාවකට මෙන් තමන්ට අද සැකසූ උද්‍යාන තුල පරිසරය දකින දරුවා සැබෑ පරිසරය තුල ජීවත් නොවන නිසාෙවන් අනාගතයේද පරිසරය යනු උද්‍යානයමයැයි සිතනු වැලැක්වීම පහසු නොවේ.  ඉතින් මේ රාමුව තුල හිරවී ලෝකය දකින පිරිසට තම දරුවාත් එකතු කරන්නට වෙහෙස වන දෙමාපියන්හට තරඟයෙන් පිට අවබෝධ කරන්නටද වේලාවක් නොමැත්තේ ජීවිතය ගෙනයාමට රැකියාව හා කාලය අතර නිමා නොවන තරඟයක ෙයදී සිටින හෙයිනි.

ඉතින් නැවත මුල් කතාවට යමු.

නගරයේ පොඩි උන් පිහිනුම්,භාෂා ආදී නොයෙක් පංති වල හිරවී ෙදමව්පියන් එනතුරු බලාසිට වාහනයක අසුනක නිදිකිරා වැටෙන විට මාදුටු මේ පුංචි උන් දවසම පරිසරයේ ජීවත් වී උන් එනකම් ගෙදර බලා සිටින තම මව්පියන් වෙත දුවනවා ඇති.

අපට නගරයේ ක්‍රියාකාරකම් මේ තරඟ දිවුම නැවැත්වීමට කිසිදා හැකි වේදැයි සැක සහිත මුත් සොබා පරිසරයේ ජීවත් වන මේ සොඳුරු කුඩා උන්ටත් තරඟ දිවීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බැව් දැනීම ඇති කරන්නේ සියුම් වේදනාවකි.





Saturday, November 17, 2012

වැනසීමෙන් සැනසීම - අපේ ගීතය


සටහන : මුහුණු පොතේ රනිල් මුදුන්කොටුව සොයුරාගේ නන්දා මාලිනී ගීත එකතුවේ සටහන් වූ කරුණක් නිසාවෙන් ලැයැවුණු සටහනක්.  පහත දැක්වෙන දිගුව තුල අප දන්නා අපූර්ව ගීයක් සම්පූර්ණ වෙනස්කර අන් අයකු විසින් කල ගැයුමක් එයට හේතු පාඨ වුණා. එය වඩාත් තීව්ර වුණේ  මේ ගායනා කරන්නේ කසුන් කල්හාර බැව් කතාවීමයි.

https://www.youtube.com/watch?v=iuTmk_8-m2k


මේ ගැන සෙවීමේදී මා කල සටහන මගේ පිටුව තුල ලිවිය යුතුයැයි සිතුවේ තවත් මිතුරන් රැසක් සමගින් මේ ගැන කතා කරන්නයි. මේ ඒ සටහනයි!


"පලමුවෙන්ම මෙවැනි දෙයක් ගැන සංවේදීවන පිරිසක් අපේ පරපුරේ සිටීම ගැන හිට ඇත්තේ සැබෑම සතුටක්.


ගීතයක අයිතිය හිමි කාටද කියන ගැටළුව අප කතා කරන්නේ කාලයක පටන්. ගීතයට වානිජ වටිනාකමක් ලැබීම ඉහල යාමත් සමග තමයි ශ්‍රී ලංකාව තුලමේ ගැටළුව එළිබසින්නේ. ගීතය විවිධ විදිහට භාවිතා කරමින් මුදල් හොයන එක අද අරුමයක් නොවෙයි. ස්ටාර් කියාගන්නා ආධුනික ගායක ගායිකාවන් තවමත් ජීවත් වෙන්නේ මේ අන් නිර්මාණකරුවන්ගේ ගීත විකුණාගෙනයි. ඒ ගීතයන් හි මුල් කෘතීන් හා නිසි අයිතිකරුවන් ගැන ඔව්න් කොහොමත් තැකීමක් නෑ. ඔව්න් තමන්ගේ තරඟය අවසන මෙරටේ වේදිකාවල පමණක් නොෙවයි පිටරට වේදිකාවලත් තවමත් ජීවත්ව සිටින ගායක ගායිකාවන්ගේ ගීත කියා ජීවත් වන බව අප්‍රසිද්ධ දෙයක් නොවෙයි. පහුගිය දවසක මම ඇසුවා ජෝතිපාල මහත්මයාගේ ගීයක් සම්පූර්ණයෙන් විකෘති කර ගායනා කර මුදල් හම්බකරන ආධුනිකයෙකුෙග් හඬක්. ඉතින් තමන්ට සල්ලි හම්බකරන්නත් තාවකාලික ප්‍රසිද්ධියටත් තම පෞරුෂයේ නිරුවත ප්‍රදර්ශනය කරන නවක ගායක ගායිකා පිරිස ගැන කතා කිරීමමත් කණගාටුදායකයි. සමහරවිටක සැබෑ නිර්මාණකරුවා මෙන් කිහිප ගුණයක් මුදල් ලබා ගන්නට මේ නිවට පිරිස් පෙළඹීමත් ඒ මුදල් ගෙවන්නට සූදානම් පිරිස් සිටීමත් මෙහි ඇති අවාසනාවන්ත තත්වයයි. එසේ වුද එළිමහන් ප්‍රසංගයකට යන අයෙකුගෙන් හෝ ඇසුවහොත් ඔව්න් මුල් නිර්මාණකරුවා ගේ ගීතය ඇසීමට වඩාත් ප්‍රියකරන් බැව් නොකිවමනායි. ඉතින් මේ ලැබෙන්නේ රසිකයනට අවශ්‍ය දේ ද නැති නම් මවාගත් දෙයක් ද කියන දේ ගැන කතා කිරීමම නිෂ්ඵල දෙයක්.

මාතෘකාවෙන් පිට කියල අයෙකුට හිතුණත් මේ තමයි පසුබිමින් ඇති ගැටළුව.

නමුත් මේ කතාවෙදි අපි මේ තරමි සංවේදී වෙන්නේ මේ ගීතය අපට ඇති සමීපතම සබැඳියාවත් මේ ගායිකාව, පදරචනය හා සංගීතය ගැන අපේ හිත ඇති ගෞරවයත් ඒ හා සමානවම කසුන් කල්හාර නම් නිර්මාණ ශිල්පියා ගැන අපි හැම දෙනාගේ ඇති බලාපොරොත්තුවත් නිසාවෙන් කියලයා මගේ අදහස.  මගේ පුද්ගලික අදහස මේ ගීතය ගායනා කරලා තියෙන්නේ කසුන් කල්හාර නොවේ කියායි. ඔහුගේ භාවයන් මේ කට හඬ තුල මට දකින්න නැති නිසයි එහෙම කියන්නේ. කසුන් අනුකරණය කරන පරම්පරාවක්ම සිටින නිසා මේ ඒ එක් අයෙක් විය හැකියි කියායි මගේ අදහස. ඒ වාගේම අප දකින සමහර හානි කිරීම් වලට වඩා මෙය අඩු හානියක් බවත් මට හිතෙන්නේ මීට වඩා හානි කිරීම් දිනපතා රූපවාහිනියෙන් ප්‍රසංග වේදිකාවල සිදුවන නිසා.

ඉතින් මේ වැනි සිදුවීමක් වූ පලමු හා එකම අවස්ථාව මෙය නොවුනත් නන්දාමාලිනියගේ ගීයකට මෙවන් දැයක් සිදු කිරීම මා  දුටු පලමු අවස්ථාව මෙයයි. ඉතින් අයෙකුට තර්ක කල හැකියි මේ එම ගීතයේම තවත් මානයක් කියා. ඇත්තෙන්ම ලෝක සංගීතය තුල මෙවැනි දේ ඕනෑ තරම් දැකිය හැකියි. නමුත් මේ ලෙසින් අනුන්ගේ දැයින් හම්බ කරගෙන ජීවත් වන හිඟන නවක ගායක ගායිකාවන් (වෙසෙසින්ම ස්ටාර්) සිටින රටක තමන්ගේ ප්‍රසිද්ධිය වාසිය තකා ඕනෑම දෙයක් කිරීමට සූදානම් පිරිස් ඇති රටක මෙවැනි දෙයක් සිදුවන විට රසිකයන් ලෙස අප සංවේදී වීම වැදගත් වෙන්නේ ඒ ගීතයටත් එහි නිසි හිමිකරුවනටත් මේ නිවටයින් පසුපස යා නොහැකි නිසාවෙන්. 

මුල් කෘතියේ අයිතිකරුවන්ගෙන් කිසිදු අවසරයක් නොගෙන තමන්ගේ වාසිය වෙනුවෙන් කරන මෙවැනි දෑ ගැන නීතිමය කටයුතු කරන්නට ආයතනයක්/සංවිධානයක හෝ අවශ්‍යතාවයක් මා දකිනවා. ඉන් අවම ලෙස අපට මේ දේ වඩාත් ක්‍රමවත්ව නිර්මාණශීලීව වනු දැකිය හැකි වේවි. "


ඉහත කතා බහට අදාල මුහුණු පොතේ දිගුව
https://www.facebook.com/pages/Nanda-Malini-%E0%B6%9C%E0%B7%93%E0%B6%AD-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80/240406086103

ප. ලි.

රසවින්දනය යනු සීමා මායිම් වලින් කොටුකල නොහෙන අපරිමිත ආශ්වාදයකි. එලෙස සිතන විට මූල්‍ය අපේක්‍ෂාවලින් තොරව මුල් නිර්මාපකයින්ගේ ආශිර්වාදයෙන් සිදුකරන වෙනස්කම් සිදු නොවිය/නොකල යුතු බව මම කිසිසේත් නොසිතමි.

ගීතයක විවිධ මාන පුළුල් වන ලෙසත් එහි මුල් රාමුව වෙනස් කරමින් යම් විටක මුල් ගායක/ගායිකාවන්ගෙන් ඔබ්බට ගොස් නැවත ගායනය,සංෙයා්ජනය සිදුවීම විය යුත්තක් වන බවත් වැඩි දුරටත් සිතමි.

එසේ වුද ඉන් ඇති කරන බලපෑම සහ එහි මූලික අවශ්‍යතාවය ගැන සිතීමට, දැනීමට තරම් පරිචයක්, ඉවසීමක්, දැනුමක් හා අවබෝධයක් ඇති පරිණත බවක් මේ දෙවන නිර්මාපකයා සතු වීම රසිකයන් ලෙස අපට වඩාත් හිතකර වනු ඇත. එසේ නොමැතිව තමන් යන්නේ කොහේද ඉන්නේ කොතැනද කියා නොදන්නා විද්‍යුත් නාලිකාවන් හි පැවැත්ම වෙනුවෙන් දංගෙඩිය වෙත තම උදුම්මාගත් හිස තබා ගත් අහිංසකයින්ට මෙවන් දෑ කල හැකිද යන්න ගැටළුවකි.


Wednesday, November 14, 2012

බයිසිකලය ජීවිතය හා වාර්තා වැඩසටහනක්

ජීවිතයේ විවිධ ගැටළු ගැන අපි හැමදාම හිතන්නක්. හැබැයි මේ බොහොමයක් ගැටළු ගැන හිතුවොත් ඒ ගැටළු ගැන හිතන්නෙත් තවත් ගැටළු නැති නිසාද කියා හිතෙනවා.

මනුස්ස ජීවිතයේ අවශ්‍යතා වල ඇති වෙන වෙනස ගැන මට දැනෙන්න පටන් ගත්තේ මම හතර වසරෙදි විතර. මට තිබුණු පරණ කාලේ බයිසිකලයත් මගේ අසල්වැසි යාළුවන්ට තිබුණු  බී එම් එක්ස් බයිසිකලුත් අතර තිබුණ වෙනස මට මහමෙරක් වගේ දැණුනේ. මොකද පාන් අරන් යන උන්දෑටත් තණකොල කපන්න යන ගුණපාලගේ බයිසිකලයටත් වඩා මගේ බයිසිකලය වෙනස් වුණේ ප්‍රමාණයෙන් විතරක් හිංදා.

අප්පච්චි කවරදාවත් ඒ ගැන ඒ තරම් උන්නදුවක් දැක්වුවේ නෑ. අන්තිමට රෝද දෙක කැරකෙනවට අමතරව බයිසිකලය ලස්සන කරන්න ස්ටිකර් අලවා දැම්මා. හැබැයි මේ වෙනුවට මට දැනෙන්න වුනේ මගේ බයිසිකලයේ තියෙන විශේෂය ගැනයි. හැබෑවටම මම ලොකු බයිසිකලයක් පදිනවා වගේ කියලා මම හිතන්න ගත්තා. එදා ඉඳන් මම මගේ බයිසිකලය ගැන අවතක්සේරු කළේ නෑ.

මේ බයිසිකල් කතාව ලියැවුනේ පහුගිය දවසක මම බලපු වාර්තා වැඩසටහනක් නිසා. ඇත්තටම සමහරක් දේවල් ගැන නිසි වටිනාකම අපට දැනෙන හැටි ගැන මටම තක්සේරුවක් කරගන්න හිතුන මේ වැඩ සටහන බැලුවට පස්සේ.  සාමාන්‍ය පසුබිම් කථනය නැතුව සත්‍ය සිදුවීමට මුහුණ දුන්නු පිරිස විසින්ම කතා කරන මේ වාර්තා වැඩසටහන ටිකක් දිගු වුණත් අපූරු එකක් කියායි මගේ හැඟීම. ඉතින් ජීවිෙතන් පැයකට වඩා මේ වෙනුවෙන් වැය කරාට පාඩුවක් වුණේ නෑ කියලයි මම හිතන්නේ.

මනුෂ්‍ය ජීවිතය කොයි තරම් වටින්නේද! මොනයම් තත්වයකදී වුවත් හිතේ දිරිය ඇති අයෙක් සමග සිටී නම් ඔහු හො ඇය අවට සිටින්නන් කොයි තරම් වාසනාවන්තද!

වසර 1972 දී සිදු වූ මේ සත්‍ය සිදුවීම් පෙළ ඒ ගැන අපට පසක් කරනවා. අතිශය දුෂ්කර හිමෙන් වැසුණු ඇන්ඩීස් කඳු පෙළ අතර මාස දෙකක් ජීවත් වූ ඔවුන් ගැන කතාව එක් වරක් බලන්න

 ජීවිතය ගැන සතුටු වන්න !!!

http://www.youtube.com/watch?v=sILm8VM-fec

මහත්වරුණි අපි පාරේ තාම බලන් ඉන්නවා රතු එළිය වැටෙනකම්

යන්තම් ගිය සතියේ පාරේ රස්තියාදු නොවී ඉක්මනට ෙගදර යන්න හැකි වුණා. හිතුවටත් වඩා කලින් එන්න හැකි වුණා. අපොයි මේ සතියේ ඉඳන් නැවතත් කට්ටිය පාරට බැහැලා කලර් ලයිට් අපි දිහා අසරණව බලා ඉන්නවා!

අපි?

ඊට වඩා අසරණව පෝලිම් ගැහිලා ඉන්නවා. බසයක වුණත් තමන්ගේ වාහනයක වුණත් අසරණ කමේ වෙනසක් නෑ.

පෝලිම හදන ඈයෝ අපටත් වඩා අසරණද කියලා හිතෙන්නේ තමුන් කරන්නේ මොකක්ද කියලා තමන්වත් නොදන්නා නිසා. එක තැනක කොළ පාට තියෙත්දී නවත්තනවා. තව තැනක පාට නොබලා ම යවනවා. ඉතින් මග දිගට රන්ඩු වෙවී රියදුරෝ ගමනේ යනවා. හොඳම උදාහරණය බේස් ලයින් පාරේ බොරැල්ලේ ඉඳන් නුවර පාළම ළඟට. මට ගිය සතියේ ගිය වැඩිම කාලය විනාඩි 25යි (ඒකත් හොඳම නෑ කි මි 7 ක් 8 ක් යන්න). නමුත් මේ සතියේ දින කීපයට විනාඩි 50යි.

හරිම අගෙයි මහත්වරුණි. මේ ගැන බලන්න තේරෙන්න පාරේ යන වාහනයක නග්ගලාම යවන්න ඕන. අපට ඔය මහත්වරු ඕන කලර් ලයිට්වල වැරදියට යන අයට නිසි දඬවම් දෙන්න. දැන් නටන නාඩගම් වල හැටියට එහෙම දඬුවම් දෙන එකත් වැරදියි. ඇයි අද කොළ පාටට යන කොට හෙට රතු පාටට යනවා :)

කියන්න තියෙන්නේ ශුද්ධ සිංහලෙන් මනුස්සයිනේ අනිත් මිනිස්සුන්ගේ කාලය නාස්ති කරවන්න එපා. මේ වැඩ කරන කාලය මිනිස් මිනිත්තු, පැය, දවස්, මාස නෙමෙයි අවුරුදු ගණනක් මේ වාහන තදබදයෙන් නාස්ති කරනවා. ඒ හැමෝටම වඩා හැම දෙනාගෙම මනස නොසන්සුන් කරනවා.

අමාරු වැඩක් තමයි බලන් ඉන්න එක. හැබැයි හරියට නිරීක්‍ෂණය කරලා දඬුවම් කරනවා නම් මීට වඩා විනීතව සතුටින් ඉක්මනට ගෙදර යන්න හැකියි. මම මේ කියන්නේ එකම වෙලාවල් වලට පහුගිය වසර 5ක් තුල මේ එකම මගේ දිනපතාම ගිය යන අයෙක් විදිහට මම අත් දැකපු දෙයක් තමයි අනතුරක් වුණු විටක හැරුණු විට අපේ රථවාහන මාර්ගඑළි වලට විතරක් යන කොට තදබදය අඩුයි කියන දේ.  එකම ප්‍රශ්නය සමහරක් (බස්රථ, ත්‍රී වීල් විශේෂයෙන්) රියදුරන්ගේ ඇති අවිනීත සහ මෝඩ කම කියන දෙය. ඉතින් මේ ගැනත් නීතිය ක්‍රියාත්මක කරනවා නම් බොහොමයක් දේ හදා ගන්න හැකියි.

ඇත්තටම ලිපියක් ලියන්න නෙමෙයි මුලින් මුහුණු පොතේ වාක්‍යයක් ලියන්නයි පටන් ගත්තේ. කොයි තරම් හිතට දැනුන දෙයක් නිසාද කොහෙද වැකි ගොඩක් ලියවිලා !!!

Saturday, November 3, 2012

වන සංචාරකයින් සහ වන සතුන්

ලියන්න කියලා බොහොමයක් දේ තිබුණත් කාලය හරස් වෙනවා. නමුත් මේ ලියුම් ගැන මතක් කල මිතුරන්ට ගොඩාක් තුති. දැන් වැස්ස පටන් ගත්තත් ආයේ නියං කාලයක් ආවොතින් මෙය වැදගත් වේවියයි හිතනවා. කොහොම වුණත් ඔබ නැවත රක්‍ෂිතවනයකට යනවානම් හිතන්න පුංචි කරුණු ටිකක් ලියා තබන්නයි අදහස.

වසර ගනනකට පස්ෙස් පරණම මිතුරන් වගයක් එක්ක සංචාරය කරන්න ලැබුණු එක ලොකුම සතුටක් වුණා. රිවර්ස්ටන්හි අපූරු තැනක කඳවුරු බැන්ඳ ගමන අවසන් වුණේ මින්නේරිය වනෝද්‍යානයෙන්.

රිවර්ස්ටන් ගැන බොහොමයක් දෙනා දන්නා නිසා ඒ ගැන කියනවාට වඩා මින්නේරියදී දුටු ඇත් දැකුමක් කියන්න යුතුමයි කියා හිතුනා.

අපි මේ ගමන ගියේ සැප්තැම්බරයේ, පායන පෑවිල්ල කොතෙක්ද කියන්න පොළොන්නරුව නගරයට ළංවන කොටම තේරෙන්නේ අවුකාස්ටකයත්, දුහුවිල්ලත් දැකුමෙන්. වැව් සියල්ලම පාහේ මා දැක තිබෙන කාලයකට මේ තරම් ම හිඳී ගොස් තිබුණා. පරිසරයට ගැන හැබෑ අමාරුවක් තිබෙන අපේ මිතුරෙක් කියුවේ "එහෙනම් මින්නේරිය වහල ඇති" කියලා.  හැබෑවටම මින්ෙන්රිය වහන්නේ මොන එකකටද කියලා අයෙකුට හිතෙන්න හැකියි. ඒ ගැන කියන්නයි මම අද හිතුවේ.

මින්නේරිය රක්‍ෂිතයට පිවිසුම් දොරටුව පිරී තිබුණේ නෙක වර්ගවලින් යුතු ජීප් රථ සහ වෑන් රථ වලින්. ඒ වුණත් එක් එක් රථයේ ඉන්නා පිරිස් අතර හැබෑම වෙනසක් තිබූ බැව් නොකිවමනායි. සමහර පිරිස් බීමතිනුත් තවත් පිරිස් කෑගසමින් ගමන් ගන්නා අයුරුත් අපට දැකගත හැකි වුණා.  අතරින් පතර විදේශිකයිනුත් විශාල පිරිසක් ගමන් ගන්නට සූදානමින් සිටියා.  ඒ මොහොතේ පමණක්  වනයට ඇතුළුවන්නට පෙළගැසී තිබූ ජීප්රථ ප්‍රමාණය 50කට අධික වෙන්නට ඇති. මොහොතකින් අපේ ජීප් රියදුරු තැන බලපත්‍රයත් රැගෙන ආවා. සාමාන්‍යයෙන් මෙවැනි ගමනකදී වනජීවී නිලධාරියකු ලබා දෙනු ලැබුවත් මේ වෙන විටත් වාහන අති විශාල ගණනක් පිටත්ව ඇති නිසා අයෙක් නොමැති බව කියා තිබුණා.

ප්‍රමාණයෙන් අති විශාල නොවුනත් අලින් විශාල ප්‍රමාණයක් කුඩා කාලයක් තුල දැක ගැනීමට හැකි මූලික ස්ථානයක් වන්නේ මින්නේරිය රක්‍ෂිතය බැව් කිව යුතු නොහේ. නමුත් මෙහි දී අලි ප්‍රමාණටත් වඩා ජීප්රථ වනයතුල සංචාරය කිරීම වනයටවත් වන සතුන්ටවත් යහපතක් ඇති කරන්නේ ද කියන දේ නැවත සිතිය යුත්තක්. තමන්ට කන්න කොළවත් බොන්න වතුරවත් නැති කාලයක මිනිසුන් අලි බලන්නට යවා මුදල් හම්බ කර ගැනීමට වඩා මේ සතුන්ට  තමන්ගෙ පාඩුවේ කන්න බොන්න ඉඩ සැලසුවානම් කොයි තරම් වටීද කියා හිතුනේ වනයට පිවිසෙන විට දුටු මේ දසුන් නිසාවෙන්.


මුළු වනයම වේලි ගොසින්.අහිංසක වන සතුන් මේ කුඩා භූමියතුල ආහාර වතුර හොයාගෙන දුවන්නේ උන්ට ජීවත් වෙන්න අවශ්‍ය හින්දයි. ඉතින් මෙවන් කාලයක මෙතරම් වාහන තොගයක් ඇතුළු නොකර රක්‍ෂිතය තාවකාලිකව වසා තැබුවත් කමක් නෑ කියලයි මට හිතෙන්නේ.

කොහොමින් කොහොම හරි අපිත් මින්නේරිය රක්‍ෂිතය තුල අලි බලන්න ප්‍රසිද්ධම තැන වන වැව් පිටියටත් ආවා. හැබැයි ඒකත් හරියට කොළඹ පාරක ට්‍රැෆික් එකේ වගේ ජීප් රථ පෝලිමයි, සමහර රියදුරන් හරියට පුද්ගලික බස්රථ රියදුරන් වගේ පාරෙන් පිට හෝ කොහෙන් හෝ ගිහින් අලි රංචුවට ළං වෙන්නයි එකම උත්සහය. එක් මොහොතක අලින් දහයක විතර රංචුවක් ඈත කැලයෙන් වැවේ වතුර ඉතුරු වෙලා තිබුණු පොඩි කොටසට එන්න පටන් ගත්තා.  අවාසනාවක මහත අපේ ජීප් රියදුරන් බොහෝ දෙනෙක් ඒදෙසට වේගයෙන් ගමන් කළේ අලින්ට මිනිස්සු පෙන්නන්ද කියා හිතෙනවා. පිපාසයෙන් පීඩිතව ආහාර නැති කමින් හෙම්බත්ව සිටිඒ අලි රැළ නැවත කැලය තුලට පිවිසුනේ ඔව්න් ගමන්ගන්නා මග අවුරමින් තිබූ ජීප් රථ පෙල නිසාවෙන්.  රියදුරන් සමහරවිට තමන්ට ලැබෙන ටිප් එක ගැන හිතනව ඇති.  හැබැයි මෙතන රියදුරන් පමණක්ම නොවෙයි, සමහර විටක වනයක සංචාරය කරන අපේ මිනසුන්ගේ දැනුවත් කම මඳකම කියායි මගේ අදහස.

කෑකෝ ගසමින් වාහන තරඟයට මෙන් දුවවමින් අපි ගමන් කරන්නේ මේ සතුන්ගේ භූමියේ නොවේද යන්න ඔව්නට කියා දීමට ක්‍රමවේදයක් වනයට පිවිසීමට පෙර තිබුණා නම් වඩාත් යහපත් වේවි.
විසල් අලිරංචුව ඇතුළු බොහොමයක් අපූර් ව දෑ දැක ගන්නත් කැමරාවට හසු කරගන්නත් ලැබුණු මුත් වෙනදා වන සංචාරයකින් පසුව සිතේ තියන සතුට හා සැහැල්ලුව අපේ කණ්ඩායමේ නොතිබුණේ මේ ගමනේදී දුටු මේ කණගාටුදායක දේ නිසාවෙන්. සැබැවින්ම එය වන සතුනට වගේම මේ රක්‍ෂිතයටත් රටටත් කරන හානියක බවයි අපේ හැඟුම. තමන්ගේ ජීවිකාව කරගෙන යන්නට උදව් කරන මේ වනසතුන් ගැන ජීප් රථ රියදුරනුත් මීට වඩා සිතිය යුතුබව් නොකිවමනායි.

නාට්‍යමය හෝ වාර්තාමය නොවුනත් කථාව ලියවුණේ මේ ලෙසින්




Sunday, July 22, 2012

පෙරහැර එනවා


මේ ගීතය අපේ ගීත සාහිත්‍යතුල පෙරහැර ගැන කෙරුණු නිර්දය විවේචනයක් ලෙස මා දකිනවා. නමුත් එහි ඇති අරුමය ගීතය අසා අවසන්වන විට අප සිත් තුල පෙරහැර ගැන ඇති වන ක්‍රෝධයක් නොවන පහන් සංවේගයයි.  පෙරහැරක් දැක ඇති ඕනෑම අයෙකු පෙරහර ගීතය ඇසූ පසු සිතට නැගෙන අදහස් ගොනුකලහොත් එවැන්නක් සිතේයැයි මගේ අදහසයි. 


අපහාසය නොවන ලෙස උපහාසය භාවිතයේ සුනිල් ආරියරත්නයන්ගේ ඇති විරල දක්‍ෂතාවය  අපූර්වතම නිමැවුම් තුලින් ගීතය පුරාවට දැකිය හැකියි. එසේ වුවද පෙරහැර නවතිනු නොහේ. එය ඉදිරියටත් පැවතිය යුතුය. සමාජයේ ඇති අවශ්‍යතාවයන් ඉටු කිරීම පිණිස සමාජය විසින්ම සාදාගත් ක්‍රමවේදය තුලින්ම ඒ සමාජයේ තම පැවැත්ම තහවුරු කරගැනීමේ අසීරු ගමන පෙරහර ගීතය තුලින් කියාපාන බැව් මට සිතෙයි.

නන්දා මාලිනිය ගීතයට පෙරවදනක් සපයනවා! පෙරහරක් තුල ඇති දුක් සුසුම් ගොඩක් කියලා! පෙරහරක අප නොදුටු පැත්තක් නොදුටු අරුතක් අපට මේ ගීතය කියා දෙනවා. එහි පද පෙළ ගැන වැනුම අවැසි නොවන බැව් ගීතය බලන අයෙකුට පෙනේවි. මන්ද මා ගීතයක දකින අතිශය විරල ගුණයක් මෙයින් දකින නිසාවෙනුයි.


මෙහි පදපෙළ කියවන්නෙකුට වුවත් තමන් පෙරහර තුල සිටින බැව් හැඟේවි.  පෙරහර පුරාම පැවතෙන රිද්මය සහ හඬ රෝහණ වීරසිංහයන් මතු කර තිබෙන අයුරු අපූරුයි. ඒ රිද්මය පමණක් ඇසූ අයෙකුට වුවත් තමන් පෙරහරක සිටින බැව් හැඟේවි. නන්දා මාලිනියගේ ගැයුම පමණක් ගත් කල වුවත් එහි ඇති රිද්මය පෙරහරම බැව් දැනේවි. ඉදින් මෙය අගේ ඇති නිර්මාණයක් ම නොවේද?

මේ කතා කල දැයින පරිබාහිර ව ඇති වැදගත්ම කරුණ ලෙස මා දකින්නේ නිර්මාණකරුවකු පද රචකයකු ලෙස අයෙකුට යම් සමාජ සංසිද්ධියක් දෙස කෙතරම් කෝණ ප්‍රමාණයකින් බැලිය හැකි යන වගයි. ඒ බැව් වටහාගන්නට මේ ගීතය ඉඩ සලසා දෙන අයුරු අගෙයි.  සාමාන්‍ය ජනයාට කියා ගන්නට අවැසි ඔව්න් දන්නා දහසක් දෑ සමාජයට, පාලකයනට කියා ගන්නට නිර්මාණය පහුරක් වූ අයුරු අප නන්දා මාලිනියගේ යුගයක ගීත තුලින් අත් දකින්නක්.  නමුත් මෙවන් ගීයක ගැයෙන දෑ තුලින් වෛරයකට වඩා සමාජය කෙරේ සංවේදී වන්නට උගැන්ම එහි ඇති අනන්‍ය ලකුණක් බැව් නොකිවමනැයි. ඉතින් සමාජයේ නෙක දෑ ගැන වඩාත් විමසිල්ලෙන් බලන්නකුට මෙවන් නිර්මාණ සඳහා වස්තු බීජ අපමණ සෙවිය හැකි නොවේද? එවන් දෑ අරමුණු කරගත් නිර්මාණයන් තුලින් සමාජය වඩාත් යහපත් තැනක් කරන්නට හැකි වන්නේ නොවේද? නමුත් කණගාටුවකට මෙන් එවන් නිර්මාණකරුවන් පද රචකයින් සහ ගැයුම් අපට දක්නට නොලැබේ. එයට ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුල ඇති ඉඩද ප්‍රශ්නකාරී වීමද හේතු විය හැකියි. නමුත් උත්සාහයක්වත්..............

පෙරහැර එනවා කස පුපුරනවා
හේවිසි නද පතුරනවා
කස කරුවන්ගේ දහදිය මුගුරින් පාවඩ මග අතුරනවා

යදමින් බැදි ඇතු අසීරු ගමනින් හෙමිහිට පාද තබන්නේ
යන ගමනේ ඉම දක ගනු රිසියෙනි ඇත් ගොවුවන් ගාටන්නේ
ගුරුන්ගේ අණටයි නිදි මත දරු කැල කළ ගෙඩි අරගෙන එන්නේ
පන්තේරුව බොල් පින්නෙන් නැහැවී දෑතට දියවී යන්නේ.

පාර දෙපැත්තේ පොඩි මිනිසුන් දෙස නිලමේවරු නොබලන්නේ
රජ සිටු මැතිවරු නරඹන තැන්වල නිලමේවරු නවතින්නේ
එතැනදි වැයුමේ රිද්මය වැඩිවී හොද හොද නැටුම් පෙනෙන්නේ
එලි අඩු පන්දම් තෙල් නැති පන්දම් තෙල් ගල්වා දල්වන්නේ .

හිතේ වේගයට හේවිසි හොරැණා තම්මැට්ටම් අඩවන්නේ
මාලක්කම් මැද වෙස් නළුවන්ගේ පීඩිත මුහුණු පෙනෙන්නේ
අඹුදරුවන්ගේ කුස් පුරවන්නයි වන්නම් තාල ගයන්නේ
වේල දෙවේලට අත සරුවෙන්නයි කොහොඹ කළේ නටවන්නේ
  

අසන්න මෙතැනින්

http://www.youtube.com/watch?v=GdCETflDD7g

Saturday, July 14, 2012

සිහින සැනසීම හා සතුට 2

කුඩා කාලයේදී ඔබට අයෙක් කිවහොත් අහසේ තරුවක් අල්ලන්න කියා ඔබ එයට උත්සහ දරාවි. මොකද ඔබ දන්නේ නැහැ තරු අල්ලන්න බැරි බැව්.

නමුත් ඔබ උත්සහ කරාවි කල්පනා කරාවි සිතාවි කල හැකි දෑ ගැන බොහෝ වේලාවක්

කිසි විටක කිසිදු හේතුවක් නිසා අත් නොහරීවි උත්සාහය

උස් මහත්වන තුරුම වයසින් මුහුකුරා ගොස් ලොව ඔබට කියන තුරුම එය නොකල හැකි බැව්

සැබැවින්ම ළමා විය සිහින කොයි තරම්ම අපූරුද! ඒ සිහින කොතෙක් නම් අප සිත්තුල තිබුණිද! ඉන් එකක් හෝ සපුරාගන්නට හැකි වූවේ නම අප කොයි තරම් වාසනාවන්තද/

මොහොතක් සිතා බලන්න. ඔබ එදා සිතූ දැයින් කොතරම් දෑ ඉටුව ඇත්ද යනවග. බලන්න ඒ සිහින නිසා කොයිතරම් ඔබේ ජීවිත ගමනට දායක වීද යන වග. මේ මොහොතේත් ඔබට හැඟෙන ඒ අපූර්ව සිතුවිලි.

කවරදාවත් සිතුවිලි පසුපසට හරවන්න එපා සිහින ඔබව ඉදිරියට ගෙනයයි

මන්ද ඔබේ සිහින මත ඔබ අනාගතය ඉදිවන නිසාවෙන්.

තමන්ගේ ජීවිතය හැරයන බැව් දැන දැනම තමන්ගේ අවසන් දෙසුමේදී තම කුඩා කල සිහින ගැන අපූර්ව අදහස් ගොන්නක් ලොවට තබා ඉන් තෙමසකින් වියෝ වූ මේ අපූරු පුද්ගලයාගේ දෙසුම බලන්න.

Achieving Your Childhood Dreams ...Dr Randy Pausch

http://www.youtube.com/watch?v=cyuZWDX55mI&feature=fvwrel



Friday, July 13, 2012

විවේචන අවශ්‍ය වී තිබේ


මගේ බ්ලොග් පිටුවේ සොයුරෙක් ඒ ගැන සඳහන් කර තිබුණා

සබසක්

මෙයට වඩා සමාජයේ එදිනෙදා වන අකටයුතුකම් ගැන අපට විවෘතව නොබියව විවේචනය කල හැකි නම් විවේචන මුළු සමාජයේම ඉදිරි ගමනට වඩාත් ප්‍රයෝජනවත් වේවි

අපේ ඇති එක අඩුවක් තමයි ධනාත්මක විවේචන(constructive criticism), ඒ කියන්නේ යමක් නිවැරදි කරවන්න බලපෑම් කරන විවේචන (මඩ ගැසීම් හෝ දේශපාලන උවමනාවන්ගෙන් තොර).

එවැනි දෑ මතු කිරීම සහ අදාළ පාර්ශවයන් වෙත යොමු කිරීම අවැසි කරුණක් ව ඇති බැව් මගේ හැඟුමයි !  
ඉතින් ඒ ගැන බ්ලොග් කරුවන් විදිහට අපටත් යමක් එකතු කරන්නට හැකි නම්..... හැම දෙනාටම එක්ව යහපත් යමක් කල හැකි වේවි!

Thursday, July 12, 2012

අපි දකින දසුන් - අපි හිතන හැටි

මේ පහුගිය දිනක මුහුණු පොතේ මා දුටු පිංතූරයක්. එහි මහා පුදුමයක් නොවන්නේ මේ වැනි සේයා රූ ඇති පදම් දිනපතා අප මුහුණු පොතේ දකින නිසාවෙන්. ඒ වුණත්.........................
සමාවන්න මෙය මගේ පුද්ගලික මතයයි! එයට එකඟ නොවීමට ඕනෑම අයෙකුට සාධාරණ අයිතියක් තිබේ - බොහෝ දෙනා තමන්ගේ රට බාල්දු කරමින් කතා කිරීමට නිරතුරුව පුරුදු වී ඇත. මෙය අපට කවුරුන් හෝ විසින් පුරුදු කර ඇති කරුමයකැයි සිතේ. රට යනු දේශපාලනය හෝ අන් කවරක් හෝ නොවේ. අපේ රටේ මෙහෙමයි කියන විට යම් ඈයින් තුටු වනු ඇත. නමුත් එය සමස්ථ සිතුවිලි ප්‍රවාහයටම අපේ අනාගත දූ දරුවන්ට උරුම කරන ආකල්ප සපුරාම වෙනස් කරයි. මෙය කිසිසේත් ඔබට කියන්නක් නොව මෙවන් දෑ නැවත නැවත ප්‍රචාරණයට පෙර යලි සිතිය යුතු බැව් මතක් කර දීමක් පමණි.

අප යුධකාමීන් නොවේ. අපට කවුරුන් හෝ පෙළන්නට අවැසි නොවේ. ඒ නිසාම අපට බිය වන්නටද කිසිත් හේතු නැත.

"බස් රථය යනු පොදු මහජනතාවගේ රථයයි. එය කුඩා දුවා දරුවන්ගේ සිට කාන්තාවන් රෝගීන් මහළු පුරවැසියන් හට තරාතිරම නොබලා ගමන් පහසුව සලසයි. මහ වැස්සේද පොදු ජනතාවට මහ මග පිළිසරණ මේ බසයම නොවේද? වැසි වැටුනත් පාරම වතුරින් පිරුණත් තම බසයේ නැගි ඉක්මනින් ගෙදර බලා යන මිනිසුන් කෙසේ හෝ ගෙනයන්නට උත්සහ කරන බස් රියදුරාගෙන් දැනෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ තවමත් ඉතිරිව ඇති මිනිස්කමේ මිහිර නොවේද?"
අපි හැමදාම මේ වගේ දෙයක් දැක්කහම අඩුම තරමේ මේ දේ ලියල තියන්නවත් හැකි නම් අඩුම තරමේ මේ පණිවිඩය කීප දෙනෙක් හෝ කියවාවි කීප දෙනෙකුට හෝ දැනේවි හැඟේවි

මේ රූපය දැක එසේ ලිවීම මැනවැයි මට සිතුනා

Thursday, July 5, 2012

මම පරිගණකයත් සමඟ දෙවන වර උපන්නෙම් ඔබ?


ඇත්තටම ඒක හරිම පහසු දෙයක් කියලා මම හිතුවේ නෑ.  මොකද කිසිවෙක් මේ දේ පහසු දෙයක් කියලා කියන්නේ නැති නිසා.  හැම දෙනාම කියන්නේ ගොඩක් අමාරු කටයුත්තක් කියලා. හැබැයි මේ සඳහා සැබැවින් ම යොමු වෙන කෙනෙකුට තමයි හරියට තේරෙන්නේ කියන තරම් අමාරුවක් එතන නැති බව.

දිගින් දිගටම අනිකුත් මෙහෙයුම් පද්ධති පාවිච්චි කරලා විවෘත මෘදුකාංග මෙහෙයුම් පද්ධතියකට යොමු වෙලා වැඩ කරන්න හිතෙන්න බලපාපු ප්ර්ධානම කරුණු කීපයක් ම හිතේ තිබුණා. ප්‍රධානම දේ තමයි මේ දේ භාවිතා කරලාම බලන්න තිබූ ආසාව. අනිත් වැදගත්ම දේ තමයි වේගය (Speed). අපොයි දෙයියනේ මගේ පරන O/S එකත් එක්ක බලනකොට මේ මෙහෙයුම් පද්ධතිය (Ubuntu) නිකං Ferrari කාර් එකකුයි බර කරත්තෙකුයි වගේ කියලා මට දැන් හිතෙනවා. ටිකක් සැර වැඩියි වගේ කියලා දැනුණත් ඇත්තට ම ඒ වෙනස ගොඩක්ම දැනෙන එකක් (අවිශ්වාසනම් Ubuntu live CD එකක් ධාවනය කරලා බලන්න). මම නොකියා ඉන්නේ නෑ Ubuntu වල තියන නම්යශීලී, වේගවත් හා හුරුබුහුටි ගැජට්ස් (Fancy Items) ටිකත් මාව තව දුරටත් වීවෘත මෙහෙයුම් පද්ධතියට යොමු කරා කියන එක. ඇත්තටම මේවා හරිම නැවුම් අපූරු දේවල්, වැදගත් ම දේ තමයි මොන දේ කලත් වේගය අඩු නොවෙන එක. Grin Grin

මේ වැඩේ කරනකොට අපට එන අභියෝග නම් බොහොමයි. මට ආපු පලවෙනි අභියෝගය තමයි අපි සම්බන්ධ වන අනිකුත් පිරිස් එක්කලා එකට කටයුතු කරනකොට Compatibility ගැටළු එයිද කියන එක.  විශේෂයෙන්ම මේ පැත්තට යනකොට නිකුත් පද්ධති වල ඉන්න හැම දෙනාම පාහේ මේ ගැන ගැටළු ඇති කර ගැනීම ඇත්තටම අභියෝගයක්. දෙවැන්න තමයි ඉ මේල්, වාසනාවකට වගේ Zimbra කියලා බොහොම සම්පූර්ණ ඉ මේල් මෘදුකාංගයක් තියනවා.  හරිම අපූරු වෙබ් මුහුණතකුත් තියන මේ මෘදුකාංගයේ නව සංස්කරණයේ අළුත් දේවල් ගොඩක් තියනවා. එතකොට මගෙ හිතට වද දුන්නු තවත් ගැටළුවක් තමයි Open Office ලිබ්රා ඔෆිස් හා සිංහල වැඩ කරන එක ගැන. ඇත්තටම මුලින්ම මේ කටයුත්තට හුරු වෙන එක පොඩ්ඩක් අමාරු වුනත් පසුව ඒක එතරම් දැනෙන්නෙ නෑ. හැබැයි මුලින්ම Open Office දැක්ක වෙලාවේ මට හිතුනා මේකෙන් මට අනික් මෘදුකාංග වලින් කරන දේවල් කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම හිතුන උත්තරය බෑ කියන එකයි. මොකද මේ අතුරු මුහුනත එතරම් ම ලස්සන නෑ. ඒ උනත් ටික දවසක් භාවිතා කරනකොට තමයි දැනෙන්නේ අපි ඇත්තටම භාවිතා කරන හැම දෙයක් ම  වගේ මේ තැනත් තියනවා කියලා. හැබැයි අනිවාර්යයෙන්ම ටිකක් කලක් ගන්න වෙයි. Cheesy

Ubuntu වලට ගිය දවසෙ ඉඳන් එක දෙයක් මම අත් විඳිනවා, ඒ ආයෙත් මගෙ පරිගණක උගත්ත මුල් කාලේ වගේ විවිධ නව එකතු කිරීම් හැම දාම වගේ දකින්නත් එකතු කර ගන්නත් ලැබෙන එක. ඒ එක්කලා මම හිතනවා මම මේ මෙහෙයුම් පද්ධතියත් එක්කලා පරිගණක ගමනේ නැවත උපතක් ලැබුවා කියලා (මේ කතාවම පහු ගිය දිනක Kubuntu වලට ගිය මගේ මිතුරකුත් සනාථ කරා).  ඔබට විවෘත මෙහෙයුම් පද්ධතියක් තියේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබට දැනෙන්නේ අපූරු නිදහසක්.

ඉතින් විවිධ අවස්ථාවලදී විවිධ බාධක ඔබට ඒවි. නමුත් මේ හැම ගැටළුවක්ම අන්තර්ජාලයේ මඳ වෙලාවක් සැරිසැරුවොත් විසඳගන්න පුළුවන් වේවි. මේ සංක්රාහන්තියේ දී කිසිවෙක් ඔබව උනන්දු නොකලත් තම විශ්වාසය මගින් උනන්දුව ඇති කර ගැනුම ඉතාම වැදගත් කියලා මම හිතනවා. බාධක කොතෙක් ආවත් අවසානය ඉතාම මිහිරි යහපත් එකක් බව නම් සහතිකයි.

ප ලි. මෙය අන් මෙහෙයුම් පද්ධති හෝ අන් මෘදුකාංග අවතක්සේරුවක් නොවේ. බොහෝ දෙනාගේ දැන ගැන්ම පිණිස ලියැවූවක් 





Tuesday, July 3, 2012

අවිවේකය!

අවිවේකය තරම් මිනිසා පෙළන තවත් දැයක් ඇති දැයි නොදනිමි. විවේකී මනස තුල ඇති සැනසුම අවිවේකී මනසකට කෙසේ දැනේද! අවාසනාවක මහත බොහෝ දෙනෙකුගේ මනස අවිවේක ව ඇති හැටි. ජීවිතය කොතෙක් අවිවේකී වුවත් මනස විවේකීව තබා ගැනුමට හැකි නම් අගෙයි. එය එතරම් පහසු නොවූවත් නොකල හැක්කක් නොවන බැව් මගේ හැඟුමයි !

Monday, June 11, 2012

සිහින සැනසීම සහ සතුට

අපි හැම දෙනාටම සිහින තිබෙනවා. ඔබට නොදැනුනත් ඔබටත් යම් සිහිනයක් තිබෙනවා. සමහර සිහින සැබෑවන්නටත් සමහර සිහින සැබෑ නොවන්නටත් අපූරු හේතු තියෙනවා.

ජීවිතයේ වටිනාම දෙය සැනසීම සහ සතුට. හැබැයි අපව ජීවත්කරවන්නේ බලාපොරොත්තුවයි. ඒ බලාපොරොත්තු, අපේ සිහින සැබෑවක් වන්නට අප සිහින මවන්නට අවශ්‍යමයි.

ඒ නිසාවෙනුයි ඔබට කියන්නේ විසල් සිහින දකින්න

ඔබේ බලාපොරොත්තු ගැන සැමදා සිහින දකින්න

ඔබට සතුටක් දුකක් දැනුනත් සිහින අත් නොහරින්න. සතුට අත් නොහරින්න

බලාෙපාරොත්තුව ඔබේ ළඟ නම් ඔබේ සිහින සැබෑවක්ම වේවි

ඔබටත් නොදැනීම

මේ අපූරුතම පද පෙළහරක යටින් දිවෙන අරුත එයයි

බොහෝ ගීත අතරින් තරම් ජීවිතය වෙනස්කරන පද පෙළක් හා ගීයක් ඔබට සොයන්නට අමාරු විය හැකියි

කියවන්න අසන්න බලන්න විඳින්න

http://www.youtube.com/watch?v=3KwEuNapzt0

ඔබ දිනකට වරක් මෙය ඇසුවහොත් හැම දිනක්ම අපූර්ව නොවේද

When you cry be sure to dry your eyes
'Cause better days are sure to come
And when you smile be sure to smile wide
Don't let them know that they have won
And when you walk, walk with pride
Don't show the hurt inside
Because the pain will soon be gone

And when you dream, dream big
As big as the ocean blue
'Cause when you dream it might come true
When you dream, dream big

When you laugh be sure to laugh out loud
'Cause it will carry all your cares away
And when you see, see the beauty all around and in yourself
And it'll help you feel okay
And when you pray, pray for strength
To help you carry on
When the troubles come your way

And when you dream, dream big
As big as the ocean blue
'Cause when you dream it might come true
When you dream, dream big

When you laugh be sure to laugh out loud
'Cause it will carry all your cares away
And when you see, see the beauty all around and in yourself
And it'll help you feel okay
And when you pray, pray for strength
To help you carry on
When the troubles come your way

And when you dream, dream big
As big as the ocean blue
'Cause when you dream it might come true
When you dream, dream big

නුඹ 

සිහිනයෙන් පැමිණි
මා කුමාරිකාවී
නිදන්නී තුරුළේ 

පිණි වැටෙයි සිත නිවාලයි සිහිලසින්
තරු පිපෙයි නුඹෙ නැවුම් වත සරහමින්
හිත දෝරයන සැනැහුමින් 
වැසී යයි ලොව මොහොතකින් සිහිනෙකින්

සඳු බලයි නිදි කුමරි දෙස හොර ඇහින්
මල් වැසි වසී හිමවළාකුළු හිනැහෙමින්
කිරි සුවඳ ගෑ නුඹ මුවින්
සෙනෙහස ගලා යයි ජීවිතය පුරවාලමින්
 


Sunday, June 10, 2012

ගත කරන හැම මොහොතක්ම නැවත නොම එන හෙයින් සතුටින් ජීවත්වන්න

හමුවන කිසිම අයකු නැවත හමුවන්නේ එලෙසින්ම නොවන නිසා
සතුටින් වෙන්වන්න

ඔබට ලැබී ඇති බොහෝ දෑ අන් බොහෝ දෙනකුට නොලැබී ඇති නිසා ලැබූ ජීවිතයට පැමිණිලි නොකරන්න

90 10 නීතිය

ඔබ අසා තිබෙනවාද 90 10 නීතිය ගැන

එය අපූරු අදහසක්

හිතන්න

ඔබට උදෑසනම අවදිවන්නට අවැසි දවසක ඔබ අවදිවන්නේ පැය භාගයක පමාවෙන්. ඒ බැව් දැනගත් ඔබට තරහා ගොස් බිරිඳට බැණ වදිනවා. ඇය ඒ මොහොතේ සිටින්නේ ඔබත් සමඟ පාසැල් යන දරුවන් සූදානම් කරමින්. ඔබගේ බැණුම් අසන අැය එය නවතා දමනවා.

ඔබ කඩිමුඩියේ සූදානම්ව යන්නට සැරසෙන විට ඔබ බොන්නට ගත් තේ කෝප්පය ඇඳුමේ හැලීයනවා. බිරිඳටත් දරුවන්ටත් සැර දමා මහ මගට බට විට මාර්ගයේ ඇති අධික තදබදය නිසා තවත් ප්‍රමාද වෙනවා. ඔබ වඩා ඉක්මනින් යාමට මාර්ග නීති නොතකා යාම නිසා ඔබට පොලීසියෙන් දඩ ගසනවා.

යනාදී විදිහට බොහෝ දුරට කතාව ගෙන යා හැකියි.

හැබැයි මෙහි එක් දෙයක් ඔබ දුටුවාද? ඔබ එක් වෙනසක් කලා නම් මේ සියල්ල වෙනස් වන්නට තිබුණා.

උදෑසන ඔබ අවදි වූ මොෙහාතේ ඇති වූ පමාව ගැන තමන් හා තරහා ගැනීම නවතා ඉක්මනින් යන්නට සූදානම් වූවා නම් ඔබේ බිරිඳත් දරුවනුත් ඊට සහය දෙනු ඇති. එසේ වූවා නම් හැම දෙනාම සතුටින් දවස අරඹා දිනය ගත කරනු ඇති.

හිතන්න ඔබගේ එක් ක්‍රියාවක් කොයි තරමට දිනක කටයුතු වලට බලපෑම් කරන්නේ දැයි කියා.

ඔබට සිදුවන/කරන දෑ ඔබගේ ජීවිතය වෙනස් කරන්නෙ 10%ක් පමණයි. 90%ක්ම ඔබගේ ජීවිතය වෙනස් කරන්නේ ඔබ එයට දක්වන ප්‍රතිචාරය මතයි

90 10 නීතියේ හරය එයයි.

හැම විටම යමකට ප්‍රතිචාර දක්වන විට මෙය මතක තබා ගන්න! ඔබගේ ප්‍රතිචාරය ඔබට ලැබෙන දෑ තීරණය වෙයි!


බලන්න 
http://www.youtube.com/watch?v=vNKv3gGjqJc

Saturday, June 9, 2012

ජීවිතය


එක දවසක් මහාචාර්යවරයෙක් තම ශිෂ්‍යයන්ට පාඩමක් කියා දුන්නා. ඔහු පන්ති කාමරයට විශාල වීදුරු බඳුනක් ගෙන ආවා. මේ බඳුන හිස් එකක්. පලමුවෙන් ම ඔහු තරමක විශාල ගල්කැට වලින් බඳුනේ කට දක්වාම පුරවා, බඳුන පෙන්වා සිසුන්ගෙන් ඇසුවා

මේ බඳුන පිරිලාද?

සිසුන් ඔව් කියා පිළිතුරු දුන්නා

මඳ සිනවකින් මුව සරසා මහාචාර්ය වරයා පුංචි ටික් බෝල බඳුනට එකතු කලා. බඳුනේ ගල්කැට අතර හිඩැස් ඉන් පිරී ගියා

දැන් බඳුන පිරිලාද?

සිසුන් නැවතත් ඔව් කියා කීවා

නැවත වරක් මහාචාර්යවරයා සියුම් වැලි බඳුනට එකතු කලා. බඳුෙන් ටික් බෝල අතර ඇති හිඩැස් ඉන් පිරී ගියා.

දැන්?

බඳුන පිරිලා! සිසුන් උත්තර දුන්නා !

සිසුන් දෙස මඳ හසින් යුතුව බලා සිටි මහාචාර්යවරයා මෙසේ කීවා

දැන්! මම කැමතියි ඔබ හැඳිනගන්නවානම් මේ බඳුන ඔබේ ජීවිතය දක්වන බව

මේ තරමක් විශාල ගල් කැට තමයි වටිනාම දේ ඒ ඔබේ පවුල ඔබගේ සැමියා හෝ බිරිඳ ඔබේ දරුවන් ඔබේ සෞඛ්‍ය වැනි දෑ
ඔබට අනිත් හැම දෙයක්ම නැති වුවත් ඔබට දැනේවි ජීවිතය පිරී ඇති බැව් ඔවුන් ඔබ හා සිටින තෙක්

මේ ටික් බෝල ඔබේ අනිකුත් දෑ ඔබේ නිවස, වාහනය, රැකියාව වැනි දේ

මේ වැලි තමයි අනිකුත් සියලු දේ කුඩා කුඩා දේ

ඔබ මේ කුඩා දේ ගැන ඔබගේ කාලය හා මහන්සිය වැඩි වශයෙන් යෙදවුව හොත් ඔබට සතුට දී ජීවිතය පුරවාලන දේට කාලය නැති වේවි. ඔබ ඔබේ පවුල සමීපතමයන් ගැනත් ඔව්න්ගේ සතුට ගැනත් වැඩි වශයෙන් කාලය යෙදවුවහොත් ඔබට පෙනේවි ඒ තුලින් ඔබට වැඩි කාලයක් රැකියාව නිවස සකස්කිරීම වැනි දේට යෙදීමට ලැබෙන බැව්.

ඉතින් මතක තබා ගන්න. පලමුව තරමක් විශාල ගල්කැට ගැන අවධානය යොමුකරන්න - ජීවිතයට වඩාත් වැදගත් වන්නේ එයයි. ඔබගේ අරමුණු ගොනුකරගන්න. ඒ ඔස්සේ ගමන් කරන්න

ඉතිරි සියල්ල දුහුවිලි පමණයි ......



ප ලි - මේ ඉංග්‍රීසි කතාවක සිංහල අනුවාදනයකි 


මේ කතාව කියැවූ කල එය තවත් බොහෝ දෙනෙකු හා බෙදා ගත යුතුයැයි සිත දිගින් දිගටම කියූ නිසා ලියාලූයෙමි.  සැබැවින් ම මේ අපූරු කතාව කියැවූ පසු ජීවිතය කොයි තරම් වටීදැයි, අපට තුටින් සිටින්නට කොයි තරම් පහසු දැයි මට සිතේ! එක් මොහොතක් හෝ පමා නොවී!!!

Sunday, May 6, 2012

අගේ ඇති දෙයක්!


හැබෑවටම ඒ දේ කොයි තරම් අමාරු වුණාද? එදා අපි බොහොමයක් දෙනෙක් අත් විඳි අපහසුකම් පිරි ගමනක ගිමන් හලක් දුටු දිනක් යැයි මට හිතුණා.

අපි හැම දෙනාටම අපූරු දේ එදිනෙදා සිදුවුණත් ඒ දේවල් කොයි තරම් හිතට දැනෙනවාද කියන්න අපිට මතක නැති වෙන්නේ මේ කඩිමුඩියේ දුවන දිවීමම වෙන්න පුළුවන්. හැබැයි සමහරක් දේ අපේ හිතේ ඇති කරන අපූරු සංවේදනා හිතේ කොයි තරම් වෙනසක් ඇති කරනවාද යන්න මට පසක් වුණ තවත් සිදුවීමක් එදා සිදු වුණා.

ගෙදර හරිම කලබලයක් ඇති වුණා මතකයි. ඒ තරම් පහසු වුණේ නෑ අවශ්‍යතාව පැහැදිලි කරන එක. විවිධ දෙනා ගෙදරට ආ නෑදෑයින් පවා ඒ ගැන විවිධ අදහස් පළකලා මතකයි. හැබැයි බොහොමයක් දෙනෙක්ට තමන් කියන දෑ ගැන විශ්වාසයක් තිබුණේ නෑ. ඇත්තටම ඔව්නට තබා මේ ඕනෑකම ගැන පොලොවේ හැපෙන්නට තරම් හේතුවක් මට තිබුණාද යන්නත් එහි ඇති ඕනෑකම ගැන කියන්නට දැනුමක් තිබුණාද යන්නත් හැබෑවටම මටත් සැකයක් වුණා. අවසානයේ බොහෝ වෙලාවට වුණා වාෙග් අප්පච්චි බොහෝ දෙනාගේ විරුද්ධත්වය මැද මට මෝඩමයක් අරන් දුන්නා. කිබ56 මෝඩමය තුලින් අන්තර්ජාලයට සම්බන්ධ වුණ දවස අපූරු දවසක් වුණා.

ඒ මීට වසර 15කට විතර කලින්, මුලින්ම ඉන්ටර්නෙට් කියන දේ හැබෑවටම පාවිච්චි කරන්න ලැබුණු අවස්ථාව. ඉංග්‍රීසිය ටිකක් අත පත ගා ගෙන ජාලයේ සරන්න පුළුවන් වුණත් බොහොම ඉංග්‍රීසි වෙබ් අඩවි කියවා බැලුවත් අපේ දේවල් ගැන යමක් හොයාගන්න තිබ්බ ඉඩ කඩ හරිම අඩුයි. ඒ හිංදමද කොහෙද ඉ-මේල් හැරුණු කොට වෙන දෙයක් ලියා ගන්න අමාරු වුණේ. මට මතක හැටියට හැමදාම වගේ සිංහල බසෙන් ලියවිලා තියෙන යමක් අැති තැන් හොයන්න අපි උනන්දු වුණා. එහෙම දෙයක් හොයා ගැනීම හරියට කාන්තාරයක වතුර හොයා ගත්තා වගෙයි හිතට දැණුනේ. එ් දවස් වල තිබුණු අපූරු සිංහල අඩවි ගැන අමතක වුණේම නැත්තේ එ් නිසා විය යුතුයි.

මේ හැම දේම ලියන්න හිතුවේ ඒ දවස් වල අපි හිතපු පතපු දෑ මේ වන විට සිද්ධ වෙමින් යන හිංදයි. සැබැවින්ම සිංහල යුනිකෝඩය අපේ අන්තර්ජාල අන්තර්ගතවලට හැබෑම වෙනසක් එකතු කලා. මම හිතන විදිහට පහු ගිය වසර 5 ඇතුලත අපේ රටේ පාසැල් ලියන්නන්ගේ ඉඳන් වෘත්තීයමය ලියන්නන් දක්වා අන්තර්ජාලයට එකතු කරපු අන්තර්ගතයන් ඊට පෙර වසර 20ට ම වඩා වැඩි ඇති.

හැබැයි කාලයක ඉඳන් සිංහල ලියන්නන්ට තිබුණු ප්‍රධානම ප්‍රශ්නේ තමයි අවශ්‍යතරම් යුනිකෝඩ ෆොන්ට තිබුණෙ නැති එක. හැම ලිවීමක්ම එක වගේම තමයි ලියැවුණේ. හැබැයි එහෙම කියලා ලිවීම කවුරුත් නවත්වපු නැති එක වාසනාවක්.

ඉතින් පහුගිය දවසක එලි දැක්වුණු නව යුනිකෝඩ ෆොන්ට 6 අපූර්වත්වයක් අපට ගෙන එයි කියලයි හිතන්නේ. ඒ එක්කම යුනිකෝඩ ෆොන්ට හදන හැටි ගැනත් එහි රීතීනුත් පිළිබඳ සම්පූර්ණ තොරතුරු නොමිලේම ලබා දෙන එක අපේ බස ඉදිරියේ ප්‍රවර්ධනයට හැබෑවටම වැදගත් වේවි. දේශීය අන්තර්ගත ප්‍රවර්ධනය කරන නිමැවුම්කරුවන් වන අපූරු බ්ලොග්කරුවන්ගේ සිට අන්තර්ජාලය භාවිතා කරන බසට හිතැති හැම දෙනා එහි ඉදිරි මඟට දායක වේවි.

හැබැයි මට මුලින්ම ලියන්න පටන්ගන්නකොට ලියා ගන්න ඕන වුණේ තවත් දෙයක් ගැනයි. අපි අවුරුදු ගානකට කලින් දුටු අත් විඳි දෑ කොහොමටවත් ඊළඟ පරපුර අත් දකින එකක් නෑ. මොකද ඔව්නට පෙනෙන්නේ අත් දකින්නේ කවුරුන්ගේ හෝ මහන්සියක ප්‍රතිඵල හිංදා. ඒ වාගේම සිංහල අන්තර්ගතයන් අන්තර්ජාලයේ ප්‍රවර්ධනය කරන්නේ කුමකටද කියන ප්‍රශ්නය අසන්නන්ටත් නොදැනේවි තමන් කිසිදා මේ අත්දැකුම නොලද නිසා එහි ඇති අරුමය එහි ඇති අපූර්වත්වය එහි ඇති ආඩම්බරය එ් හැමටම වඩා එහි මුළුමනින්ම තැවරී ඇති අපේකම.

ඉතින් මට පුංචි වුණත් මේ කතාව ලියා තබන්න හිතුනේ සිංහල බසේ අන්තර්ජාල ආගමනයේ හා පරිණාමයේ ඇති අපූර්වත්වය හා එය ප්‍රවර්ධනයට කැප වූ මහා විසල් පිරිසකගේ හදවතින් හමන අපේ සුවඳ ගැන සැක සිතෙන කාට හෝ අයෙකුට කවදා හෝ දැක බලා ගන්නයි.

Tuesday, May 1, 2012

වාසනාවන්ත පියෙක් සහ දියණියක්

අතිශය කලබලකාරී කලක් ගත වෙමින් පවතිනවා එදිනෙදා! ඒ නිසා ලිවීමට ඇති ඉඩ ඇහිරිලා ගිහිං.

ඒ නමුත් මිනිසුන්ගේ භාවයන්ගේ අපූර්වත්වය දකින විට ඒ ගැන වචනයක් හෝ ලියැවීම මැනවැයි හිතෙනවා. ඒ පාසැලට සොයුරියව ඇරලන්න ගිය මොහොතේ දුටු අපූරු දසුනක් නිසාවෙන්.

කාලය ඉතා කඩිනමින් ගෙවෙමින් තිබුණ බවට ඇති සලකුණක් වූයේ පාසැල් ඇඳුමින් සැරහී වුන් පොඩි උන් මහත් හදිසියෙන් පාසැල් දොරටුව වෙත දුවනු දැකුමෙන්. මග දෙපස දරුවන් මව්පියන් ආදී බොහෝ දෙනා විවිධ කටයුතු වල නියැලිලා. ඇත්තටම දරුවගේ අවැසිතා බලා පාසැලට දරුවා පිටත්කර හැරීම ඒ තරම් පහසු නොවන බැව් නොකිවමනායි. කුඩා දරුවන් ඉගිල්ලෙන්නට වෙර දරන කුරුළු පැටවුන් මෙන් බෑගය අදිමින් ඉදිරියට ගමන් කලා. අප පාසැල් ගිය යුගයෙන් දශකයකටත් වඩා පසුව වුවත් පාසැලට යන දරුවන්ගේ ගමන එදා වගේමැයි මට සිතුනා.

කෙතරම් පෙර සූදානම් වුවත් බොහෝ දෙනෙක් පාසැලට පැමි‍ණෙන මොහොත අවසන් අඩපැය බැව් නොකිවමනායි. ග්‍රාමීය, අර්‍රධ නාගරික, නාගරික වුවත් එහි ඒ තරම වෙනසක් නෑ. ඉතින් පූර්ණ පහේ නාගරික පාසැලට තමන්ගේ දරුවා නිසි වේලාවට ඇරලීමත් තරමක් අසීරු බැව් පෙනෙන්නේ බොහොමයක් මව්පියන් තම දරුවා පාසැලට ඇරළා විගස දිවයන අයුරු දැකුමෙන්. මේ කඩිමුඩිය තමන්ගේ රථය පැදවීමේදීත් දක්නට ලැබුම එහි ඇති සමාජමය බලපෑමෙහි ප්‍රමාණය දැක්වීමක්. බොහෝ දෙනෙක් මාර්ග නීති තබා අන් රියදුරන් පදිකයන් මායින් නොකරමින් තම රථය දුවවන්නේ කොයි තරම් අසීරු දිවුමක් දැයි නැවත පසක් කර දීම අවැසි නැති බවයි මගේ හැඟුම. කාර්‍යාල වේලාව පාසැල් වේලාව මව් පියන් හා දරුවන් තරඟයක දුවවන බැව් යමෙකුට පෙනී යා හැකි තරමේ කලබලයක් පාසැල අසල දැකිය හැකියි. 

පාසැලට දරුවා ගෙනවිත් හැරලීම සහ දරුවා බසයක හෝ වෑන් රියක පැමිණීම අතර ඇති වෙනස දරුවාට ලබෙන සමාජමය අත් දැකුම් හි ඇති කරන වෙනසට බලපෑමක් ඇති කල හැකි බැව් මගේ පුද්ගලික අදහසයි. එසේ වුවත් අද සමාජය තුල දරුවාගේ ආරක්‍ෂාව ගැන ඇති සහතිකය කුමක්දැයි අයෙකුට පැනයක් නැගිය හැකියි. ඒ නිසාම විය යුතුයි බොහොමයක් මව්පියන් කෙසේ හෝ දරුවා තමා කැටුව යන්නට වෙර දරන්නේ.

ඉතින් එදා උදෑසන මේ කලබලය අතර බොහෝ දරුවන් පාසැල තුලට පිය මැන්නා. බොහෝ දෙමාපියන් තම රථය ගේට්ටුව ළඟට ගෙන දරුවා රථයෙන් මුදා හල අයුරුත් ඉන් පසු කඩිනමින් ඉදිරියට යන අයුරුත් නැවත නැවත අනවරතව සිදු වෙමින් තිබුණා. එනමුත් රථයක් නවත්වා දරුවා බිමට බට පසු වැඩි වේළාවක් රැඳීමට අවකාශ නොතිබුණේ පසුපස රථයෙන් ඉදිරියට යන ලෙස ලැබෙන නලා සන් හඬ නිසාවෙනුයි. එනිසා බොහොමයක් දෙනා තම දරුවා දෙස ක්‍ෂණයෙන් බලා ඉදිරියට ගමන් කලා.

මේ අතර නොනවත්වා ඇති වූ වාහන නලා හඬ බොහොමයක් දෙනාගේ දෙනෙත් ඇද ගත්තා.

ඒ නලා හඬ නැගුනේ තමන්ගේ දියණිය බැස්වීමට ආ එක් තාත්තා කෙනෙකුගෙන් එවැනිම දියණියක් බැස්වීමට ආ තවත් තාත්තා කෙනෙකුටයි. වෙනස නම් එක් අයෙක් නවීන මෝටර් රථයකත් අනිත් පියා පාපැදියකත් පැමිණ සිටීමයි. පා පැදියෙහි පැමිණි පියා දරුවා බස් වා විගසින් පා පැදිය අයිනට කර ගෙන නවතා තැබුවා. ඉදිරියට ගත් මොටර් රථය ඇතුළු තවත් රථ පෙළක් ම ඔහු දෙස රවා බලන්නට ඇති.

ඉදිරියට ගත් මොටර් රියෙන් බට කුඩා දැරිය පාසැලේ ගේට්ටුව අසලට යාමටත් පෙර රථය වේගයෙන් ඉදිරියට ඇදී ගියා. තම පියාගේ  දෑතේ උණුසුමින් බිමට බට පා පැදියේ පැමිණි දැරිය පියා ගේ දෑත අල්ලා මොනවාදෝ කියා වට පිට බලමින් හිනැහෙමින් ගේට්ටුව තුලින් පාසැල් බිමට පිවිසුණා. ඇගේ පියා පා පැදිය පසෙක තබා ඈ දෙස හිනැහෙමින් බලා සිටියා. සුමුදු උදා හිරු රැස් පොළව සිප ගන්නා ඒ උදෑසන පියෙකුගේ ආදරය තුරුළු කරගත් කුඩා දැරිය ඈතට යන තෙක්ම සිහින කැටි කරගත් පියෙකු බලා සිටියා.

මේ සිදුවීම දුටු මට සැබැවින් ම පා පැදියෙන් තම දරුවා සමඟ ආ තාත්තා කොයි තරම් වාසනාවන්ත දැයි සිතුණා.

"බීප්"  "බීප්"

මහ හඬ නැගූ පිටු පසින් ආ රථයේ රියදුරු රවමින් මා දෙස බැලුවා.

"බහින්න ලෑස්ති වෙන්න" යැයි කියමින් මමත් රථය ගේට්ටුව වෙත ගෙන ගියා.

සමහර විටක සමහර දෙනා කොහේ කොහොම සිටියත් සැබෑ වාසනාවන්තයින්.....................!!!



Sunday, March 25, 2012

මග කියන කතාව !


මාවත කාටත් පොදු වුවත්
ගමනාන්තය තමන්ගේම වූවක්
ඒ නිසාවෙන්
ඔබ ගමන යන්නේ කෙසේද
ඔබ ගමන් කරන්නේ කොතැනටද යන්න
ඔබගේ තීරණයයි

මාවත පුළුල්
මාවත දිගුයි
මාවත පැහැදිලියි
රුක් සෙවන සදාවි ඉදිරි ගමනට
ඇඳි ඉර සීමා කලත් නුඹ ගමන

ගමනාන්තය කා හටත් වඩා
අපූර්ව තැනක් නම්
ඒ ගමන නවතනු
ඒ මග වලකනු
කවරහුද

නවතින්න අවැසි නම්
ඒ ඔබේ තීරණයයි
ඉදිරියට යන්නට අවැසි නම්
එයත් ඔබේම තීරණයයි

සොබාදම බලා සිටී
මග දෙපස ඔබ එන තුරු
මාද ඔබට උදව් කරන්නට රිසියෙන් ම
බලාසිටිමි

අපූරු මාර්ගය අපට කියයි!

Saturday, March 24, 2012

කන්ද කියන කතාව


කඳු මුදුන් උස් යැයි ඔබ සිතයි
ඒ නමුදු ඒ බැව් නොහැඟෙවි
කන්ද තරණය කරන්නකුට

වළාකුල අඳුරුයි
තව මොහොතින් වැසි වසීවි
සිත කියයි

එනමුදු වැසි නොවැස සෙවන සදන කල
එම වළාවම ඔබට
සිතෙයි
කොයිතරම් අපූරුද හැබෑවටම වළාකුල තිබුණ එක

සොබා දම් දිනිතිය මවා ඇති සකල
ආශ්චර්යයන්
නොවේ හිරිහැරයක් ලොවට

ඉතින් බලන්න කඳු මවු සිඹින වළාපෙළ
පිස ආ සුලං රැල ගැන කෙසේ වනම්ද මා

හැම කන්දක්ම තරණය කරන්නට උදව් කරන්නට කොයි තරම් පිරිසක් සැදී පැහැදී සිටීද
නොබියව එය තරණය කරන්න


සිනාසෙන කඳු පෙළ අපට කියයි

Friday, March 23, 2012

අහස !!!


ඔබ සතුටින් නම්
අහස බලන්න
ඔබ දුකින් සිටී නම්
අහස බලන්න
ඔබ තරහෙන් සිටී නම්
අහස බලන්න
ඔබ ගේ බලාපොරොත්තු
හිස් අහස තුල මවා ලන්න
මේ සොඳුරු අහස ඇත්තේ ඒ වෙනුවෙන් මැ නොවේද?

මිනිසුනි කියන්න ඔබගේ තැවුල්
බෙදා ගන්න ඔබ තුටු හැඟුම්
කියන්න මාහට ඔබ සිහින

අහස එහෙම කියනවා


Saturday, March 10, 2012

අම්මා සහ අම්මාවරුනේ

ඉස්සර ඉඳන්ම අපේ ගමේ රජයේ රස්සාවක් කරන දෙපලක් විදිහට අම්මගෙනුයි අප්පච්චිගෙනුයි එක එක රජයේ ලියුං කියුං ආදී වැඩ වලදි කතා බහ කරන්න බොහොමයක් දෙනා ආවා ගියා. අම්ම විශ්‍රාම ගියාට පස්සේ ගමේ පොඩි දරුවන් බොහොමයකට ඉංගිරිසිය කියල දෙන්න අම්මට බල කලේ අප්පච්චිම තමයි. ඒ හංදා බොහොමයක් විට පුංචි උන්ගෙන් ගෙවත්ත පිරිලා තිබුණා. අපේ අම්මත් බොහොම ආසාවෙන් ඒ කටයුතු කරා. ඇත්තටම ඒ දරුවන්ගේ මව් පියන් ගෙනත් දුන් දෙල් ගෙඩිය, බතල අලය වැනි දේවල් මුදලට වඩා කොයි තරම් වටිනවාද කියලා නෙකිවමනායි. ඒ හැම දේකම ගෑවී තිබුණ මනුස්සකමේ සුවඳ අනිත් හැම දේටම වඩා වටින බැව් මගේ මව්පියන්ගේ අදහසයි.

මේ ටික හරි ලියන්න හිතුනේ අම්මා අප්පච්චි ගැන වෙන දෙයක් ලියන්න කලින් ඔව්න් ගත කරන අපූරු ජීවිතය ගැන අදහසක් කියන්නයි.

එදා ඉඳන් අද වෙනකම්ම අපේ ගෙදර දොරකඩ ගමේ හැම දෙනාටම විවෘත තැනක්. ඒ හිංදමද කොහෙද බොහොමයක් දෙනා පාර දිගේ යන අතර ඇබිංදකට හරි ගොඩ වෙලා බුලත් විටක් කාලා යන්න අමතක නොකරන්නේ. අපේ අප්පච්චි මොන තත්වයකදී වුණත් බුලත් විටෙහි ඇති අඩු වැඩිය අමතක කරන්නෙ නෑ. (ඇත්තටම මමත් බුලත් විට කන්නේ නෑ. ඒත් මේ බුලත් විටේ ඇති දේවල් නොවන ඊට පිටුපසින් දුවන කාරණා ගැන ඉඩ ඇති වෙලාවක ලියන්නයි හිතන්නෙ. )

ඇත්තටම මම ලියන්න හැදුව දේ ගැන ලියන්න පටන් ගන්නේ දැන් තමයි.

අපේ ගෙදර තියෙන්නේ වටේට ගස් ගොඩක් තියන තැනක කීවත් වරදක් නෑ. ඒ හංදම ගේ ඇතුලට
ගුලි ව ඉන්නවට වඩා අපි පුරුදු වෙලා තියෙන්නේ ගෙයින් පිට වාඩිවී ඉන්නයි. බොහොමයක් දෙනා ඇවිත් කතා බහ කරන්නෙ මේ ගස් පිසගෙන එන සුළං හමන මේ එලිපත්තේ තියන විවෘත පෝටිකෝව යටයි. දවසේ වැඩ අවසන් වුණාම පවුලේ හැමෝම මෙතනට ඇවිත් රාස්සිගේ අවුව බැහැලා වවුලන් පියාඹන තුරු කතා කරන්න පුරුද්දක් තිබුණා (හවසට වව්ලන් ගනන් කිරීමේ තරඟ ගැනත් පසුව කියන්න ඕන). සමහර දවසක ගමේ කවුරුන්හරිත් මෙතන හිටියා.

බොහොමයක් විට මට දැන් ගෙදර යන්න ලැබෙන්නේ දෙසති යකට වරක් වුණත් ඒ ගියාමත් අපි හවසට මෙතන ඉන්නෙ හරිම සැනසීමකින්.

පහු ගිය දවසක මම ගෙදර ගිය මොහොතක අම්මත් මමත් කතා බහක හිටියේ මෙන්නම මේ තැනයි. සාමාන්‍යයෙන් කලාතුරකින් දකින කඳුළු පුරවගත්ත ඇස් දෙකකින් අම්මා කතා කරන්න ගත්තා. (ඇත්තට ම අම්මලා අඩන්නේ නැතිද කඳුළු එන්නේ නැතිද කියන එක බොහොමයක් දරුවනට ඇතිට ප්‍රශ්නයක්. ඒ අම්මලා කඳුළු හංගන්න දක්‍ෂ නිසා වියයුතුයි)

හැබැයි එදා අම්මගේ ඇස්වල සැබෑම කඳුළු පිරවී තිබුණා. සාධාරණ හේතුවක් මටවත් ඒ ගැන හිතන්නට බැරි වුණ හංදා මම ඇහුවා මොකද අඬන්නේ කියලා. හේතුව ඇසුනාම තමයි මට දැනුනේ යම් පද පෙළකට කොයි තරම් සංවේදනයක් මිනිසකුගේ සිතේ ඇති කරන්න පුළුවන්ද කියලා.

අපේ අම්මගේ අම්මා (අපේ ආච්චි) මැරිලා වසර 30කට ආසන්නයි. එදා ඉදන් අද වෙනකම් නොයෙක් වෙලාවලදී අම්මට තමන්ගේ මව සිහි වෙන්න ඇති. හැබැයි ඒ කවරදාටත් වඩා අම්මාට මේ පද පෙළ අසා එදා හිත කම්පනය වී තුබුණා

අම්මාවරුනේ…
අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා……
ඒ කඳුළැලි පිසිනා

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ… අම්මාවරුනේ…
සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ


අපූර්වතම පද පෙළටම සරිලන සංගීතයත් හිත් තුල දෝංකාර දෙන නන්දා මාලිනියගේ භාවාත්මක ගැයුමත් අම්මාගේ හිත තමන්ගේ මව ගැන සිහි ව අතිශයින් කම්පා කරන්නට සමත් ව තිබුණා.
සැබැවින් ම දිවි ගමනේ මේ තරම් අත් දැකුම් ලැබ දරුවන් හදා වඩා උගෙන්වා උස් මහත් කර පරිණත වූ අම්මා, තමන්ගේ මවගේ අභාවයෙන් වසර 30කට පසු වුවත් මේ ගීතය ඇසීමෙන් මේ තරම් කම්පනයක් සිත තුල ඇති කරලීම ගීතයේ ඇති භාවමය ආශක්ත බැව් මොනවට කියා පාන බැව් මගේ හැඟුමයි.

Wednesday, March 7, 2012

වහින්නට හැකිනම් ගිගුම් දී


වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්...

‍රැ‍ඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුඩින් තුඩ
නෙලාගත හැකි වන මලක් වී...

නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබැ වන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී...



සාර සිතක පහල වූ සාර පද සංකල්පනාවක්!!! අපි හැම දෙනාගේම සිත් මොහොතකට හෝ කම්පනය කරන්නට පද පෙළ පමණක් වුවත් ප්‍රමාණවත් යැයි මට සිතෙනවා.

මේ තරම් තීව්ර පද පෙළක් සියුම් සංගීත පෙළහරකින් වර්ණවත් කල ඇති අපූරුව! අසන්න මොහොතක් වසින්නට පෙර ගිගුම් දෙන්නට සූදානම් වන අහස, වෙණ පෙළක වරුණ!

නන්දා මාලිනියගේ ගැයුම ගැන වැනුම් ඇවැසිද? ගීතයේ භාවයන් මේ යැයි ඇය අප වෙත කියා දෙන අයුර! දෑසම පියාගෙන අසන්න වරක් කුමක් සිතේද ඔබට අවසන! සිතේ නැංවෙන චිත්ත රූ පෙළ!

අගෙයි අගෙයි සැබැවින්ම විය හැකි නම් වරක් වත් එසේ කොතරම් සැනසුමක් දැනේවිද! නොවෙද අපට

Sunday, January 8, 2012

නුඹ එන තුරු

සිත් ගිම් නිවා
ආ මුදු පවන් රළ
සුවඳ වී අප ජීවිතේ
අරුණක් ව හැඟුමක්
සිනාසෙයි එනතුරා
පෙරමග අප වෙතේ


හද නැවුම් හැඟුමන් පිබිද විත්
නුඹ නැගෙන ආකහ වසා ලන්නට
හිරු සඳු තරුද මඟ බලා ඉන්නේ
නුඹේ පෙර මග සිනාසෙන්නට

ගහ කොළද පිණි පොද වැටී යයි
නුඹ පා පියුම් පොඩි දොවා ලන්නට
සිහින සුරඟන සිනාසෙයි
නුඹ හොවා තුරුලේ සනසවන්නට

Thursday, January 5, 2012

අනුන් හා තමුන් 1

කුඩා කල මා බොහොමයක් විට මං ලොකු වුණාම කවුරුන් වේදැයි මව්පියන් ගෙන් අසා ඇත්තෙමි. ඒ විට මට හැම විටකම ලැබුණු උත්තරය ඒ තරම් පොඩි එකෙකුගේ හිත් ඇද ගන්නා උත්තරයක් නොවුනු බැව් මගේ හැඟුමයි.

කියවන ඔබ පිලි ගත්තත් නොගත්තත් උත්තරය වුනේ අන් අයට කරදරයක් නොවන තමන්ටත් අන් අයටත් යහපතක් ම වන කෙනෙක් වනු බවයි. ඒ ගැන උත්තර කියන්න තාමත් බොහොම කල් වැඩි බැව් මගේ අදහසයි. මෙතන මට කියන්න අවැසි වුනේ මේ වදන් පෙළ ජීවිතයට කොයි තරම් සැනසීමක් ගෙන ආ දැයි කියායි.

ඒ කතාව මට මතකයට ආවේ පහු ගිය දවසක මිතුරකුගේ නිවසක දුටු සිදුවීමක් නිසයි. පොඩි උන් දෙන්නෙකුගේ අනාගතය දෙමව්පියන් විසින් තීරණය කිරීම කොයි තරම් සාධාරණ දැයි කියන දේ කෙසේ වෙතත් අවුරුදු දෙක හමාරේ පුංචි උන්ටත් නිදහසේ ඉන්න නොහැරීම ගැන නම් මට ඇත්තේ අකමැත්තක්. තාක්‍ෂණය තව දුරටත් මහා විසාල බාධාවක් නොවන නගර අතරමැදි නගරවල දිවි ගෙවන පුංචි වුන්ට තමන්ගේ මව්පියන්ගේ කාර්‍යබහුල දින දසුනේ හිමි වන තැන සීමා වීමේ ප්‍රතිඵල ගැන තවමත් කියන්නට කල් මදි කියලයි හිතෙන්නේ.

ඉතින් මේ ගෙදර පුංචි උන් දෙන්නා රණ්ඩු වුණා ලොකු වුණාම කවුරු වෙනවද කියන එක ගැන. දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් පුංචි උන් දෙන්නා උසි ගන්වුවා අරයට වඩා මම ඉහලට යන්න ඕන කියන දේ කියලා. මේක සම්‍යක් ප්‍රයෝගයක් විදිහටත් අපිට ගන්නට හැකියි.

නමුත් පහුගිය සතියේ මේ දරුවන් දෙන්නා හම්බ වුන වෙලාවේ මට කියුවේ අනිත් අයගේ වැරදි රැසක්. තමන්ගේ පංතියේ යාළුවන් ගේ ඉඳන් අම්මා තාත්තා වෙනකම් ම වැරදි ගොඩාක් මාත් එක්ක කියවන් ගියා. යම් අයෙක් බොහෝ විට අන් අයගේ වැරදිම අපත් එක්ක කතා කරන්නේ තමන්ගේ යම් දෙයක් උළුප්පන්න කියන දේ මම විශ්වාස කරන දෙයක්.

ඉතින් නොදැනීම අපට මේ සමාජයේ බොහොමයක් තැන හමුවන මෙවන් අහිංසක මිනිසුන්ගේ හිත් මට්ටමටම මේ දරුවනුත් ඇද දැමීමේ වගකීම දෙමාපියන් ගත යුතුයි කියායි මට හිතුනේ.

ඒ හැම දේටමත් වඩා ඉදිරි කාලය තුල ලෝකය තුල අන් අය දෙස තරඟකාරිත්වයෙන් නොබලන්නට දරුවන්ට කියා දීම වැදගත් කියායි මම හිතන්නේ. ඒ තුලින් දරුවාගේ හිත් තුල ඇති කරන සැනසීමෙන් දරුවා තම ගමන් මග තනා ගනීවි. උගෙනීවි ලෝකය දෙස ධනාත්මක ව බලන්නට.

බොහොමයකට බොහෝ අදහස් ඇති! මේ මගේ අදහසයි......................