Sunday, July 22, 2012

පෙරහැර එනවා


මේ ගීතය අපේ ගීත සාහිත්‍යතුල පෙරහැර ගැන කෙරුණු නිර්දය විවේචනයක් ලෙස මා දකිනවා. නමුත් එහි ඇති අරුමය ගීතය අසා අවසන්වන විට අප සිත් තුල පෙරහැර ගැන ඇති වන ක්‍රෝධයක් නොවන පහන් සංවේගයයි.  පෙරහැරක් දැක ඇති ඕනෑම අයෙකු පෙරහර ගීතය ඇසූ පසු සිතට නැගෙන අදහස් ගොනුකලහොත් එවැන්නක් සිතේයැයි මගේ අදහසයි. 


අපහාසය නොවන ලෙස උපහාසය භාවිතයේ සුනිල් ආරියරත්නයන්ගේ ඇති විරල දක්‍ෂතාවය  අපූර්වතම නිමැවුම් තුලින් ගීතය පුරාවට දැකිය හැකියි. එසේ වුවද පෙරහැර නවතිනු නොහේ. එය ඉදිරියටත් පැවතිය යුතුය. සමාජයේ ඇති අවශ්‍යතාවයන් ඉටු කිරීම පිණිස සමාජය විසින්ම සාදාගත් ක්‍රමවේදය තුලින්ම ඒ සමාජයේ තම පැවැත්ම තහවුරු කරගැනීමේ අසීරු ගමන පෙරහර ගීතය තුලින් කියාපාන බැව් මට සිතෙයි.

නන්දා මාලිනිය ගීතයට පෙරවදනක් සපයනවා! පෙරහරක් තුල ඇති දුක් සුසුම් ගොඩක් කියලා! පෙරහරක අප නොදුටු පැත්තක් නොදුටු අරුතක් අපට මේ ගීතය කියා දෙනවා. එහි පද පෙළ ගැන වැනුම අවැසි නොවන බැව් ගීතය බලන අයෙකුට පෙනේවි. මන්ද මා ගීතයක දකින අතිශය විරල ගුණයක් මෙයින් දකින නිසාවෙනුයි.


මෙහි පදපෙළ කියවන්නෙකුට වුවත් තමන් පෙරහර තුල සිටින බැව් හැඟේවි.  පෙරහර පුරාම පැවතෙන රිද්මය සහ හඬ රෝහණ වීරසිංහයන් මතු කර තිබෙන අයුරු අපූරුයි. ඒ රිද්මය පමණක් ඇසූ අයෙකුට වුවත් තමන් පෙරහරක සිටින බැව් හැඟේවි. නන්දා මාලිනියගේ ගැයුම පමණක් ගත් කල වුවත් එහි ඇති රිද්මය පෙරහරම බැව් දැනේවි. ඉදින් මෙය අගේ ඇති නිර්මාණයක් ම නොවේද?

මේ කතා කල දැයින පරිබාහිර ව ඇති වැදගත්ම කරුණ ලෙස මා දකින්නේ නිර්මාණකරුවකු පද රචකයකු ලෙස අයෙකුට යම් සමාජ සංසිද්ධියක් දෙස කෙතරම් කෝණ ප්‍රමාණයකින් බැලිය හැකි යන වගයි. ඒ බැව් වටහාගන්නට මේ ගීතය ඉඩ සලසා දෙන අයුරු අගෙයි.  සාමාන්‍ය ජනයාට කියා ගන්නට අවැසි ඔව්න් දන්නා දහසක් දෑ සමාජයට, පාලකයනට කියා ගන්නට නිර්මාණය පහුරක් වූ අයුරු අප නන්දා මාලිනියගේ යුගයක ගීත තුලින් අත් දකින්නක්.  නමුත් මෙවන් ගීයක ගැයෙන දෑ තුලින් වෛරයකට වඩා සමාජය කෙරේ සංවේදී වන්නට උගැන්ම එහි ඇති අනන්‍ය ලකුණක් බැව් නොකිවමනැයි. ඉතින් සමාජයේ නෙක දෑ ගැන වඩාත් විමසිල්ලෙන් බලන්නකුට මෙවන් නිර්මාණ සඳහා වස්තු බීජ අපමණ සෙවිය හැකි නොවේද? එවන් දෑ අරමුණු කරගත් නිර්මාණයන් තුලින් සමාජය වඩාත් යහපත් තැනක් කරන්නට හැකි වන්නේ නොවේද? නමුත් කණගාටුවකට මෙන් එවන් නිර්මාණකරුවන් පද රචකයින් සහ ගැයුම් අපට දක්නට නොලැබේ. එයට ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුල ඇති ඉඩද ප්‍රශ්නකාරී වීමද හේතු විය හැකියි. නමුත් උත්සාහයක්වත්..............

පෙරහැර එනවා කස පුපුරනවා
හේවිසි නද පතුරනවා
කස කරුවන්ගේ දහදිය මුගුරින් පාවඩ මග අතුරනවා

යදමින් බැදි ඇතු අසීරු ගමනින් හෙමිහිට පාද තබන්නේ
යන ගමනේ ඉම දක ගනු රිසියෙනි ඇත් ගොවුවන් ගාටන්නේ
ගුරුන්ගේ අණටයි නිදි මත දරු කැල කළ ගෙඩි අරගෙන එන්නේ
පන්තේරුව බොල් පින්නෙන් නැහැවී දෑතට දියවී යන්නේ.

පාර දෙපැත්තේ පොඩි මිනිසුන් දෙස නිලමේවරු නොබලන්නේ
රජ සිටු මැතිවරු නරඹන තැන්වල නිලමේවරු නවතින්නේ
එතැනදි වැයුමේ රිද්මය වැඩිවී හොද හොද නැටුම් පෙනෙන්නේ
එලි අඩු පන්දම් තෙල් නැති පන්දම් තෙල් ගල්වා දල්වන්නේ .

හිතේ වේගයට හේවිසි හොරැණා තම්මැට්ටම් අඩවන්නේ
මාලක්කම් මැද වෙස් නළුවන්ගේ පීඩිත මුහුණු පෙනෙන්නේ
අඹුදරුවන්ගේ කුස් පුරවන්නයි වන්නම් තාල ගයන්නේ
වේල දෙවේලට අත සරුවෙන්නයි කොහොඹ කළේ නටවන්නේ
  

අසන්න මෙතැනින්

http://www.youtube.com/watch?v=GdCETflDD7g

No comments:

Post a Comment

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!