Thursday, February 6, 2014

පියෙකුගේ එක් දිනක පසුවදනක්!


අහස පාළු වෙලා ගිහිං
සඳ කොහේද යන්න ගිහිං
දුව බලනා තුරු හොරැහිං 
තරු මිතුරනි බලා ඉඳිං

සඳයි තරුයි බැස අහසිං
නුඹ ඇඳ වටකර සිටිමිං
සුරඟන පිරිවර සමගිං
නිදි කරවයි නුඹ සිහිනෙං 

සුළඟ සිහිල සැඟව ගොහිං
ගහද කොළද හා සමගිං
යහළු කුහුඹු රළ අවුදිං
දුව එනතුරු බලා ඉඳිං 

උදා මහීකත සිඹිමිං
පා පොඩි යුග අවුදිනකං
මිරිවැඩි සඟලත් අවුදිං
බලා හිඳී නුඹ එනකං

බෝනික්කෝ දෑස් පියං
මුළු රැයක්ම විවර කරං
උදා හිරු කිරණ එනකං
බලා හිඳී කල් මනිමිං

වැඩ ඇරිලා මං එනකං
දෑස් පියන් පත් රිදවං
බලාඉඳං නුඹ නිදියං
දුක් කවි මා කියමි ඉතිං

හෙට උදේම අවදි වෙයං
මා පිටවන්නට කලියෙං
නුඹ මුව දැකගනු රිසියෙං 
නොනිදමි හෙට එළිවෙනකං

බෝනික්කං කූඹිත්තං
හිරු සඳු තරු  සිහිල් සුළං
ලෝකේ සොඳුරුම මිතුරං
බලාගනියි නුඹ සතොසිං

No comments:

Post a Comment

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!