එය තවත් එක් උදෑසනක්! හරියටම උදේ දහය පසු වන්නට ඇති. බොහෝ දෙනා තමන්ගේ එදිනෙදා කටයුතු කඩිමුඩියේ ඉටුකර ගන්නා මේ වෙලාව රාජකාරියට පැමිණි කිසිවකුට නැවතිය හැකි වේලාවක් නොවන බැව් මහ මග වේගයෙන් ගමන් කළ මොටෝරථ පසක් කලා. කුරුල්ලන් වටපිට බලමින් පියාඹා ගියේ සුදු හැඳි විසල් පිරිසක් යම් තැනක් වෙත ගාටනු බලමින් විය යුතුයි. සිනහවක් නොමැති ව එක එල්ලයක ගමන් කරන මුහුණු පෙළ දුටු අයෙකුට මේ හැම දෙනාටම සිදුව ඇත්තේ කුමක් දැයි සිතෙන්නට ඇති. හැබැවින්ම ඒ තරමටම මුහුණු පෙළෙහි ඇති හැම මුහුණකම පිටුපස හිඳි හිත් එකම හැඟුමකින් පෙළෙන්නට තරම් බලපෑ කරුණ කුමක්දැයි අයෙකුට කියා දීම පහසු නොවෙයි.
ඒ අපේ හිතවත් සහෘදයකුගේ සදාකාලික නික්ම යාම සනිටුහන් වූ මොහොතක්.
හැබැයි, ඔහු සැබැවින්ම මට වඩා වසර ගණනාවකට වඩා වැඩි මහළු සගයෙක්. මගේ පියාටත් වඩා වැඩිමහළු ඔහුත් මාත් අතර පරපුර ගණනක් පරතරයක් තිබුණු බැව් තවමත් නොදැනෙන්නක්. ඒ ඔහු කලාතුරකින් ඇසුරු කරන්නට ලැෙබන විරල මිනිසෙක් නිසාවෙන්.
රැඩ්ලි මට පලමුව හමු වන්නේ මීට සය වසරකට කලින්. ඔහු අපේ ආයතනයේ පරිපාලන ප්‍රධානියා. ඔහු දරදඬු අයෙකුයැයි මම මුලින් හිතා හිටියත් වසරක් දෙකක් තුල ඔහු තුල ඉන්නා සැබෑ මිනිසා හැඳින ගන්නට ලැබුණු බවයි මගේ අදහස. එතැන් පටන් මේ වසර පටන්ගන්න තුරාවට අප එකට දවල්ට කෑම ගන්නට හැම දාකම එකතු වන්නට ලැබුණා. රැඩ්ලිගේ යුග ගණනක අදහස් මේ කාලයේ අපි සමග බෙදාගන්නට ඔහු හැම දාම ආසා කලා. ඔහුගේ විශේෂ ලකුණ නම් තමන්ට වඩා පරපුර ගණකට පසු බිහි වූ අපි එක්කත් අපේ අදහස් එක්කත් එකතු වෙන්නට තිබුණු හැකියාව. මුලින් දරදඬු යැයි සිතන ඕනෑම අයෙක් රැඩ්ලි එක්ක මිතුරු වන්නේ ඒ නිසයි.
ඇත්තටම ඔහු නොවන්නට මගේ ජීවිත ගමන වෙනස්ම මගක් ගන්නට තිබුණා. දෙවරක් ම අස්වීමේ ලිවුම රැඩ්ලිගේ අතරම දුන්නු මම වෙනත රස්සාවකට යන බව ඔහුට කියුවේ මම ආයතනයට ඇවිත් මසක් ඇතුලතදියි. මඳ සිනහවක් නැගූ ඔහු "හොඳට හිතල බලන්න" කියුවා හැරුණු විට වෙන දෙයක් කීවේ නෑ. දවස් දෙකකින් ඒ ලියුම් දෙකම අතට දී "හොඳ තීරණයක් ගත්තේ" කියා කියුවේ සැබෑම අව්‍යාජ අවංක අදහසකින් බව මට තේරෙන්ෙන් කාලයක් ගතවූ පසුවයි.
මිනිසුන් ජීවිතයේ හමු වෙන්නේ හේතුවකට, කාලයකට හෝ ජීවිත කාලයට කියා තිබෙන්නක්. සැබැවින්ම රැඩ්ලි ජීවිත ගමනේ හේතුවකට එක් කාලයක හමු වූ අපූරුම ගමන් සගයෙක්! වැඩිහිටියෙක් ප්‍රධානියෙක් විදිහට ඔහු විවිධ භූමිකාවන් හි කටයුතු කලත් මම ඔහුට සගයෙක් කියන්නට කැමති වෙන්ෙන් ඇත්තටම ඔහු සගයෙක් වුණ නිසයි. බලාපොරොත්තු විය නොහැකි තරම් අව්‍යාජ ඔහුගෙන් උගත් දේ ඔහු නිසා ලැබූ සතුට ඔහු හා ගත කල කාලය හැබෑවටම අපූරුයි.
අද උදෑසන... කාලය වේගයෙන් ගමන් කරන්නට වූ ඒ මොහොතේ ඔහුගේ පණසුන් සිරුර පොළව තුල තැම්පත් වුණා. එතැන හිටි හැම මුහුණකින් ම දකින්නට ලැබුණු හිත් වේදනාවේ ලකුණු වලින් හැම හිතකම ඔහුගේ මතකයන් කොතෙක් මුල් බැස තිබේදැයි කියා පෑවා. එතැන සිටි බොහෝදෙනකුගේ දෙනෙතින් වට කඳුළු බිඳිති වලින් තෙත් වූ පස් වලින් ඔහු කෙමෙන් කෙමෙන් වැසී ගියා. හිත් තුල දුකත් පාළුවත් තවරාගත් මිනිසුන් පිරිස දෙස අවට ගහ කොළ නිහඬව බලා හිටියා.
හිතවත් රැඩ්ලි
හෙට උදෑසන ඉඳන් කතා කරන්නට හිනා වෙන්නට වාද කරන්නට ඔබ අප ළඟ නැතත් ඔබ ලබා දුන්නු මතකය අමතක නොවන වටිනා එකක් බව සහතිකයි.
ඇත්තටම ඔහු හොඳ මනුස්සයෙක් වෙන්න ඇති. මෙහෙම ලියන්න ඔබට හිතෙන්න ඇත්තෙ ඒ හිංද වෙන්න ඇති
ReplyDeleteරැඩ්ලි,
ReplyDeleteඅපි ඔයාගෙන් දෙයක් අහන්න යනකොට...ඔයා අපිත් එක්ක කතා කරන කොට..නැත්නම් අපිට කොහොමද කියල අහනකොට හැම තිස්සෙම ඔයාගෙ මූනේ හිනාවක් ඇඳිල තිබුනා...
ඔයා අපි හැමෝම දාලා තනියම කළුපාට පෙට්ටියක් ඇතුලෙ පස් අතර හැංගෙන්න යනකොටත් ඔයාගේ පුරුදු හිනාවෙන්ම මූන පුරවගෙන යන්න හිතුවෙ ඇයි රැඩ්ලි...?
සචිනි.
තමන්ට මග පෙන්වූවකු වෙනුවෙන් ලියැවුනු අතිශය සංවේදී සටහනක් බෙදා ගත්තාට ස්තුතියි..
ReplyDeleteBeauty of the nature, tasty foods, music, and sexual pleasure are the most wonderful things to be experience in this world. They help us to forget that we are getting old day by day, become sick and unconditional perish.
ReplyDeletehttps://docs.google.com/file/d/0ByGb8LNu1IpqT0JVak15VzY2dU0/edit?usp=sharing
Thanks all
ReplyDelete@Chaminida Good doc thanks
:)