Thursday, February 21, 2013

පුරෝහිත පින්නට තෙමුණත් මොකද?

දවසක් එක රජ කෙනෙක් තමන්ගේ රට තව විශාල කරගන්න හිතාෙගන අල්ලපු රට අල්ලන්න ඕන කියලා හිතුවා.ඒ තීරණය ගත්තු රජතුමා මහ විසාල සේනාවක් ලෑස්ති කලා. රටේ හැම ගෙදරකින්ම අයෙක් ඊට සම්බන්ධ වුණා.

රටම යුද්ධයට ලක ලැහැස්ති වෙනවා. ඒ යුද්ධය ගැනත් ඉන් ලැබෙන ප්‍රතිලාභ ගැනත් රට පුරාම ප්‍රචාරය. මේ අතර යුද්ධ කරන්න දවසින් දවස ළං වෙනවා. මේ අතර දවසක් උදේ රජතුමා තමන්ගෙ කාමරයෙන් එළිය බලනවා. දකින්නේ කුතුහලය මතුවෙන දෙයක්.

තමන්ගේ අග්‍ර පුරෝහිත තැන උදේ පින්නේ තෙමීගෙන සොටු හූරමින් උයනේ ගහක අත්තක් දිහා බලන් ඉන්නවා.

ඔහොම දවස් දෙකක් තුනක් ම උදේ පාන්දර මේ සිද්ධිය දකින රජතුමා එක දවසක පුරෝහිත ළඟට ගිහින් අහනවා...

"පුරෝහිත තමුන් මොනවද හැමදාම මේ උදේ පාන්දර ගහක අත්තක් දිහා බලන් ඉන්නේ?" කියලා

පුරෝහිත මෙන්න මෙහෙම උත්තර දෙනවා.

"රජතුමනි අර පේන ගහේ අත්තේ පුංචි කුරුළු පැටවු ටිකක් ඉන්නවා.  කුරුළු අම්මා ඒ අත්තේ ඉන්න සත්තු අල්ලගන්නේ නැතිව එහා ගහේ සත්තු අල්ලන්න යනවා. හැබැයි ඌ දන්නෙ නෑ ඌ එහෙ මෙහෙ වෙනකන් ඉඳලා කුරුළු පැටවු කන්න සර්පයෙක් ගහේ කඳ දිගේ බඩගාන බව. හැබයි ගහේ කඳ දිගේ බඩගාන සර්පයා දන්නෙත් නෑ ඌ අත්ත උඩට එනකන් උකුස්සෙක් එහා ගහේ බලං ඉන්න බව ඔන්න ඔය සිද්ධිය තමයි මම බලන් උන්ෙන්"

මේක අහපු රජතුමා වහාම තමන්ගේ තීරණය අහෝසි කරනවා. අනිත් රට අල්ලගන්නවා වෙනුවට තමන්ගේ රට දියුණු කරන්න පටන් ගන්නවා.

දැන් කාට හෝ හිතෙන්න පුළුවන් මේ කතාව ලියන්නෙ අැයි කියලා? පහුගිය මාසය දෙක පුරාවටම මුහුණු පොතෙත් වට පිටාවෙත් අාගම් ගැන කතා වෙන සම්ප්‍රප්පලාප වලින් හෙම්බත් වෙලා යමක් තේරෙනවානම් තේරුම් ගන්න කැමති අවැසි හිස් ගෙඩිය හිස් නොවූ මොළයක් ඇති මිතුරු මිතුරියන් වෙනුවෙන් මේ කතාව ලියන්න හිතුවා. කැමතිනම් බෙදා ගන්න රිසි අයෙක් සමග.

ප.ලි. මේ කතාව මගේ නිර්මාණයක් නොවෙයි. මේක පරණ චීන උපමා කතාවක්. මම පොඩ්ඩක් හරිගස්සගත්තා අපේ අද දවසේ සිදුවීම් වලට.

හැබෑවටම නුවණැති පුරෝහිතයන් ඉන්නතාක් රජවරුත් රටත් රැකෙන බව නම් මේ කතාවෙන් මොනවට පෙනෙනවා. ........!








3 comments:

  1. මේකනම් ඇත්ත කතාව අයියේ...අන්තිමට අපිට වෙන්නේ අපේ දේත් නැති වෙන එක...

    ReplyDelete
  2. පට්ට රසයක් ගත්තේ

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!