Friday, January 18, 2013

හිතවත අපට සමාවෙයන්!

සතියේ රාජකාරි දිනක් නිසාවෙන් පාරේ වාහන එකිනෙකා පරයමින් දුවන්නට වෙරදරන හැන්දෑවක් බවට එදා පත් ව තිබුණා. අළුත් පාලම ළඟ  එක් පෙළට දිවයන නවීන පන්නයේ මෝටර් රථ ජීප් රථ අතර කඩිනමින් මග සොයන මෝටර් බයිසිකලත් මහමග එකම කලබලයක් කරමින් ගමන් කරන මගී බස්රථත් යම් කටයුතු වලට පැමිණි ලොරි රථ වැනි විසල් වාහනත් එක මග ගමන් ගනිමින් තිබුණා. එකම මිනිස් පවුලේ සාමාජිකයින් වුවත් තම තමන්ට හැකි පමණ පහසු ලෙසින් ගමන්පහසුව සකසා ගැනීම ගැන දැකිය හැකි හොඳම උදාහරණයක් ලෙස එය ගත හැකි බැව් මගේ අදහසයි. එසේ වුද සුවපහසු මෝටර් රථයක වුවත් සෙනග පිරී තෙරපීයන බස් රථයක වුවත් ගමන් කරන්නේ එකම මිනිස් පවුලක සාමාජිකයින් නොවේදැයි අයෙකුට හිතෙන තරමට පරතරයක් සමාජය විසින් ඇති කර තිබෙන බව පෙනුනේ බස්රථයන්ට ගොඩ වීමට වෙරදරන මිනිසුන් තනි මිනිසකු ගමන් කරන මෝටර් රථ දෙස බලාපොරොත්තු සහගත බැල්මෙන් බලනු දැකුමෙන්.  සැබැවින්ම මිනිසුන් තම දහඩිය මහන්සියෙන් ලබා ගන්නා දේ ගැන තෘප්තිමත් වීම සහ ලබා ගතයුතු දේ ගැන ඇති බලාෙපාරොත්තු හැම දෙනාවම මේ එදිනෙදා ජීවත් වීමේ අරගලය වෙත ගෙන යනවා ඇති.  ඒ ගැන කතා කරන්න අද වේලාව නොවන හින්දා මම සිදුවීම ගැන ලියන්න හිතනවා.

මගේ රථයත් මේ ගමන් රථ පෙළ අතර හිරවෙලා සෙමින් ගමන් කරන ඉබ්බෙකු වගේ ඉදිරියට ඇදුණා. මේ අතරේ පාරේ එක් කොනක හිටි අයෙක් දෙස මා බැලුවේ එතරම් ඕනෑකමකින් නොවෙයි. ඒ නමුත් ඉරි සරමකින් සහ සුදු ෂර්ටයකින් සැරහී එක් අතක ෂොපින් බෑගයක් සහ අනික් අතේ කුඩා දැරියක් එල්ලාගෙන සිටි  ඔහු තම දියණිය සමග පාර පනින්නට දරණ උත්සාහය නිසා මම ඒ දෙස බලා සිටින්නට ඇති.  කහ ඉරක් නුදුරු මානයක නොවූවත් කුඩා දරුවාත් සමග මේ නොනවතින රථ පෙළ හරහා යන්නට ඔහුගේ ඇති බලාපොරොත්තුව අත් නොහලේ කඩිනමින් නිවසට යන උවමනාවෙන් වෙන්නට ඇති.  විටින් විට මගට බසිමින් දරුවා අල්ලාගත් දෑත දැඩි කරගනිමින් පාර පනින්නට මේ දෙදෙනා උත්සහ කලා. එක් වාහනයක් ඒ දෙදෙනාට ඉඩ දෙමින් නැවතුවේ මේ අරගලය දැකලා විය යුතුයි. ඉක්මනින් කාලය ගතවන රාත්‍රියේ තමන්ට වගේම පාරේ යන හැම දෙනාටම ගෙදර යන්නට ඇති උවමනාව ගැන සංවේදී විය හැකි මිනිසකු ඒ වාහනය පදවන්නට ඇති.

ඔහු දෙස අහිංසක ස්තූතිකරන බැල්මක් හෙලමින් පියා කුඩා දැරියත් අතින් ගෙන ඉක්මනින් පාර හරහා දුවන්නට වූයේ හැම රියදුරකුටම එසේ සංවේදීවිය නොහැකි බැව් දත් නිසා වෙන්නට ඇති.  ඔව්න් පාරේ මැදට එනවාත් සමග වුෙණ් ජීවිතයේ සැබෑ ස්වභාවය ගැන පහදන සිදුවීමක්. ඔහුගේ අත තිබුණු ෂොපින් බෑගය කඩා වැටී තිබුණේ පාර පුරාවට යම් ඇට වර්ගයක් විසිරුවමින්.  වහාම තම දරුවාව පාර මැද කොංක්‍රීට් තීරුව මත තැබූ පියා පාර මැදට විත්ඒ ඇට එකතු කරන්නට වුණේ තමන්ගේ හිස මතින් වාහන ගියත් කම් නැතැයි කියා විය යුතුයි. ඇත්තටම මුංඇටහෝ කව්පි වැනි ඇටවර්ගයකින් කිලෝ එකක ප්‍රමාණයක් පාර පුරා එකතු කරන්නට උත්සහ කරන්නටඒ තරම් පහසු නෑ. පසු පසින් නොනවත්වා වාහන නලා ශබ්ද වෙන්නට පටන් ගත්තත් ඉදිරි පෙළ වාහන සියල්ලම නවතා තිබුණේ ඔහුට ඇති තරම් කාලය ගෙන ඒ කටයුත්ත කරන්නට ඉඩ දෙමින්. විටින් විට ඇඬුම්බර මුහුනින් සිටි තම දියණිය සනසන බැලුම් හෙලමින් ඔහු ඒ අැට වර්ගය බෑගයට එකතු කරමින් සිටියා. මේ මොහොතේ ඔහුට උදවුවට පැමිණි පාර අසල සිටි තවත් අයෙක් පාරේ දූවිලි සමග දෝතින් එකතු කරගත් ඇට මල්ලට දැම්මා.  මේ කටයුත්ත විනාඩි දෙකක් තුනක් පමණ සිදු වෙන්නට ඇති.

අවසානයේ ඔහු තමන් වෙනුවෙන් නවතා සිටි වාහන දෙස අතිශය ගෞරවයකින් බැලුවා. එහි තිබූ කෘතඥබව කියන පණිවිඩය අහිංසකව ඉදිරියට මතුව පෙණුනා. ඉන් පසු හේ වහාම එකතු කරගත් ෂොපින් බෑගය ගෙන තම දරුවා වෙත ඉක්මනින් ගමන් කලා.

රාත්‍රියේ නිවසට යන රියදුරන්ටත් බස් රියදුරන්ටත් විනාඩියක් යනු කොයි තරම් පමාවක් දැයි කිවයුතු නොවෙයි.මේ මොහොතේ ඉදිරි පෙළ රථයන් හි උන් රියදුරන්ගේ ඉවසීමට හේතුව මේ දසුනේ ඇති සංවේදී බවයැයි මට හිතුණා. 

 සියයක වැනි මුදලකට ගත හැකි මේ ධාන්‍ය කිලෝව ගැන මේ තරම් කරදර වන්නට ඔහුව පෙළඹූ හේතූන් කුමක් විය හැකිද? නිසැකවම ආයෙත් වියදම් කරන්නට ඇති නොහැකියාවයි. ඒ නිසා තමන්ගේ දරුවාත් අතක අල්ලාගෙන පාර මැදක මෙවැන්නක් සිදු කරන්නට ඔහුට සිදු වෙයි. ඒ දැක සංවේදීව තම  වාහන එතැන නවතා සිටින්නට තරම් ඉවසීමක් තිබූ අතලොස්සක් පමණවත් මිනිසුන් පෙළක් සිටි නිසා ඔහුට තරමක් හෝ අස්වැසිල්ලක් ලැබෙන්නට ඇති.


ඇත්තටම මෙයට සංවේදීවිය යුත්තේ ඇයි? මේ කතාව මගේ මිතුරන් පිරිසක් හා කියූවිට කිහිප දෙනෙක් කියූ කතා දැක ඉහත කොටසත් ලිවිය යුතු යැයි හිතුණා. අයෙකුගේ පිලිතුර වූයේ අප පමණට වඩා මේ අන් මිනිසුන්ගේ දේ ගැන හිතන බවයි. තවත් අයෙකු එසේ සිතීම සහ නවතතබාගෙන උන් රියදුරන්ගේ ඇති මෝඩ කම ගැන පවසා සිටියා. තවත් අයෙක් කියා සිටියේ වාහන රැසක් කඩිනමින් යන මේවැනි තැනක පාර පැනීම නිසා මොහුට වෙච්ච දේ හොඳවැඩේ යැයි කියායි.  කිහිපදෙනකු පමණක් ඒ රියදුරන්ගේ ඉවසීම අගය කලා.

වසර දහස්ගණනක සිට අාගමින් දහමින් පෝෂණය වී යැයි කියන උදෑසට සිට රාත්‍රිය තෙක් බණ කියන රටක එයටත් වඩා මහත් ඕනෑකමින් රටේ තොටේ බොහෝ කටයුතු දෑ ගැන සංවේදී වන අපි ගැන වැඩි දුරටත් සිතිය යුතු බැව් එ් අදහස් අසන මට හිතුණා.  තමන්ගේ මඩිය තදවී තිබේ නම් අන් අයගේ කටයුතු ගැන සිතීම අවශ්‍යදැයි හිතන තරමටම සමාජය විසින් අපට වෙස්මුහුණු පැළඳ තිබේද? ඔබ මෝටර් රථයක නොව බසයක නැෙතාත් ඒ මොහොතේ පාර අයිනේ හිටියානම් හිතන දෙය සහ කරන දෙය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණාද? තමන්ගේ මෝටර් රථයන් හි ගමන් කරන මිනිසුන්  සහ අන් මිනිසුන් අතරත්, මෙවන් සිදුවීමකදී අතහැර දමා අළුතින් ධාන්‍ය ගන්නට මුදල් ඇති මිනිසුන් හා නැති මිනිසුන් අතරත් ලෙසින් අප අතර වෙනස් කමක් තිබෙයිද? මට දැෙනන ලෙස කටුක සත්‍යය එය එසේ බවයි.  අවාසනාවනම් බොහෝ දෙනාට අන් අය ගැන සංවේදී වීමට ඇති හැකියාව මේ ධනය බලය සහ තමන්ගේ මට්ටම සමග ගැටුමක් ඇති කර හීනවී යාමයි.  ඉතින් සමාජය ලෙසින් ගත් කල මිනිසුන් පදිකයන් වීම රියදුරන් වීමට වඩා හොඳයැයි අයෙකුට සිතිය හැකියි. මේ එක් උදාහරණයක් පමණක් වුවත් සමාජයේ සියලු තැන්හිදී මෙය සිදු වන බැව් දැකිය හැකියි.  ඉතින් මෙවන් තත්වයක හිඳ හැම දෙනාගැන සංවේදී වන විනයැති සමාජයක් ගැන කතා කිරීම කොයි තරම් අපහසු දැයි කිව යුතු නොෙහ්.

අප දියුණු සංස්කෘතියකින් පෝෂණය ලබන විට ම්ලේඡයින් මෙන් සිටි සමහර ජාතීන් අද අප පසු කර ඉදිරියට යෑමත් ඔව්නගේ විනය හර පද්ධති ගැන අපට කතා කරන්නට සිදුවීමත් පුදුම සහගත කරුණක් බැව් තවත් මිතුරකු මා සමග කියා සිටියා.  ඇත්තටම අපූරු ගැටළුවක් අපට කොහේ හෝ වැරදී ඇතිදැයි ඔහු නැවත ප්‍රශ්න කලා.

නැවත මුල්කතාවට යමු, මේ සිදුවීම ඇසින් දුටු මා හට ඔහුගේ උදව්වට යාමට නොහැකිවීම ගැන මම කණගාටුවට පත් වුණා. මම රථ පෙළක මෝටර් රථයක රියදුරු අසුනේ නොව මහමග පදිකයකුවී සිටියා නම් දෙවරක් නොසිතාම උදව් කරන්නට තිබූ බැව් මා දන්නා දෙයක්. ඉතින් මා මෙම ලිපිය "හිතවත අපට සමාවෙයන්!" ලෙස නම් කලා. මම මේ ලිපිය ලියන බැව් ඇසූ කිහිප දෙනෙක් අවඥාවින් සිනාසුන අතර තවත් කිහිප ෙදනෙක් ආදරයෙන් මා දෙස බලා සිටියා. මා වෙත පැමිණි එක් අයෙක් අනිවාර්යයෙන් ලියපන් යැයි කොඳුරා ගියා. මනුෂ්‍යත්වයේ කෙඳිරීමක් ඒ හඬ තුලින් ඇසුනායැයි අයෙකුට සිතිය හැකියි!

4 comments:

  1. ඔන්න මමනම් සමාව දුන්න මචං

    ReplyDelete
  2. මිනිස්සු කතා කරද්දී නම් බෝධි සත්ත්වයෝ...හැබැයි හැබෑ ජිවිතේ හැසිරෙන්නේ හැඟීම් දැනීම් නැති උන් වගේ!

    ReplyDelete
  3. ඔබ හිතපු විදිය හරියටම හරි. මටත් හරි පුදුමයි උදේ හවස බණ කියන බණ අහන ජාතියක් අනුන්ගේ අනුන්ගේ දුකකදී පොඩ්ඩක්වත් සංවේදී නොවී හැසිරෙන විදිය ගැන. මම දැනට ජීවත් වෙන්නේ ලංකාවේ නෙවෙයි. ආගම් ඉස්සරහට දාගෙන කැගැහුවේ නැතිවුනාට මේ රටවල මිනිස්සු අපේ අයට වඩා අනුන්ගේ දුක ගැන අයිතීන් ගැන හරිම සංවේදියි.

    ReplyDelete
  4. ස්තූතියි මිතුරනි! ඇත්තටම අපේ පාර තොට බැහැලා එක තැනක හිටගෙන මොහොතක් බලන් හිටියොත් පෙනෙනවා මිනිසුන් කොයිතරම් නොඉවසිලිමත්ද කියලා! තේරුම් ගන්න ඒ තරමු පහසු නෑ. ඔබ කියන්නා වාගේ අනිත් රටවල මිනිස්සුන් අපි තරම් සංවේදී නෑ කියන එකත් අපි අපිවම රවටගැනීමක් වගෙයි!

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!