Saturday, November 17, 2012

වැනසීමෙන් සැනසීම - අපේ ගීතය


සටහන : මුහුණු පොතේ රනිල් මුදුන්කොටුව සොයුරාගේ නන්දා මාලිනී ගීත එකතුවේ සටහන් වූ කරුණක් නිසාවෙන් ලැයැවුණු සටහනක්.  පහත දැක්වෙන දිගුව තුල අප දන්නා අපූර්ව ගීයක් සම්පූර්ණ වෙනස්කර අන් අයකු විසින් කල ගැයුමක් එයට හේතු පාඨ වුණා. එය වඩාත් තීව්ර වුණේ  මේ ගායනා කරන්නේ කසුන් කල්හාර බැව් කතාවීමයි.

https://www.youtube.com/watch?v=iuTmk_8-m2k


මේ ගැන සෙවීමේදී මා කල සටහන මගේ පිටුව තුල ලිවිය යුතුයැයි සිතුවේ තවත් මිතුරන් රැසක් සමගින් මේ ගැන කතා කරන්නයි. මේ ඒ සටහනයි!


"පලමුවෙන්ම මෙවැනි දෙයක් ගැන සංවේදීවන පිරිසක් අපේ පරපුරේ සිටීම ගැන හිට ඇත්තේ සැබෑම සතුටක්.


ගීතයක අයිතිය හිමි කාටද කියන ගැටළුව අප කතා කරන්නේ කාලයක පටන්. ගීතයට වානිජ වටිනාකමක් ලැබීම ඉහල යාමත් සමග තමයි ශ්‍රී ලංකාව තුලමේ ගැටළුව එළිබසින්නේ. ගීතය විවිධ විදිහට භාවිතා කරමින් මුදල් හොයන එක අද අරුමයක් නොවෙයි. ස්ටාර් කියාගන්නා ආධුනික ගායක ගායිකාවන් තවමත් ජීවත් වෙන්නේ මේ අන් නිර්මාණකරුවන්ගේ ගීත විකුණාගෙනයි. ඒ ගීතයන් හි මුල් කෘතීන් හා නිසි අයිතිකරුවන් ගැන ඔව්න් කොහොමත් තැකීමක් නෑ. ඔව්න් තමන්ගේ තරඟය අවසන මෙරටේ වේදිකාවල පමණක් නොෙවයි පිටරට වේදිකාවලත් තවමත් ජීවත්ව සිටින ගායක ගායිකාවන්ගේ ගීත කියා ජීවත් වන බව අප්‍රසිද්ධ දෙයක් නොවෙයි. පහුගිය දවසක මම ඇසුවා ජෝතිපාල මහත්මයාගේ ගීයක් සම්පූර්ණයෙන් විකෘති කර ගායනා කර මුදල් හම්බකරන ආධුනිකයෙකුෙග් හඬක්. ඉතින් තමන්ට සල්ලි හම්බකරන්නත් තාවකාලික ප්‍රසිද්ධියටත් තම පෞරුෂයේ නිරුවත ප්‍රදර්ශනය කරන නවක ගායක ගායිකා පිරිස ගැන කතා කිරීමමත් කණගාටුදායකයි. සමහරවිටක සැබෑ නිර්මාණකරුවා මෙන් කිහිප ගුණයක් මුදල් ලබා ගන්නට මේ නිවට පිරිස් පෙළඹීමත් ඒ මුදල් ගෙවන්නට සූදානම් පිරිස් සිටීමත් මෙහි ඇති අවාසනාවන්ත තත්වයයි. එසේ වුද එළිමහන් ප්‍රසංගයකට යන අයෙකුගෙන් හෝ ඇසුවහොත් ඔව්න් මුල් නිර්මාණකරුවා ගේ ගීතය ඇසීමට වඩාත් ප්‍රියකරන් බැව් නොකිවමනායි. ඉතින් මේ ලැබෙන්නේ රසිකයනට අවශ්‍ය දේ ද නැති නම් මවාගත් දෙයක් ද කියන දේ ගැන කතා කිරීමම නිෂ්ඵල දෙයක්.

මාතෘකාවෙන් පිට කියල අයෙකුට හිතුණත් මේ තමයි පසුබිමින් ඇති ගැටළුව.

නමුත් මේ කතාවෙදි අපි මේ තරමි සංවේදී වෙන්නේ මේ ගීතය අපට ඇති සමීපතම සබැඳියාවත් මේ ගායිකාව, පදරචනය හා සංගීතය ගැන අපේ හිත ඇති ගෞරවයත් ඒ හා සමානවම කසුන් කල්හාර නම් නිර්මාණ ශිල්පියා ගැන අපි හැම දෙනාගේ ඇති බලාපොරොත්තුවත් නිසාවෙන් කියලයා මගේ අදහස.  මගේ පුද්ගලික අදහස මේ ගීතය ගායනා කරලා තියෙන්නේ කසුන් කල්හාර නොවේ කියායි. ඔහුගේ භාවයන් මේ කට හඬ තුල මට දකින්න නැති නිසයි එහෙම කියන්නේ. කසුන් අනුකරණය කරන පරම්පරාවක්ම සිටින නිසා මේ ඒ එක් අයෙක් විය හැකියි කියායි මගේ අදහස. ඒ වාගේම අප දකින සමහර හානි කිරීම් වලට වඩා මෙය අඩු හානියක් බවත් මට හිතෙන්නේ මීට වඩා හානි කිරීම් දිනපතා රූපවාහිනියෙන් ප්‍රසංග වේදිකාවල සිදුවන නිසා.

ඉතින් මේ වැනි සිදුවීමක් වූ පලමු හා එකම අවස්ථාව මෙය නොවුනත් නන්දාමාලිනියගේ ගීයකට මෙවන් දැයක් සිදු කිරීම මා  දුටු පලමු අවස්ථාව මෙයයි. ඉතින් අයෙකුට තර්ක කල හැකියි මේ එම ගීතයේම තවත් මානයක් කියා. ඇත්තෙන්ම ලෝක සංගීතය තුල මෙවැනි දේ ඕනෑ තරම් දැකිය හැකියි. නමුත් මේ ලෙසින් අනුන්ගේ දැයින් හම්බ කරගෙන ජීවත් වන හිඟන නවක ගායක ගායිකාවන් (වෙසෙසින්ම ස්ටාර්) සිටින රටක තමන්ගේ ප්‍රසිද්ධිය වාසිය තකා ඕනෑම දෙයක් කිරීමට සූදානම් පිරිස් ඇති රටක මෙවැනි දෙයක් සිදුවන විට රසිකයන් ලෙස අප සංවේදී වීම වැදගත් වෙන්නේ ඒ ගීතයටත් එහි නිසි හිමිකරුවනටත් මේ නිවටයින් පසුපස යා නොහැකි නිසාවෙන්. 

මුල් කෘතියේ අයිතිකරුවන්ගෙන් කිසිදු අවසරයක් නොගෙන තමන්ගේ වාසිය වෙනුවෙන් කරන මෙවැනි දෑ ගැන නීතිමය කටයුතු කරන්නට ආයතනයක්/සංවිධානයක හෝ අවශ්‍යතාවයක් මා දකිනවා. ඉන් අවම ලෙස අපට මේ දේ වඩාත් ක්‍රමවත්ව නිර්මාණශීලීව වනු දැකිය හැකි වේවි. "


ඉහත කතා බහට අදාල මුහුණු පොතේ දිගුව
https://www.facebook.com/pages/Nanda-Malini-%E0%B6%9C%E0%B7%93%E0%B6%AD-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80/240406086103

ප. ලි.

රසවින්දනය යනු සීමා මායිම් වලින් කොටුකල නොහෙන අපරිමිත ආශ්වාදයකි. එලෙස සිතන විට මූල්‍ය අපේක්‍ෂාවලින් තොරව මුල් නිර්මාපකයින්ගේ ආශිර්වාදයෙන් සිදුකරන වෙනස්කම් සිදු නොවිය/නොකල යුතු බව මම කිසිසේත් නොසිතමි.

ගීතයක විවිධ මාන පුළුල් වන ලෙසත් එහි මුල් රාමුව වෙනස් කරමින් යම් විටක මුල් ගායක/ගායිකාවන්ගෙන් ඔබ්බට ගොස් නැවත ගායනය,සංෙයා්ජනය සිදුවීම විය යුත්තක් වන බවත් වැඩි දුරටත් සිතමි.

එසේ වුද ඉන් ඇති කරන බලපෑම සහ එහි මූලික අවශ්‍යතාවය ගැන සිතීමට, දැනීමට තරම් පරිචයක්, ඉවසීමක්, දැනුමක් හා අවබෝධයක් ඇති පරිණත බවක් මේ දෙවන නිර්මාපකයා සතු වීම රසිකයන් ලෙස අපට වඩාත් හිතකර වනු ඇත. එසේ නොමැතිව තමන් යන්නේ කොහේද ඉන්නේ කොතැනද කියා නොදන්නා විද්‍යුත් නාලිකාවන් හි පැවැත්ම වෙනුවෙන් දංගෙඩිය වෙත තම උදුම්මාගත් හිස තබා ගත් අහිංසකයින්ට මෙවන් දෑ කල හැකිද යන්න ගැටළුවකි.


3 comments:

  1. දැන් නම් ගීත කලාව යන අත කොයිබද දන් නෑ. අලුතෙන් රිමේක් කරනව හැමදම ලස්සන ලසසන ගීත. අපිට දැන් ඒවයේ මුල් ගායනයවත් හොයාගන්න බැරිවෙන දිනය අත ලගයි.

    ReplyDelete
  2. ගීත කළාවට ඇතුල්වන නවකයින්ට එහි තිබෙන්නාවූ ආචාර ධර්ම පිලිබඳව අවබෝධයක් නොමැතිකම හා ඒවාට ගරුනොකිරීම මෙයට ප්‍රධානම හේතුවයි

    ReplyDelete
  3. සබසක් මිතුරනි

    මෙයට යමක් කල හැකි නම් වටීවි

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!