Sunday, November 18, 2012

පාසැලේ ඉඳන් ගෙදරට



පාසැල ඇරී තරමක කාලයක් ගත වුණත් මහපාරේ ඇති පාසැලේ සිට අතුරු පාරේ තමන්ගේ ගෙදරට ඇති දුර කිලෝමීටර තුන හතරක් වූ නිසාත් ගල් ගොඩැලි ඇති වැලිපාරේ වාහන නොයන නිසාත් පුංචි වුන් පස් හය දෙනා ගුරුපාර දිගේ ගමන් කරමින් හිටියා. අහසේ වලාකුලක් පෙනෙන තෙක් මානයේ නොතිබුණු නිසාත් මද්දහන් වේලාවත් නිසා ඉර එළිෙයන් ලැබුණු උණුසුම වැඩියි. ඒ වුණත් මග දෙපස තිබුණ ගහ කොළ හිංදා පාෙර් තැනින් තැන කළු සෙවනැලි දකින්නට ලැබුණා.

තරඟයට මෙන් පුංචිඋන් ඒ සෙවනැලි වලට දුවමින් වෙහෙස නිවා ගත්තා. සපත්තු දෙකක් තිබුණේ එක් පොඩි එකෙකට විතරක් හිංදා පුංචි පිටිපතුල් දූවිල්ලෙන් පිරී ගොසින්.  වතුර බෝතලයක් කා ගාවවත් නොතිබුණේ වතුර බෝතල් තවමත් මේ පළාතට නුහුරු නිසාවට වඩා වතුර කියන දේ කොතැනින් කොහොම බීවත් එකයි කියා පවුලේ ඇත්තන් සිතූ නිසා විය යුතුයි. කොෙහාමටත් ගමේ වැවෙන් ඇලෙන්  වතුරින් පිපාසය නිවන මේ පුංචි උන්ට තමන්ගේ පිරිසිදු වතුර බෝතලයක් කියන දේ ඒ තරමට ඕනෑ දෙයක් නොවෙයි.

පාර පුරාවට දුව පනිමින් හිටි පුංචි උන්ගෙන් පිරිමි දරුවන් දෙදෙනෙක් කෝටු කෑලි දෙකකින් පාරේ ඉරි අඳිමින් ගමන් කලා. තවත් දරුවන් දෙදෙනෙක් වට පිටාවේ ගස් වල කොළ අතු වලින් සෙල්ලම් කරමින් ගමන් කලා. පුංචි දැරිවියන් දෙදෙනා පරිස්සමින් අඩි තියමින් කොලු පැටවුන්ට අවවාද දෙමින් තරවටු කරමින් ගමන් කලා.  මේ හය දෙනාම තමන්ගේ ඇඳුම් පරිස්සමින් කිලුටු නොවන ලෙස ගිය බව අයෙකුට දැනෙන්නට තරමක කාලයක් ගත වන්නක්. කොතරම් සෙල්ලමින් ගියත් තමන්ගේ ඇඳුම් කිලුටු වීම ගැන මේ තරම් සැලකිල්ලක් මේ පුංචි උන්ගෙන් දකින්නට ලැබෙන්නේ උනුත් තමන්ගේ මව්පියන්ගේ ජීවන අරගලය ගැන දන්නා නිසාදැයි සිතෙන්නක්.  පාර පුරා පැතිර යන පුංචි උන්ගේ කට හඬවල් අවට ගස් පවා අසා සිටියේ සංයමයෙන් සතුටින්. කුරුල්ලන් පවා ඔව්න් දෙස බලා සිටියා. කාලය ගැන  කිසිදු හැඟුමකින් තොරව ඔව්න් හිතුන තැන නතරවී කුරුල්ලන් බැලුවා.සෙල්ලම් කලා. පාර දෙපස තිබූ අඹ ගස් වල අමු අඹ ගෙඩි ගෙදරට යන තුරුම පුංචිකුසගිනි නිවන්නට ඇති.  මොවුන් මෙන්ම උන් දකින තුරු නිවසේ වැඩ කරන මව්පියන්ෙග් කාලයත් නිදහසේ ගලා යන බැව් මේ හැසිරීමෙන් පෙනුනා.

ඔව්න් දකින මට නගරයේ දරුවන් පාසැල ඇරී ගෙදරයාම සිහිවුණා.

මගේ සමීප මිතුරකුගේ දියණියක් පාසැලින් නිවසට එක්ක යන්න විඳින දුක මට සිහිපත් වුණේ නිතැතින්. තමන්ගේ රාජකාරි ජීවිතයේ ඇති බරපතල කටයුතුත් තම බිරිඳගේ රාජකාරි ස්ථානයෙන් ඇයට පැමිණීමට ඇති ගැටළුත් අතර පාසැල ඇරී මොහොතක් හෝ දරුවා තනිව තැබීමට නොහැකි තරමට ඇති අනාරක්‍ෂිත බවත් නිසා ඒ පවුලම දිනපතාම මුහුණ දුන්නේ කාලය සමග සටනකටයි. අම්මා හෝ තාත්තා පැමිණෙන තෙක් වෑන්රථ හා අනිකුත් වාහන අතර තම පුංචි මිතුරියන් නොපෙනී යන විට ඒ දරුවාගේ පුංචි හිත තුල ඇති වන තනිකම, බය සහ අසරණ බව ගැන මිතුරාත් මා සමඟ කියුවේ එක් දිනක පමණක් නොවෙයි. ඇත්තටම නගරයේ රැකියා කරමින් දරුවනට උගන්වන්නට වෙර වෑයම් කරන බොහොමයකගේ කතාව මීට වඩා වෙනස්වන්නක් නොවෙයි.

තමන්ගේ දරුවන්ට තමන්ටත් වඩා පහසුකම් දී නගරයේ පිලිගත් පාසැලක උගන්වා උස් මහත් කිරීමට දරණ විරිය අතර තුර දී ජීවිතය තුල තමන්ටත් තම දරුවනටත් විඳින්නට හැකි යම් දේ සැඟව යන බැව් මට සිතෙන්නක්.  සියළු දේ කෘතිමව මවා ඇති වටපිටාවක වැඩෙන දරුවා නිවසේ සිට පාසැලටත් පාසැලේ සිට නිවසටත් යන සීමාව තුල හිරවීම ඒ දරුවාට කොයි තරම් බලපෑමක් කරන්නේද යන්න දැනෙන්නට දරුවා සමාජගත වන තුරු දෙමව්පියන්ට අවබෝධ කිරීම පහසු නොවන බව දැකිය හැකියි. මීට හේතුව පිටින් නැතත් හිත තුල ඇති තරඟය සහ අවට ඇති තරඟකාරී බව යැයි අයෙකුට සිතිය හැකියි.

අවාසනාවකට මෙන් තමන්ට අද සැකසූ උද්‍යාන තුල පරිසරය දකින දරුවා සැබෑ පරිසරය තුල ජීවත් නොවන නිසාෙවන් අනාගතයේද පරිසරය යනු උද්‍යානයමයැයි සිතනු වැලැක්වීම පහසු නොවේ.  ඉතින් මේ රාමුව තුල හිරවී ලෝකය දකින පිරිසට තම දරුවාත් එකතු කරන්නට වෙහෙස වන දෙමාපියන්හට තරඟයෙන් පිට අවබෝධ කරන්නටද වේලාවක් නොමැත්තේ ජීවිතය ගෙනයාමට රැකියාව හා කාලය අතර නිමා නොවන තරඟයක ෙයදී සිටින හෙයිනි.

ඉතින් නැවත මුල් කතාවට යමු.

නගරයේ පොඩි උන් පිහිනුම්,භාෂා ආදී නොයෙක් පංති වල හිරවී ෙදමව්පියන් එනතුරු බලාසිට වාහනයක අසුනක නිදිකිරා වැටෙන විට මාදුටු මේ පුංචි උන් දවසම පරිසරයේ ජීවත් වී උන් එනකම් ගෙදර බලා සිටින තම මව්පියන් වෙත දුවනවා ඇති.

අපට නගරයේ ක්‍රියාකාරකම් මේ තරඟ දිවුම නැවැත්වීමට කිසිදා හැකි වේදැයි සැක සහිත මුත් සොබා පරිසරයේ ජීවත් වන මේ සොඳුරු කුඩා උන්ටත් තරඟ දිවීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බැව් දැනීම ඇති කරන්නේ සියුම් වේදනාවකි.





4 comments:

  1. මමත් පොඩි කාලේ පාසල් යද්දි ඒ සොබා දහමේ අසිරිය හොඳට වින්දා. දැන් ඒ දේවල් කොච්චර නම් දුරස් වෙලාද.

    ReplyDelete
  2. අපේ ගෙදර ඉඳන් ඉස්කෝලෙට තිබ්බේ හූවක දුර! හැබැයි මට ඒ දුර එන්නත් පැය දෙකක් වත් යනවා! ඒ අපි ජිවිතේ වින්ද හැටි! ඒත් අද????

    ReplyDelete
  3. වැදගත්ම දේ අපි ඒ දේවල් වලින් කොයි තරම් දේ විඳින්න පුරුදු වුණාද කියන එක, ඒ සියුම් දේවල් විඳින්න දැනෙන්න නම් අත් දකින්නම ඕන ! ස්තූතියි සොයුරනි

    ReplyDelete
  4. මේ පිංතූරය කුමක්දැයි බොහොමයක් දෙනා ඇහුව නිසා ලියන්න හිතුවේ. මේ කොළඹ සිට කිලෝමීටර බොහෝගණනකට එපිට මොණරාගල ප්‍රදේශයේ අතුරුමගක යන කොට මම ගත්තු ජායාරුවක්

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!