Sunday, December 19, 2010

අහඹු කෞතුකාගාර සර

අපි ආසා කරන දේ අපි නොහිතන වෙලාවල ඉබේම අපට ලැබෙනවා කියන එක ඇත්තක් තමයි. මට ඒක දැනුනේ මේ කියන්න යන සිදුවීම හින්දා.

මහා සිංහල වංශ කතාව බලල ආපු ආවේගයෙන් විවිධ තැන්වල බොහොමයක් දවස් ඇවිදලකරල හොයාගත් හැම ඉතිහාස පොතක්ම පාහේ කියවලා හිත සනසගත්ත මට අළුතින් ලැබුණු පොත් කීපයක් කියවලා නැවතත් ඉතිහාසය ගැන යට කරගෙන උන්න ආසාව උඩට ඇවිත් බොහොමයක් දවස්. ඒ වුනත් ඒ ගැන වැඩ කටයුතු වලට වෙලාවක් වෙන් කරගන්නව කියන දේ කර ගන්න වෙලාවක් ලැබුනෙම නැති තරම්.

දෙසතියකට කලින් ඉරිදාවක මම වෙන වැඩකට බම්බලපිටියට ඇවිත් බලපුවාම වැඩේ ඉවර වෙන්න තව පැය 2ක්ම තියනවා කියලා දැන ගත්තහම කල්පනා කලේ මොකද කරන්නේ කියලා. තව දුරටත් නිකම්ම කඩකාමරවල තියන දේ බල බලා යන්න කාලය වැයකරන එක අපරාදේ කියන දේ හිතිලා ගොඩක් කල් නිසා නැවත රථයට නැගිලා පොඩ්ඩක් එලියට ගමන්ගත්තා. රැජින පාරෙන් ඇවිත් ඉදිරියට යන‍කොටත් මට අදහසක් නොතිබුණත් ඒ ගොඩනැගිල්ල දකිනකොටම මට තනියම හිනාවක් ගියේ මම නිවැරදි තැනකට ආවා කියන හැඟුම දැනිලා. ඒ තමයි සුදෝසුදුවට පෙනෙන අපේ කෞතුකාගාරය.

මම හිතන විදිහට මම කෞතුකාගාරයට ගියේ වසර 4කට පස්සේ. රුපියල් 25ක මුදලකට ලැබෙන ප්‍රවේශපතත් අරන් ඇතුලට යනකොට මම දැකපු මුල්ම දේ තමයි ඇතුල් වෙන්න හිටි බොහොමයක් නරඹන්නෝ විදේශිකයන් වීම. කොහොම වුණත් මගේ පුද්ගලික මතයනම් කෞතුකාගාරය මේ වෙන කොට ඉස්සරට වඩා පිලිවෙලයි කියන එක. ඒ වුණත් රටක කෞතුකාගාරය කියන තැන තිබිය යුත්තේ බඩු භාණ්ඩ විතරක්මද මීට වඩා හදාරන්නට කියවන්නට දෑ තිබිය යුතුයි කියලා මම හිතනවා. නමුත් ඒ ගැන නොවෙයි මම කතා කරන්නට යන්නේ!

මුළු කාලයේදිම මට හමු වුන ලාංකිකයන් අතරින් යුගල නොවන ඈයින් හිටියේ 15කට අඩු ප්‍රමාණයක්. හැම යුවලක්ම පාහේ වසර 25ට අඩු හෝ ඒ අවට පිරිස්. හැබැයි මේ හැම දෙනාම වාගේ හොඳ සංයමයකින් හැසිරුණා. සමහර විට ඔව්නට ආදරේ කරනවාටත් වඩා කටුගෙයි ඇති ශ්‍රේෂ්ඨ අතීතය සිහිපත් වුණාද කියලා දැනෙනවා. මම දන්නා තරමින් අපේ බොහොමයක් දෙනා අපේ රටේ පලමු රාජධානිය කුමක්ද? කියන පැනයට වුවත් පිලිතුරු දන්නේ නෑ. බොහොමයක් විට තම තමන් අන් රටවල විශාල ගොඩනැගිලි ආදී දුටු දෑ ගැන කියන බොහෝ දෙනාට (සමහරක් විට ඔව්න් එය හැබැහින් දැකලත් නෑ) තමන්ගේ රටතුල තිබෙන ලෝකයේ ගඩොලින් නිර්මිත පුරාණතම විශාලම නිර්මාණ ගැනවත් හැඟුමක් නෑ. අපට අපේ නුදුරු ඉතිහාසයේ කොතැනක හෝ වැරදිලා කියලා දැනෙන්නේ මේ දේවල් ගැන දැනුමක් හැඟුමක් නොමැති බොහෝ දෙනෙක් දකින නිසයි. ඉතිහාසය ගැන හැඟුමක් නැත්තාට දැය ගැනවත් රට ගැනවත් හැඟුමක් ජනිත නොවන බවයි මගේ හැඟුම. දැනුනත් ඒ හැඟුමට බරක් නෑ බොහොම සැහැල්ලු වගකීමක් නෑ. මෙහෙම පරපුරක් ගෙවෙන තැන ඉතිහාසය යම් පමණකින් මැකීයාවි.

ඉතිහාසය කරපින්නාගෙන යෑම කරන්න අවැසි නෑ. ඉන් ඇති සෙතකුත් නෑ. ජාතිය ආගමත් නොවේ ඉතිහාසය හැමෝටම පොදු දෙයක්. ඒ දේ වඩා හොඳින් කෞතුකාගාරයේ දකින්න තියනවා. බොහෝ විදෙස් සංචාරකයින් අතර අපේ මිනිසුන් කටුගෙයතුල ආඩම්බරයෙන් ගමන් කරන හැටිත් ඔව්නට විවිධ දෑ කියා දෙන හැටිත් හරිම අපූරුයි. ඉතින් මම හිතනවා දැන් නිසි කලක් ඇවිත් කියලා මේ ගැන අපේ මිනිසුන් උනන්දුකරවන්න. ඔබට නිකම්ම කල් ගත කරන්නට යනවෙලාව මේ වගේ තැනක ගත කරන එක පාඩුවක් නෑ කියලයි හිතෙන්නේ.

ඉතින් රුපියල් 25 ප්‍රවේශ පත්‍රයෙන් ඇතුලට ආපු මම පැය 2කම ගත කරලා (කෞතුකාගාරයක යම් කෙනෙකුට පැයකුත් තව අයෙකුට පැය 10ක් වුනත් ගත කරන්න පුළුවන් කියන කතාවත් හරි) එලියට ආවේ හිත තවත් සැහැල්ලු කරගෙන. වැඩි දියුණු විය යුතු සිදුවිය යුතු දෑ රැසක් කෞතුකාගාරයතුල තිබුණත් අපි අඩුම තරමේ වසර 2කට වරක් වත් මේ පැත්තේ ගියොත් අපට විවිධ තැන්වල කටයුතු කරන්න ලොකු ශක්තියක් තල්ලුවක් ලැබෙයි කියලා මම හිතනවා.

6 comments:

  1. සහතික ඇත්ත. මමත් හරි ආසාවෙන් යන එන තැනක් තමයි‍ කෞතුකාගාරය කියන්නේ. කොළඹ එකටනම් එන්න වෙලාවක් හම්බවෙලා නැතත්, මම ඉඩක් ලැබෙන හැමවෙලාවකම වගේ මහනුවර කෞතුකාගාරය වෙත ගිහින් නරඹනවා.

    ඒත් ඒක සෑහෙන්න පාලුවට ගිහින්. පාසැලක විනෝද චාරිකාවක් යන පිරිසක් ආවේ නැත්තම් ඒක නරඹන්න ඉන්නේ දෙන්නෙක් නැත්තම් තුන්දෙනෙක් විතර...

    අනේ මන්දා... :(

    ReplyDelete
  2. සබසක්

    මේ ගැන කතා කරන සංවාද මණ්ඩපයක් තිබුණා මතකයි. හැබැයි කාලෙකින් යමක් දැක්කේ නෑ..

    ReplyDelete
  3. මමත් කොළඹ කෞතුකාගාරයට ගිහින් නැහැ. නමුත් පාසැල් යන සන්දියේ නුවර කෞතුකාගාරයට නම් ගිහින් තියෙනවා.

    එතනදී මගේ හිතට කාවැදුනු දෙයක් තමයි මොණරවිල කැප්පෙටිපොළ වීරයාගේ අත් තුවක්කුව. එතකන්ම මම හිතාගෙන හිටියේ සිංහළයන් ඉංග්‍රීසි අධිරාජ්යය එක්ක හටන් කලේ දුනු ඊතළ වලින් කියලයි. එදා මම හිතා ගත්තා කවදාහරි ඉංග්‍රීසි ඉගෙන ගෙන එයින්ම මට පුලුවන් විදියකට සුද්දන්ගේ ආක්‍රමණය වලක්වනවා කියලා.

    ReplyDelete
  4. ඔබේ මේ ලිපිය කාලය ගත කරන්න හෝ තැනක් හොයන දෙනාගේ නෙත ගැටේවා. කෞතුකාගාරය නරඹා පිය නගන හැම විටම මහත් අභිමානෙයෙන් හිස ඔසවාගෙන එන්න පුළුවන්. ඔබ මටත් මතක් කර දුන්නා නැවත වතාවක් යන්න කාලය එළඹ ඇති වග. බොහෝම ස්තුතියි සමීර.

    ReplyDelete
  5. තුති ඔබට සනත්!!! ‍අගෙයි මහේෂ්, චම්න්ද!!!

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!