Sunday, January 8, 2012

නුඹ එන තුරු

සිත් ගිම් නිවා
ආ මුදු පවන් රළ
සුවඳ වී අප ජීවිතේ
අරුණක් ව හැඟුමක්
සිනාසෙයි එනතුරා
පෙරමග අප වෙතේ


හද නැවුම් හැඟුමන් පිබිද විත්
නුඹ නැගෙන ආකහ වසා ලන්නට
හිරු සඳු තරුද මඟ බලා ඉන්නේ
නුඹේ පෙර මග සිනාසෙන්නට

ගහ කොළද පිණි පොද වැටී යයි
නුඹ පා පියුම් පොඩි දොවා ලන්නට
සිහින සුරඟන සිනාසෙයි
නුඹ හොවා තුරුලේ සනසවන්නට

Thursday, January 5, 2012

අනුන් හා තමුන් 1

කුඩා කල මා බොහොමයක් විට මං ලොකු වුණාම කවුරුන් වේදැයි මව්පියන් ගෙන් අසා ඇත්තෙමි. ඒ විට මට හැම විටකම ලැබුණු උත්තරය ඒ තරම් පොඩි එකෙකුගේ හිත් ඇද ගන්නා උත්තරයක් නොවුනු බැව් මගේ හැඟුමයි.

කියවන ඔබ පිලි ගත්තත් නොගත්තත් උත්තරය වුනේ අන් අයට කරදරයක් නොවන තමන්ටත් අන් අයටත් යහපතක් ම වන කෙනෙක් වනු බවයි. ඒ ගැන උත්තර කියන්න තාමත් බොහොම කල් වැඩි බැව් මගේ අදහසයි. මෙතන මට කියන්න අවැසි වුනේ මේ වදන් පෙළ ජීවිතයට කොයි තරම් සැනසීමක් ගෙන ආ දැයි කියායි.

ඒ කතාව මට මතකයට ආවේ පහු ගිය දවසක මිතුරකුගේ නිවසක දුටු සිදුවීමක් නිසයි. පොඩි උන් දෙන්නෙකුගේ අනාගතය දෙමව්පියන් විසින් තීරණය කිරීම කොයි තරම් සාධාරණ දැයි කියන දේ කෙසේ වෙතත් අවුරුදු දෙක හමාරේ පුංචි උන්ටත් නිදහසේ ඉන්න නොහැරීම ගැන නම් මට ඇත්තේ අකමැත්තක්. තාක්‍ෂණය තව දුරටත් මහා විසාල බාධාවක් නොවන නගර අතරමැදි නගරවල දිවි ගෙවන පුංචි වුන්ට තමන්ගේ මව්පියන්ගේ කාර්‍යබහුල දින දසුනේ හිමි වන තැන සීමා වීමේ ප්‍රතිඵල ගැන තවමත් කියන්නට කල් මදි කියලයි හිතෙන්නේ.

ඉතින් මේ ගෙදර පුංචි උන් දෙන්නා රණ්ඩු වුණා ලොකු වුණාම කවුරු වෙනවද කියන එක ගැන. දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් පුංචි උන් දෙන්නා උසි ගන්වුවා අරයට වඩා මම ඉහලට යන්න ඕන කියන දේ කියලා. මේක සම්‍යක් ප්‍රයෝගයක් විදිහටත් අපිට ගන්නට හැකියි.

නමුත් පහුගිය සතියේ මේ දරුවන් දෙන්නා හම්බ වුන වෙලාවේ මට කියුවේ අනිත් අයගේ වැරදි රැසක්. තමන්ගේ පංතියේ යාළුවන් ගේ ඉඳන් අම්මා තාත්තා වෙනකම් ම වැරදි ගොඩාක් මාත් එක්ක කියවන් ගියා. යම් අයෙක් බොහෝ විට අන් අයගේ වැරදිම අපත් එක්ක කතා කරන්නේ තමන්ගේ යම් දෙයක් උළුප්පන්න කියන දේ මම විශ්වාස කරන දෙයක්.

ඉතින් නොදැනීම අපට මේ සමාජයේ බොහොමයක් තැන හමුවන මෙවන් අහිංසක මිනිසුන්ගේ හිත් මට්ටමටම මේ දරුවනුත් ඇද දැමීමේ වගකීම දෙමාපියන් ගත යුතුයි කියායි මට හිතුනේ.

ඒ හැම දේටමත් වඩා ඉදිරි කාලය තුල ලෝකය තුල අන් අය දෙස තරඟකාරිත්වයෙන් නොබලන්නට දරුවන්ට කියා දීම වැදගත් කියායි මම හිතන්නේ. ඒ තුලින් දරුවාගේ හිත් තුල ඇති කරන සැනසීමෙන් දරුවා තම ගමන් මග තනා ගනීවි. උගෙනීවි ලෝකය දෙස ධනාත්මක ව බලන්නට.

බොහොමයකට බොහෝ අදහස් ඇති! මේ මගේ අදහසයි......................

Saturday, December 31, 2011

2012 පැතුම

ලෝකයේ ඇති සියලු දෑ හි සුන්දරත්වය දැක ගන්නට
සිතේ ඇති යහපත් පැතුම් සියල්ල ඉටු කරගන්නට
සියලු දෙනා වෙත හැම විට සතුටක් ම බෙදන්නට
ඔබට 2012 වසරේ
දිරිය ලැබේවා !

Saturday, December 24, 2011

හිතැති හැම දෑ

නොවන සරසිය
පියඹ සාසිය
දවන හසිතය
මඩින මසිතය

සිතන කසිනය
පවන විසිනය
සවන වසිනය
නිවන සිසිනය

දෙවුල් සරදම්
නිමල් මල්දම්
නලල් තලමම්
පලල් සිල්වම්

කිදුම් මුසපත්
වෙයුම් සම්පත්
ඇලුම් සිඳුපත්
නොවේ දියපත්

බොහොමයක් විට බොහෝ දෙනකුට මේ දෑ මේ යැයි හැඳින අවබෝධය අපහසු වුව්ත් ලියා ලූවෙමි මතු දිනක් වෙනුවෙන්

Saturday, September 24, 2011

අතිශය කලබලකාරී උදෑසනක්!

එය අතිශය කලබලකාරී උදෑසනක්. මෙවර පොත් සවාරියට වෙලාවක් නොලැබේදෝ කියා හිතුනු මුත් හැම දාම වගේ බොහොම අහඹු විදිහට ඊට වෙලාවක් මට ලැබුණා. ඒ හිංදම උදේ පාන්දරින් ම පොත් ප්‍රදර්ශන බිමට ඇතුලු වුනේ පොතක් දෙකක් ගන්න වගේම හිතේ හැටියට විවිධ පොත් අතර සැරිසරන්න ආසාවෙන්. තවමත් උදෑසන කටයුතු නිල වශයෙන් ඇරඹී නොතිබ්බ නිසා බොහොමයක් දෙනෙක් කඩිමුඩියේ තමන්ගේ පොත් ප්‍රදර්ශන කුටි සකස් කරමින් හිටියා.

අතරින් පතර මා වැන්නවුන් කිහිප දෙනෙක් හැරුණු කොට ප්‍රදර්ශන පරිශ්‍රය කලබල වී තිබුණේ මේ පරිසරයේ තාවකාලික හිමිකරුවන් වූ පොත් ප්‍රදර්ශක සහෘදයින්ගේ විවිධ කටයුතු සිදු වෙමින් තිබූ නිසයි. තවත් හෝරාවක් තුල පිරී ඉතිර යන තම කුටි සකසන්නටත් නව පොත පත නි‍සි තැන් හි තබන්නටත් හැම දෙනාම යුහුසුළු වුණා. මේ අතර බොහොමයක් කුටි වලට පිවිස එහි තුබූ පොත් මහත් ආසාවකින් රුචියකින් කියවා බලන මා දෙස ඔව්න් ඉතා සිනහ මුසු මුහුණින් බලා සිටියේ බොහොමයක් කුටි වලට අද පිවිසෙන පලමු වැන්නා මා නිසා විය යුතුයි. බොහොමයක් කුටිවලින් පොතක් ගැනුම නොකලත් හැමටම සුබ දවසක් යැයි කියන්නට මට අමතක නොවුනේ ඒ නිසයි.

කලකට පසු හමුවන මිතුරන් වාගේ මා දෙස බලා සිටින පොත් පත් දකින විට හිත පුරා දිවයන හැඟුම් තරමක් සංකීර්ණයි. වෙසෙසින් ම පුංචි කාලයේ කියැවූ රුසියානු ළමා කතා නැවත දකින විට ‍මමත් සිතින් ඒ කාලය තුලට මොහොතක් ගමන් කලා. වැඩ බැරි දාස, හත් පෙති මල, ලස්සන වසීලිස්සා, රසකතා, වානේ පන්නරය ලැබූ හැටි දකින මා සිතේ නැවත ඒ චරිත මැවී ගියා. මම කුඩා කාලයේ වයසට නොතරම් වූ ඉතා අසීරුවින් කියවා ගත් අපේ කාලයේ වීරයෙක්, අම්මා, ගුරු ගීතය, අපරාධය හා දඬුවම වැනි අපූර්ව නිර්මාණ ත් උම්මග්ග ජාතකය, සද්ධර්මාලංකාරය වැනි ගැටපද සහිත වටිනා ග්‍රන්ථත් ඒ අතරට වී ආදරයෙන් සිනාසුනා. මේ සමගම තවමත් මේ පොත පත කියවන පිරිසක් කොහේ හෝ සිටිනු බැව් දැනීමත් හිතට ගෙන ආවේ නැවුම් සැනසුම් හැඟුමක්.

ඇත්තටම මෙවර පොත් ප්‍රදර්ශනයේ මා හිතුවාට වඩා පොත පත තිබුණා. අපේ සාහිත්‍යයේ පූජාවලිය, අමාවතුර, සද්ධර්මාලංකාරය වැනි තන් හි සිට මාර්ටින් වික්‍රමසිංහයන් දක්වාත් ඉනුත් මේ දක්වාත් පුළුල් පරාසයක පොත පත ඒ අතර දැකුම අනාගතයට සුබ දසුන් මවන්නක්. සිහල දෙමළ බස මෙන් ම ඉංග්‍රීසි බසින් පලවූ පොත පතත් මෙහි තිබුණ මුත් ඉංග්‍රීසි පොත් හි තරමක් අඩුවක් දක්නට තිබුණ බවයි මගේ හැඟුම.

අද වන විට පොතක් කියවීම හා තොරතුරු ගූගල් කිරීම යන අන්ත දෙක වේගයෙන් දුරස් වෙමින් තිබෙන මුත් භෞතික පොත පතට මිනිසාගේ ඇති ආශාව තවත් කලක් තිබෙනු ඇතැයි යන්න, මොහොතින් මොහොත ප්‍රදර්ශන බිමට පිවිසෙන පිරිස කෙමෙන් වැඩි වීම ඒ බැව් පසක් කලා. ඇත්තටම අද වන විට බොහොමයක් දෙනෙක් අතින් පොත් කියවීම ගිලිහී ගිහින්. පුංචි කාලයේ අප සුරංගනා ලෝකයන් හි සිට සැබෑ යථා ලෝකය තෙක් අප සමග ගිය ගමන් සගයා වූ පොත පත, වෙබ් අඩවියක් වීඩියෝවක් දක්වා පරිණාමය වුවත් ඉන් අද දරුවාට ලැබෙන රසය සහ පෙර අප පොතින් ලද අවබෝධය හා සංයමය අතර ගැටුමක් ඇති බැව් මගේ හැඟීමයි. පොතක රස දන්නා, කියැවීමට ඉවසීම ඇති අයෙකු වඩාත් සාර්ථක බැව් මගේ මතයයි.

අපි ආපසු අද සිදුවීමට යමු.

කලබලකාරී පිරිස් අතර විවිධ දෑ හුවමාරු වෙමින් කාලය ගත වෙමින් තිබුණා. මේ අතර එක් වරම හැම දෙනාගේ සවන් පැහැර ගත් රාවයක් නැගෙන්නට වුණා. ලෝකයේ කොහේ හිටියත් මේ නද ඇසෙන මොහොතට හිතට නැගෙන හැඟුම් පෙළ පැහැදීම පහසු දෙයක් නොවෙයි. මෙතෙක් වේලා තිබූ කලබලය එක් වරම අඩුව ගියා. අතරින් පතර කිහිප දෙනෙක් හැරුණු විට අන් සියළු දෙනා සිටිවනම බලා සිටියා. තවත් මොහොතක් ගතවන කල තමන් කෙරේ ඇති වූ සියුම් ලැජ්ජාවක් සමඟ එහේ මෙහේ සැරිසැරූ කිහිප දෙනාත් සිටි වනම නැවතුනා. පසුබිමින් පැහැදිලිව ඇසෙන සංගීත රාවය මැද බොහෝ දෙනෙකුගේ දෙතොල් සැලී ගියේ එක් ලෙසින්. අන් කිසිදු ශබ්දයක් නොමැති පරිසරය තුල මිනිස් හඬ රැසක් සෙමින් නමුත් පැහැදිලි හඬින් රැවු දෙන්නට පටන් ගත්තා. ඒ සමඟම මෙතෙක් තොල පියා සිටි බොහෝ දෙනාගේ දෙතොල් පිපෙන්නට පටන් ගත්තා.

අන් කවරදාටත් වඩා අද උදේ අපේ රටේ ජාතික ගීය ප්‍රදර්ශන පරිශ්‍රය තුල සාඩම්බරයෙන් රැවු දුන්නා. විවධාකාර වයසින් යුතු විවිධ පුද්ගල චරිත මේ නැගුණු හඬට පණ දුන්නා. ජාතික ගීය අවසන සියළු දෙනාගේ නැවුනු හිස් යලි ඔසවනු දුටු මට දේශය හා අභිමානය අප අතර තිබෙන බවත් මේ ඒ බැව් යැයි හැඟී ගියේ හිතට සැබෑ සතුටක් ඇති කරමින්.

මොහොතක් එක් ව සිටි සියළු දෙනා නැවතත් අතිශය කලබ‍ලකාරී උදෑසනට එකතු වුණා.

ගිය වර මග හැරුණු පොත් මිතුරන් ගෙදර ගෙන යන්නට මමත් නැවතත් ඒ කලබලය වෙතට පිය මැන්නා.

Monday, August 29, 2011

මගේ මතකයේ වටිනාම කාසියක්

දිගු කලබලයක අවසන සන්සුන් ගමනාන්තයකට මම ළං වෙමින් තිබුණා. ගස් අතරින් සුළං හමා ගියා. හංදියේ ඉදන් අතුරු පාරට හරවන තැන ගස් පෙළ සැලුනේ තරමක් සීරුවෙන්. කිසිවෙක් නොසිටි පාර දිගේ ඉදිරියට ගමන් ගන්නා විට පාර දෙපස ගහ කොළ අපූරුවට සැලී ගියා. ගමේ සුවඳ විඳිමින් සිටි කාලය අවසන් ව දිගු කලක් ගත වුණත් ගමට පිවිසෙන විට අමුතු හුරු පුරුදු ගතියකින් සිත වෙළි ගියා. කොයි තරම් කලක් ගමින් පිටව හිටියත් ආයෙත් එන හැම දවසකම මට ඒ හැඟුම දැනෙන්නක්. හරියටම නොදන්නා රටක සිට නැවත මව් රටට ආවා වගේ. කාලය වෙනස්ව ගියත් තවමත් ගමේ සුළඟ ගොයම ගහ කොළ එහෙමම්ම තියන එක හිතට ගෙනෙන්නේ අපමණ සැහැල්ලුවක්.

ගමේ සුළඟේ මේ තරම් ම විශේෂය ඇයි දැයි දවසක් මගෙන් මගේ මිතුරෙක් ඇසුවා. මගේ පුංචි කාලයේ ඉඳන් කල කෙළි සෙල්ලම් හා සගයන් හා ගත කල අපූරු මතකයන් සුළඟ එක්ක ආයෙත් හිතට එන බැව් එයට මගේ පිළිතුර උනා.

මේ වගේ මද සුළඟ ඇතිව ගෙවුනු තවත් අපූරු දවසක් මට මතක් වුණා.

මීට වසර පහලොවකට විතර කලින් අපේ පාරේ බස් ගමන් කලේ පැයකට වරක්. පාසැල් යන පුංචි මගේ අතේ වැඩි පුරම රැඳුණු කාසිය රුපියල් පහ වෙන්න ඇති. බසයේ ගමන් කරන්නට සීසන් එකක් තිබූ හිංදා අම්මාගෙන් හම්බ වෙන රුපියල් පහේ අයිස් පැකට් වගේ නෙක නෙක දෑ කන්න මම පුරුදු වෙලා හිටියා මතකයි. ඒ හිංදා යාලුවන්ගෙනුත් අඩුවක් උනේ නෑ. හැබැයි මේ කතා කල දවසේ මං සතු ව තිබුණේ රුපියල් දෙකක් විතරයි.

එදා මම බස් එකට යන්න පාරට ඇවිත් බලන් හිටියා බස් එක එන තුරු. මේ අතර ගමේ ඉස්කෝලෙට යන පුංචි උන් දෙන්නෙක් ගාට ගාට පාරේ එමින් හිටියා. බැලූ බැල්මට මේ අයියයි නංගියි දෙන්නම තුනේ පංතියේ විතර ඇති. කහ ම කහ ගැහුණු කමිසය උඩින් දමා සායම් ගිය කලිසමකින් අයියාගේ වස සැරසී තිබුණා. ඊටම හරියන විදිහේ පරණ ඉටි බෑගයකට දමාගත් පොත් ටික කරේ තබාගෙන තුත්තිරි ගසක් උරමින් ආඩම්බරයෙන් අයියා ගමන් කලා. තරමක් අලුත් ගවුම් පොඩිත්තකින් සැරහුනු නංගී තමන්ගේ පොත් බෑගය පරිස්සමින් ඈතින් අල්ලාගෙන ගියේ තමන්ගේ එකම ගවුම් පොඩිය පරිස්සම් කර ගන්නා අටියෙන් විය යුතුයි. මේ දෙදෙනාම කුලියක් කරන් ජීවත් වන දෙමව්පියන් යුවලකගේ දරුවන්. මම දන්නා තරමින් ඔව්න් සැතැපුම් දෙකක් විතර පයින් ඇවිත් තිබුණා. මාව දුටු ඔව්න් දෙදෙනාම නොදැක්කා සේ හිටියේ ඇයි කියා එදා පුංචි මට හිතුනා. ගමේ ඉස්කෝලෙටත් තවත් සැතපුම් දෙකක් පමණ දුර තිබෙන නිසාත් පාරේ තිබුණු රස්නය නිසාත් කිසිවක් ලා නැති පුංචි දෙපාවලට ඔව්න් විවෙකයක් ගත්තා. බෝක්කුව අයිනේ ඇති වතුර පාර ඔව්න්ගේ දාහය නිවන්නට ඇති.

එක් වරම අයියා නංගීට, අපි බොම්බයි මොටයි කමු කීවා. අපි ඉන්න තැනට එහා පාරේ පොඩි සිල්ලර කඩයක් තිබුණා. එතැන තමයි බොම්බයි මොටයි තිබුණේ. නංගී උත්තර දුන්නේ නෑ! ඒ උනත් ඒ පුංචි ඇස් ආසාවෙන් දිලිසුනා! අයියා එක පිම්මේ දුවගොස් බොම්බයි මොටයි ගෙනාවේ නංගී කට අරින්නත් කලින්. මොහොතකට පෙර ආසාවෙන් දිලුණු ඇස් කඳුලින් අඳුරු වෙලා තිබුණා මට අද වාගේ මතකයි. අයියේ !!! ඒ කටහඬ ඇඩුම් බරයි. නංගී අයියාට කතා කරනවා. අපි දැන් කොහොමද යන්නේ? මට තේරුණේ එතකොටයි දෙන්නා පයින් මේ දුර ගාටා තියෙන්නේ ඉතිරි දුර බසයේ යන්න කියන එක. එතන ඉඳන් රුපියල් එකයි සත පණහක් භාගේ ටිකට්ටුව.

රුපියලයි තියෙන්නේ අයියා සැර වුණා එනවා පයින් යමු. බෝක්කුව උඩ අතහැරි තමන්ගේ ඉටි බෑගය ආයෙත් කරට ගත් ඔහු නංගීගේ අතින් අල්ලා ගත්තා. අවුරුදු අටක් පමණ වයසැති කුඩා නංගී කඳුලු පිරි ඇසින් අයියාගේ අත ගසා දමා පිය මනින්නට ගත්තා. බසයේ නලා හඩ ඈතින් ඇහුනේ ඒ මොහොතේයි. අපේ ගමේ පාරේ වංගු නිසා බොහෝ දුරක වුනත් නලා හඩ ඇසෙන්නට පුලුවන්. ඒ ඇසුනු සැනින්, ඈතට ඇවිද ගිය පොඩි වුන් දෙදෙනා ආපහු මා සිටි බස් නැවතුමට දිව එන්නට පටන් ගත්තා. එතනට ලං වුනත් අයියාත් නංගීත් බර කල්පනාවක හිටි බැව් මට මතකයි. රුපියලක මුදලින් ඒ දුර දෙන්නකුට තබා එක් අයෙකුටවත් යන්න බැරි බැව් මේ පොඩි වුන් දැන ඉන්න ඇති. බසයේ ඊළඟ නලා හඩ ඇහෙන විට අයියා නංගී යන්න යැයි කීවා. නංගී අඩන්නට උනා. තමුසෙට පයින් යන්නද ඕනේ යැයි අයියා අහන විට නංගී තවත් හැඩීම වැඩි කර අයියා නැතිව යන්න බෑයි කීවා. බසය ළඟ ළඟම එන විට අයියා නංගීව බසයට නැංවීමට තල්ලු කරමින් සිටියා. නංගී අඩමින් පොත් බෑගය විසි කර දැමුවා. අයියා නංගී දිහාත් පටිය ගැලවුණු පොත් බෑගය දිහාත් බලාන හිටියා. නංගී අඩමින් පොත් බෑගය එකතු කර ගෙන අයියා ළගට ආවා. ඒ සමගම ආ බසයට මම නැඟ ගත්තත් ඔව්න් දෙදෙනා පාරේ ඉතිරි වුනා. සිලිං ශබ්දය නගමින් යමක් බසය අද්දනවාත් සමග බිමට වැටුනා. පොඩි වුන් දෙන්නා පිටත්වූ බසයේ දුහුවිල්ල අතර නොපෙනී ගියා.

අද මේ දෙදෙනා කොයි සිටින්නේ දැයි මම නොදත් මුත් පුංචි මගේ සතුව තිබූ රුපියල් දෙක ඔවුනට දෙන්නට පමා නොවුනානම් කොයි තරම් අගේ දැයි මට පසු කලක සිතුනි. මං අත තිබූ රුපියල් දෙක බසයට නගිනවිට බිම දැම්මේ ඔව්නගේ අතට එය දෙන්නට තරම් හයියක් මගේ හිතේ නොතිබුණු නිසා යැයි මම සිතමි. එය එසේ වූවානම් ඔව්න් කුමන ප්‍රතිචාරයක් දක්වන්නට තිබුණිද?

ගමට යන විට මේ තැන් දකින විට අහිංසක පොඩි වුන් දකින විට අදත් මට මෙය හිත තුල නැගේ!!!





Saturday, August 6, 2011

අහස සේ ඔබ අනන්තයි...

අහස සේ ඔබ අනන්තයි...

සයුර සේ ඔබ අනන්තයි...

මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි...

ඔබ අනන්තයි...


වෙණ තතක් හැඬවෙන තැනත් ඔබ

මධුවිතක් උතුරණ තැනත් ඔබ

තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ

පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ


අඩසඳක් සැඟවෙන තැනත් ඔබ

රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ

සිසිලසක් දනවන තැනත් ඔබ

උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ


පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - රෝහණ වීරසිංහ



ප්‍රේමයේ සොඳුරුතම හැඟුම් පිබිද

ආදරය කරන ආදරය පිරි පෙම්වතියකගේ හදවතේ නැගෙන

අව්‍යාජ සුපසන් හැඟුම් වදන් පෙළක ගොනු කර ඇති අරුමය

නාද සිත්තම

නන්දා මාලිනිය ගේ භාව පූර්ණ හැඟුම්බර ගැයුම

බලන්න පෙම්වතියගේ බැතිය ඈ සිත් තුල

ඇයගේ පෙම්වතා ගැන ගැයෙන පද පෙළහි ඇති සංයමය

නිවී සැනැහෙන

සුන්දර සැබෑ සොඳුරු ආදරය......................​........


අසා බලන්න http://www.youtube.com/watch?v=A1QddyTSpz8