Saturday, March 10, 2012

අම්මා සහ අම්මාවරුනේ

ඉස්සර ඉඳන්ම අපේ ගමේ රජයේ රස්සාවක් කරන දෙපලක් විදිහට අම්මගෙනුයි අප්පච්චිගෙනුයි එක එක රජයේ ලියුං කියුං ආදී වැඩ වලදි කතා බහ කරන්න බොහොමයක් දෙනා ආවා ගියා. අම්ම විශ්‍රාම ගියාට පස්සේ ගමේ පොඩි දරුවන් බොහොමයකට ඉංගිරිසිය කියල දෙන්න අම්මට බල කලේ අප්පච්චිම තමයි. ඒ හංදා බොහොමයක් විට පුංචි උන්ගෙන් ගෙවත්ත පිරිලා තිබුණා. අපේ අම්මත් බොහොම ආසාවෙන් ඒ කටයුතු කරා. ඇත්තටම ඒ දරුවන්ගේ මව් පියන් ගෙනත් දුන් දෙල් ගෙඩිය, බතල අලය වැනි දේවල් මුදලට වඩා කොයි තරම් වටිනවාද කියලා නෙකිවමනායි. ඒ හැම දේකම ගෑවී තිබුණ මනුස්සකමේ සුවඳ අනිත් හැම දේටම වඩා වටින බැව් මගේ මව්පියන්ගේ අදහසයි.

මේ ටික හරි ලියන්න හිතුනේ අම්මා අප්පච්චි ගැන වෙන දෙයක් ලියන්න කලින් ඔව්න් ගත කරන අපූරු ජීවිතය ගැන අදහසක් කියන්නයි.

එදා ඉඳන් අද වෙනකම්ම අපේ ගෙදර දොරකඩ ගමේ හැම දෙනාටම විවෘත තැනක්. ඒ හිංදමද කොහෙද බොහොමයක් දෙනා පාර දිගේ යන අතර ඇබිංදකට හරි ගොඩ වෙලා බුලත් විටක් කාලා යන්න අමතක නොකරන්නේ. අපේ අප්පච්චි මොන තත්වයකදී වුණත් බුලත් විටෙහි ඇති අඩු වැඩිය අමතක කරන්නෙ නෑ. (ඇත්තටම මමත් බුලත් විට කන්නේ නෑ. ඒත් මේ බුලත් විටේ ඇති දේවල් නොවන ඊට පිටුපසින් දුවන කාරණා ගැන ඉඩ ඇති වෙලාවක ලියන්නයි හිතන්නෙ. )

ඇත්තටම මම ලියන්න හැදුව දේ ගැන ලියන්න පටන් ගන්නේ දැන් තමයි.

අපේ ගෙදර තියෙන්නේ වටේට ගස් ගොඩක් තියන තැනක කීවත් වරදක් නෑ. ඒ හංදම ගේ ඇතුලට
ගුලි ව ඉන්නවට වඩා අපි පුරුදු වෙලා තියෙන්නේ ගෙයින් පිට වාඩිවී ඉන්නයි. බොහොමයක් දෙනා ඇවිත් කතා බහ කරන්නෙ මේ ගස් පිසගෙන එන සුළං හමන මේ එලිපත්තේ තියන විවෘත පෝටිකෝව යටයි. දවසේ වැඩ අවසන් වුණාම පවුලේ හැමෝම මෙතනට ඇවිත් රාස්සිගේ අවුව බැහැලා වවුලන් පියාඹන තුරු කතා කරන්න පුරුද්දක් තිබුණා (හවසට වව්ලන් ගනන් කිරීමේ තරඟ ගැනත් පසුව කියන්න ඕන). සමහර දවසක ගමේ කවුරුන්හරිත් මෙතන හිටියා.

බොහොමයක් විට මට දැන් ගෙදර යන්න ලැබෙන්නේ දෙසති යකට වරක් වුණත් ඒ ගියාමත් අපි හවසට මෙතන ඉන්නෙ හරිම සැනසීමකින්.

පහු ගිය දවසක මම ගෙදර ගිය මොහොතක අම්මත් මමත් කතා බහක හිටියේ මෙන්නම මේ තැනයි. සාමාන්‍යයෙන් කලාතුරකින් දකින කඳුළු පුරවගත්ත ඇස් දෙකකින් අම්මා කතා කරන්න ගත්තා. (ඇත්තට ම අම්මලා අඩන්නේ නැතිද කඳුළු එන්නේ නැතිද කියන එක බොහොමයක් දරුවනට ඇතිට ප්‍රශ්නයක්. ඒ අම්මලා කඳුළු හංගන්න දක්‍ෂ නිසා වියයුතුයි)

හැබැයි එදා අම්මගේ ඇස්වල සැබෑම කඳුළු පිරවී තිබුණා. සාධාරණ හේතුවක් මටවත් ඒ ගැන හිතන්නට බැරි වුණ හංදා මම ඇහුවා මොකද අඬන්නේ කියලා. හේතුව ඇසුනාම තමයි මට දැනුනේ යම් පද පෙළකට කොයි තරම් සංවේදනයක් මිනිසකුගේ සිතේ ඇති කරන්න පුළුවන්ද කියලා.

අපේ අම්මගේ අම්මා (අපේ ආච්චි) මැරිලා වසර 30කට ආසන්නයි. එදා ඉදන් අද වෙනකම් නොයෙක් වෙලාවලදී අම්මට තමන්ගේ මව සිහි වෙන්න ඇති. හැබැයි ඒ කවරදාටත් වඩා අම්මාට මේ පද පෙළ අසා එදා හිත කම්පනය වී තුබුණා

අම්මාවරුනේ…
අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා……
ඒ කඳුළැලි පිසිනා

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ… අම්මාවරුනේ…
සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ


අපූර්වතම පද පෙළටම සරිලන සංගීතයත් හිත් තුල දෝංකාර දෙන නන්දා මාලිනියගේ භාවාත්මක ගැයුමත් අම්මාගේ හිත තමන්ගේ මව ගැන සිහි ව අතිශයින් කම්පා කරන්නට සමත් ව තිබුණා.
සැබැවින් ම දිවි ගමනේ මේ තරම් අත් දැකුම් ලැබ දරුවන් හදා වඩා උගෙන්වා උස් මහත් කර පරිණත වූ අම්මා, තමන්ගේ මවගේ අභාවයෙන් වසර 30කට පසු වුවත් මේ ගීතය ඇසීමෙන් මේ තරම් කම්පනයක් සිත තුල ඇති කරලීම ගීතයේ ඇති භාවමය ආශක්ත බැව් මොනවට කියා පාන බැව් මගේ හැඟුමයි.

1 comment:

  1. මුහුණු පොතේ රනිල් සොයුරාගේ Nanda Malini ගීත එකතුවෙ හි
    තිබෙනු දැක ලියා තබන්නට සිතුණා

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!