Tuesday, January 31, 2017

සුහුරුලිය හා තෑගි

ජීවිතේ මහන්සිය මැකෙන්නේ මනුස්සකම් පිරුණු මිනිස්සු හංදා කියන එක මම එදා ඉඳන් හිතන දෙයක්! 

ඇය වව්නියාව චෙට්ටිකුලම් ප්‍රදේශයේ කාන්තා කටයුතු පිළිබඳ නිලධාරිනියක්! ඇයත් සමඟ අද ඒ ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායකයින් දෙදෙනෙක් අපිව බලන්න තෑගි බෝගත් අරගෙන ඇවිත්! අපි මාස පහකට කලින් සුහුරුලිය කියන වැඩසටහනේ මූලික වැඩමුළුවේදී යාපනේදී ඔව්න් අපට හම්බ වුණා. එදා ඔව්න්ගෙ තල් කොළ වලින් කරපු අලංකාර වෙළඳ භාණ්ඩ විකිණුනේ නගරෙ පොලේ විතරයි. අද ඔව්නගේ ව්‍යාපාර පුළුල් වෙලා ඉන්ටර්නෙට් එකෙන් ගණුදෙනුකරුවන් හම්බ වෙලා! ඔබටත් ඔව්න් හම්බ වෙන්න පුළුවන් මොකද තව සති කීපයකින් BMICH එකේ පොළටත් ඔව්න් එනවා!

වේගයෙන් ඇදුනු රථයක අපි කිහිපදෙනෙක් අවට බලමින් ගියේ නගරයේ කලබලයෙන් මිදුණු සතුටත් හිත දරාගෙන විය හැකියි. පිලිපීන ජාතික සහෝදරියක් වගේම තවත් ඈයින් කිහිපදෙනෙක් ඒ අතර හිටියා. මාස පහකට කලින් යාපනය දිස්ත්‍රික්කයේ සුහුරුලිය (පුතුමයිප්පන්) වැඩසටහන හඳුන්වල දෙන්න ගිය ගමනයි ඒ. කොයි තරම් වැඩමුළු කලත් ගමනාන්තයේ කරන්න හදන දේ ගැන හිතේ පොඩි කුකුසක් නොතිබුණා නොවෙයි. මොකද නගරයෙන් ඇවිත් වැඩමුළු තියල ආපහු නගරෙට යන වැඩසටහන් ගැන කාගෙවත් විශ්වාසයක් නැති හංදා. සුහුරුලිය ඊට වඩා දුරගිය වැඩසටහනක් කියල කියන්න උත්සහ කරත් ඒ ගැන උනත් සමහර විට ගැටළු තිබුණා.

වැඩමුළුව ක්‍රියාත්මක වුණා අපට බොහොමයක් සහෝදරියන් වගේම නැන්දලාත් හම්බ වුණා. ඔව්න් අපි කියන දේ අපේ සම්පත් දායකයින් ප්‍රායෝගිකව ලබා දුන්නු දැනුම ගැන උනන්දුවෙන් බලා හිටියා. අපිත් ඔව්න් දෙස සතුටින් බලාගෙන උන්නා. ඒ උනත් මෙතනින් ඉස්සරහට යන එක ඒ තරම් පහසු නැති බව අපත් ඔව්නුත් දැන හිටියා. දැනුම, අන්තර්ජාල ප්‍රවේශයේ ගැටළු, ආර්ථික අපහසුකම් වගේ දේවල් ගොඩක් අපත් ඔව්නුත් ඉදිරියේ වසා හිටියා. කමක් නෑ අපි හැකි උපරිමයෙන් උත්සහ කරමු අපිත් උදවු කරන්නම් කියලා අපි ආපහු නගරයට ආවා!

සමහර වෙලාවට අපි ගමන් කරන කඳු කැලෑ අතරින් තියන වළ ගොඩැලි බාධකයි යන්න තියන දුරයි දකිනකොට ගමන් කරන අයට වගේම වාහනයට උනත් මහන්සි දැනෙන්න හැකියි!:)

ඒ වෙලාවට මෙවැනි ආදරයක් අපි කරන දැයින් මනුස්සයෙක්ගේ ජීවිතය වෙනස්වනවා දකින්න ලැබෙන එක තරම් වාසනාවක් තවත් නෑ කියල හිතෙන්නේ!

සුපුන්ණා හා කසුන් ඇතුළු මේ වැඩ සටහනේ දරදිය අදින අපේ කණ්ඩායමටම හිතට අපූරු සතුටක් ඊ්යේ දවසේ ලබා දුන් ඔබට ස්තූතියි!