Saturday, June 8, 2013

ගමනක් මැද ගමනක් - දින දෙකක්



ජීවිතේ සමහර දේවල් අපට හමුවෙන්නේ බොහොම කලාතුරකින්.  ඒ අතරින් සිදුවීම් සහ අවස්ථා කියන දේ අත් දකින්න ලැබෙන්නේ ජීවිතේ ඒ මොහොතේ පමණක් බැව් අයෙකුට හිතිය හැකියි.  අපි හැමදාකම එකතු වෙන හම්බවෙන කණ්ඩායමක් වුණත් කෙටි කාලයකට හරි එකම කුඩා කුටියට ගුලිව ගත කල දින දෙකක් ගෙවී ගියා. ඒ අපි මේ ජීවිත කාලයේ ගත කල තවත් එක් අපූරුම අමතක නොවන දින දෙකක් බැව් නොකිවමනායි. එකම රටක වුණත් නොයෙක් තැන්වල නොයෙක් කාලවල ඉපදිලා එකම තැනක හමුවීමත්. නැවත ඒ හමුවීම කණ්ඩායමක් විදිහට එකතු වීමත් අහඹුවක්ම යැයි නොකිව හැකි තරම්! 

බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයන් හි කලබලකාරී ම මොහොතක් ගත කරන වේලාවක අපූරුම සැනසුමකින් යුතු වූ මිනිසුන් පිරිසක් රැගත් කුඩා වෑන් රථයක් නගරයෙන් ඉවතට පිටව ගියා.  කාලය ඉතා හෙමින් ගතවූ ඒ රථය තුල ගිය වුන් දෙස මහමග කඩිමුඩියේ දුවන මිනිසුන් මොහොතක් හෝ බලන්නට ඇති.

ගමන පටන් ගත්තේ  දවසේ ගමනාන්තය වුණ වස්ගමුව බලා ඉක්මනින්ම ළඟා වෙන්න වුණත් අතරමංවල කෑම බීම ගැන කටයුතුත් එක්ක හවස තුන හමාරට අපි වස්ගමුවට ළඟා වුණා.කොළඹ ඉඳන් දඹුල්ලට ගොහින් මාතලේ පාරේ කණ්ඩලම හන්දියෙන් හැරිලා බකමූණ හරහා ගමන අපූරු ගමන් මගක්.  මේ මගේ යන අයෙකුට මහපාරේ නිදා ගන්නත් හැකි බැව් යමෙකුට පෙනී යා හැකියි.

හවස එකතු වුණ පිරිස කැළෑවට ගමන් කලා. සුපුරුදු පරිදි ජීප් රථ රියදුරා අලින් පසුසප යන්නටත් අලියන් කුලප්පු කරන්නටත් උත්සහ කරා. මේ දේ දකින විට අලියාෙග් නිවහන තුල අලින්ගේ නිදහස කොයි තරම් සීමා වී තියේ දැයි යන්න කිව යුතු නොහෙයි. අනිකුත් කැලෑ අලින්ට වඩා තරමක් වස මේ අලින් ලවා තමන් එක්ක ගමන් කරන සංචාරකයින්ට ත්‍රාසජනක අත්දැකීමක් දෙන්නට රියදුරන් කරන මේ උත්සහය සැබැවින් ම කල යුත්තක්ම නොවන බවයි මගේ හැඟුම.  කොයි හැටි වෙතත් කුඩා ජීප් රථයක කුටියකට හිරව හිටි අපේ කණ්ඩායම පස්සෙන් අලියෙක් එළවාගෙන ආපු වෙලාවෙන් පස්සේ නම් "එ්කත් හොඳයි "  කියලා නොහිතුනාමත් නොවෙයි.  ඇත්තටම එය අපූරු ත්‍රාසජනක අත්දැකුමක්.  ජීප්රථය පස්සෙන් අලියා ආ වේගයත් අපි ගමන් කල වේගයත් බැලූ විට අලියාට අපි ළඟට එන්නට ඒ තරම් අමාරු නොවෙන බව් හැමෝටම තේරුම් ගිය දෙයක්.  ඒත් එතන හිටි හැම දෙනාටම වාෙග් බය අමතක වී කැමරා අටවන්නට පටන් ගැනීමත් එක්කම රථය නතර කිරීමත් ඒ එක්කම අලියා නතරවීමත් සිදු වූයේ අලියා කැමරාවලට මුහුණ දෙන්නට අකමැති නිසා විය යුතුයි :).  ඇත්තෙන්ම තමන්ගේ රංචුෙව් කොටසක් පාර එහා පැත්තේ ඉන්නා විට තමන්ට පාර මාරු වෙන්නට ඉඩ නොදී එහෙට මෙහෙට කරන ජීප් රථයත් එහි ගමන් ගන්නා මිනිසුන් ගැනත් අලියාට තරහවකටත් වඩා කලකිරීමක් ඇතිවන්නට ඇති.  ඉතින් මේ ගැන අපි කොයි තරම් කියුවත් හැන්ද තියෙන්නේ වනාරක්‍ෂක නිළධාරී අතේ හිංදා ඒ කතාව එතනින් නතර කරනවා.  හැබැයි මේ සිදුවීමෙන් තවත් එක අමතක නොවන අත්දැකීමකට අපි එක කණ්ඩායමක් විදිහට මුහුණ දුන්නා.

හවස හය හමාරට නැවත නවාතැනට අාපු අපිට තවත් ගමනක යෙදෙන්නට අවස්ථාව ලැබුණා. ඒ රෑ අට හමාරට විතර කැලෑවේ අලි ගැවසෙන තැනක ඇති  වැව් තාවුල්ලකට. තරමක අවදානමක් නොතිබුණා නොවුනත් හැම දෙනාම එක පයින් මේ ගමනට එකතුවුණා.  නුදුරු කලක ලැබුණු වැස්සෙන් තෙත්වූ ගහ කොළ අතර තෙත් නොවූ දර කොට කැබලි හොයන්නට එක කණ්ඩායමකුත්  හොයන අයට ආරක්‍ෂාව දෙන්න තව කණ්ඩායමකුත් අවශ්‍ය අාෙලා්කය දෙන්නට තවත් පිරිසකුත් විදිහිට මුළු කණ්ඩායමම ගිණි ගොඩක් ගසා ගැනීමේ මෙහෙයුමට දායක වුණා.  සැබැවින්ම ගිණි ගොඩක් ගසා ගැනීම එතන රැඳෙන්නට අවැසි පළමු සාධකයක් වුණේ වන සතුන් එතැනට එන එක නවත්ව ගන්නට තියෙන හොඳම ක්‍රමය ගිණි ගොඩ නිසාවෙනුයි. තරමක උත්සාහයකින් පස්සේ මහත් වෑයමින් දල්වාගත් ගිණි මෙලය හැම දෙනාගෙම මුහුණු එළිය කලා. ඒ කණ්ඩායම් උත්සහය සියළු දෙනා තුලට නව අත්දැකුමක් ගෙන ආ බැව් සහතිකයි. කැලයටවත් එහි සතුන්ටවත් හානි කරන කිසිදු අදහසකින් තොරව දැවුණු වැව් බැම්ම අසල ගිණි ගොඩත් ඒ වටේට හිටි මිනිසුන් දෙසත් අවට ගහකොළ නිසලව බලා සිටින්නට ඇති. සමහරවිට වන සතුන් පවා!

ගිණිමැලය නිවෙන්නට පැය දෙකක් පමණවත් ගත වෙන්නට ඇති. යලි නවාතැනට ආ  අපේ රාත්‍රිය සුපුරුදු පරිදි ඉතා දිගු සුන්දර නමුත් අපූර්ව එකක් වුණා. එක් පසකින් විසල් වෙල් යායකටත් සහ අනික් පැත්තෙන් වැව් තලයටත් පසුපසින් ගමටත් මායිම් වූ විසල් සඳළුතලයක් සහිත සාමාන්‍ය මට්ටමේ උඩුමහල් නිවහනක් අපට සෙවන සැලසුවා.  නගරයේ බොරු ආටෝපයෙන් සහ කෘතීම පරිසරයෙන් මිදුණු මේ නිවහනේ සඳළුතලය තුල ගෙවුණු නිමේෂයන්වලට සැබැවින්ම විසල් වටිනාකම්ක් තියෙන බැව් නොකිවමනයි. අවට වනයෙන් නැගුණු නොයෙක් හඬවල් ගී රාවයන් අතර මුසු වී ගියා. ඈත වෙල්යායත් වැව්තලයත් පිසගෙන පැමිණි සීතල සුළං රළින් නගරයේ අපවිත්‍ර සුළඟින් විඩා වූ සිරුර පිස දැමුවා. ජීවිතයේ තවත් එක් දිනක් ගතවී තවත් දිනක් උදාවෙන්නයි සූදානම!


උදේම නැගිට දතකට මැදකියා ගත්තට පස්සේ හැම දෙනාටම ඕනෑ වුණ දෙයක් තමයි කොහෙන් හරි හොඳට නා කියා ගන්න එක.  වැවේ ඉඳන් ගලා යන විසල් ඇළ මග ඒ කටයුත්තට ඉහටත් උඩින්. උදේ ඉඳන් වෙල්යාය දිගේ ඈතට නිදහසේ ඇවිද ගිය කණ්ඩායමේ හැම දෙනාම පාහේ නවාතැනේ වූ නාන කාමරයට ආයුබොවන් කියලා අැනිකට් එකක් ළඟ වතුර පාරට බැස්සේ සීතල ගැනත් හිතමින්.සීතල නමුත් පිරිසිදු වතුරත් ඇළ පාරේ මාළුන්ගේ සම්බාහනයක් පෙරදා තෙහෙට්ටුව මකන්නට උදව් වෙන්න ඇති. නැවත ගොඩට ආ යුතුමයි කියන විධානයක් ලැබෙන තුරුම හැම දෙනාම ඇළ වතුරේ පහස ලබමින් හිටියේ ඒ නිසා විය යුතුයි.  කොහොම වුණත් මේ තරම් අපූරු නෑමක් තවත් නැතැයි කී බොහොමයක් දෙනාට ඒ කතාව වෙනස් කර ගන්නට එදා දවසේම සිදුවුණා. ඒ කටයුත්ත වෙන්ෙන තව ඉදිරියට!

කොහොමින් කොහොමින් හරි ගොඩට ඇවිත් ඉක්මනින් නමුත් බඩ කට පිරෙන තුරු උදේ ආහාරය ගිල දමා නැවතත් අපි වෑන් රථයට ගුළි වුණා.  ඉඳි ආප්ප පාන් බත් පොල්සම්බෝල පරිප්ප සහ සැමන් යන ආහාරවලින් ඉස්මුරුත්තාවට එනතෙක්ම වාෙග් ගත්තු මේ උදේ ආහාරයත් අපට හැබෑම උදව්වක් වුණු නිසයි විශේෂයෙන් සඳහන් කරන්නට හිතුවේ. 

තරමක් මන්දගාමීව ගමනේ යන අපේ රියදුරු මහතාත් එක්ක නොයෙක් කතා මැද කතා අතරින් අපි පිටත්වුණේ රිවර්ස්ටන් යන්නටයි. තාක්‍ෂණ උපාංගත් ඒවාට ආසාකරන්නවුනුත් අඩු නොවුණු කණ්ඩායමේ පාර හොයා ගැනීමේ ඉඳන් වට පිට විත්ති ගැනත් හැම තිස්සේම වාර්තා කරන්නට කවුරුන් හෝ හිටියා. දකුණු පළාතේ ධීවරයන්ගේ අතුරුදහන්වීමත් දිවයින පුරු පැතිරෙන ඉතා අයහපත් කාලගුණය ගැනත් අතරින් පතර යමෙක් කතා කලා. මේ හැම දෙයක්ම මැද්දෙන් රිවර්ස්ටන් වෙත යන කඳු පාර දිගේ අපේ වෑන්රථය අපහසුවෙන් ගමන් කරමින් තිබුණා.  වෙනදාට වඩා තරමක තද සුළං සහ වැසි තිබෙන බැව් පාර දිගට කඩා වැටී තිබූ ගස් වැල් පෙන්වා දුන්නා. වෑන් රථය අවසානයේ තෙල්ගමු ඔය අසලට ආවා. 

කොහොමටත් සීතල වතුල පිරි තෙල්ගමු ඔය  වතුරින් පිරී වේගයෙන් පහලට ගලමින් තිබුණා. ඒ අතර හමන හුළඟත් ඒ හුළඟට මුහුව එන වැහි වතුරත් ඇඟ විනිවිද යන හීතලක් අපට ලබා දුන්නා. මේ මොහොතේ මෙතැන නාන්නට තබා ඒ ගැන යෝජනාවක් කරන්නටවත් අයෙක් කැමති වේදැයි මට තවමත් සැකයක්. මෙතන අපි නාලා යමු කියන අදහස යෝජනා කරන්නත් එය ස්ථිර වන්නත් එතරම් කල් ගත නොවුයේ දවස් එක හමාරක කණ්ඩායමේ අත්දැකුම් නිසි වියයුතුයි.  මොකද හැම වේලාවේම කණ්ඩායමේ ඕනෑම අයෙකුගේ අදහසක් ක්‍රියාත්මක කල හැකිව තිබුණ නිසයි. වේගයෙන් ගලන පිරිසිදු වතුරත් සුදොවුන් පෙණ අතරේ තදින් හමන වැසි සුළඟෙන් සිරුර හිරිවට්ටාගනිමින් ජීවිතයේ කිසිදා නොලද අත් දැකීමක් එදා හැම දෙනාම විඳගත්තා.  වැදගත්ම දෙයක් වූයේ කණ්ඩාමමම හැම දෙනාගේම ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වීමයි. මා හිතන විදිහට වීරයන් වන්නට අවැසි නොවන තරමේ පරිණත බවක් කණ්ඩායමට තිබීම එයට හේතුවයි. මේ හේතුවම තවත් අවස්ථාවක් කණ්ඩාමමම ගලවා ගන්නට හේතුවනවා. ඒ ඉදිරියට.

පැය දෙකකට අාසන්න වෙලාවක් අධිශීතලක ගත කරපු හැමදෙනාම ගොඩට විත් නැවතත් වෑන් රථය තුල ගුළි වුණේ වෑන් රථය තුල උණුසුමත් විඳිමින්.  මෙතැන් ඉඳන් කි මි 12කට වඩා දුෂ්කර කඳු නැගුමක් ඇති රිවර්ස්ටන් වෙත යන්නට තීරණය කළේ මේ අත් දැකීම තවත් දවසක නොලබන බැව් හැමදෙනාටම තේරුම් ගොසින් තිබූ නිසා වියයුතුයි.  යන අතරමග විවිධ බාධක පසු කරමින් තවත් වේලාවක බිමට බැස වටපිට බලමින් හැම දෙනාම සන්සුන් සිතෙන් ගමන් කලේ මෙවන් ගමනක් තුල කාලය ගැන දුක් වන්නට කාලයක් නොමැති නිසා වියයුතුයි.  සැබෑවටම අයහපත් කාලගුණයත් වැස්සත් සමඟ සුළඟ එකතු වී  පෙනෙන මානයේ ඇති කඳු අතර විවිධ රටාවන් මැවී මැකී යනු දැකීමට ලැබීම අයෙකුට ජීවිතයේ බොහෝවරක් ලැබෙන අවස්ථාවක් නොවෙයි. 

තරමක මීදුමකින් සහ වැස්සක් අතරින් විශාල සුළඟකට මුහුණමින් අපි රිවර්ස්ටන් හි රථය නතර කලා. වේලාව ප ව 2.30 ට පමණ ඇති. අන් දවසක නම් අවට අතිශය තද සීතලකින් හා වැහිබිඳිති වලින් වැසීගත් මේ වටපිටාව තුල රිවර්ස්ටන් නැගීම තබා රථයෙන් බිමට බැසීමට මේ කණ්ඩායමේම  ඕනෑම අයෙක් දෙවරක් සිතනු නොඅනුමානයි.  ඒත් ගත කල දිනය ගැන අපූරු හැඟුමකින් පිරි කණ්ඩායම රවර්ස්ටන් වෙත පයින් යාමට තීරණය කලා. වැහි බිඳු හා සුළඟත් ඒටත් වඩා ඇති අධික සීතලටත් ගැලපෙන ලෙස හැකි තරම් තමන්ගේ ඇඳුම් සකසාගත් කණ්ඩායම මීදුමෙන් වැසීගිය කඳු පාර තුල ඉදිරියට ගමන්කළේ කි මි 2කට ආසන්න නැගීමක් ඇති බැව් නොදැන නොවෙයි.  කවුරුවත් මේ තරම් සීතකට ලැහැස්ති වී නො ආ නිසා හැම දෙනාම අධික සීතලක් දරාගෙන ඉදිරියට ගමන් කලා. වෙනදා දකින මිනිසුන් කණ්ඩායම් කඩ කිසිවක් නැති මේ දවස තුල යන ගමත කාටවත් අමතක නොවන බැව් කිවයුතු නොවෙයි.  සුළඟ හමන සුළං කපොල්ල වෙත ගමන් කල කණ්ඩායමට ඉන් එහාට යන්නට බැරි බව තේරුණේ තමනුන් සුළඟට ගසා යන්නට තරම් හුළඟක් ඇති බව දැන ගත් පසුවයි. පසුපස ආ පිරිසක් එතැනින් ඉදිරියට යන්නට යැයි කියුවත් ආපසු එන්නට අපි තීරණය කලා.  ඒ වන විටත් අතිශය සීතල සැඩ සුළඟ මැද කි මි 1කට වඩා ගමන්ගෙන තිබුණු අපි සුළඟට කඩා වැටී තිබූ අතු අතරින් පහලට අැවිත් නැවතත් වෑන් රථයේ උණුසුම තුල ගුළි වුණා. අතරින්පතර කූඩැල්ලන්ගේ කරදර විසඳාගනිමින් මාතලේ බලා ගමන් කරපු අපි හවස 5ට පමණ ආප්ප කිහිපයක් කන තුරු දවල් කෑම පමා වූ බව කාටවත් ඒ හැටි නොදැනුනේ ලැබූ අත් දැකුමත් එක කුටියක ගත කල අපූර්ව දින දෙකක මතකයන් හිත වෙලා ගෙන තිබූ නිසා විය යුතුයි. !