Sunday, May 6, 2012

අගේ ඇති දෙයක්!


හැබෑවටම ඒ දේ කොයි තරම් අමාරු වුණාද? එදා අපි බොහොමයක් දෙනෙක් අත් විඳි අපහසුකම් පිරි ගමනක ගිමන් හලක් දුටු දිනක් යැයි මට හිතුණා.

අපි හැම දෙනාටම අපූරු දේ එදිනෙදා සිදුවුණත් ඒ දේවල් කොයි තරම් හිතට දැනෙනවාද කියන්න අපිට මතක නැති වෙන්නේ මේ කඩිමුඩියේ දුවන දිවීමම වෙන්න පුළුවන්. හැබැයි සමහරක් දේ අපේ හිතේ ඇති කරන අපූරු සංවේදනා හිතේ කොයි තරම් වෙනසක් ඇති කරනවාද යන්න මට පසක් වුණ තවත් සිදුවීමක් එදා සිදු වුණා.

ගෙදර හරිම කලබලයක් ඇති වුණා මතකයි. ඒ තරම් පහසු වුණේ නෑ අවශ්‍යතාව පැහැදිලි කරන එක. විවිධ දෙනා ගෙදරට ආ නෑදෑයින් පවා ඒ ගැන විවිධ අදහස් පළකලා මතකයි. හැබැයි බොහොමයක් දෙනෙක්ට තමන් කියන දෑ ගැන විශ්වාසයක් තිබුණේ නෑ. ඇත්තටම ඔව්නට තබා මේ ඕනෑකම ගැන පොලොවේ හැපෙන්නට තරම් හේතුවක් මට තිබුණාද යන්නත් එහි ඇති ඕනෑකම ගැන කියන්නට දැනුමක් තිබුණාද යන්නත් හැබෑවටම මටත් සැකයක් වුණා. අවසානයේ බොහෝ වෙලාවට වුණා වාෙග් අප්පච්චි බොහෝ දෙනාගේ විරුද්ධත්වය මැද මට මෝඩමයක් අරන් දුන්නා. කිබ56 මෝඩමය තුලින් අන්තර්ජාලයට සම්බන්ධ වුණ දවස අපූරු දවසක් වුණා.

ඒ මීට වසර 15කට විතර කලින්, මුලින්ම ඉන්ටර්නෙට් කියන දේ හැබෑවටම පාවිච්චි කරන්න ලැබුණු අවස්ථාව. ඉංග්‍රීසිය ටිකක් අත පත ගා ගෙන ජාලයේ සරන්න පුළුවන් වුණත් බොහොම ඉංග්‍රීසි වෙබ් අඩවි කියවා බැලුවත් අපේ දේවල් ගැන යමක් හොයාගන්න තිබ්බ ඉඩ කඩ හරිම අඩුයි. ඒ හිංදමද කොහෙද ඉ-මේල් හැරුණු කොට වෙන දෙයක් ලියා ගන්න අමාරු වුණේ. මට මතක හැටියට හැමදාම වගේ සිංහල බසෙන් ලියවිලා තියෙන යමක් අැති තැන් හොයන්න අපි උනන්දු වුණා. එහෙම දෙයක් හොයා ගැනීම හරියට කාන්තාරයක වතුර හොයා ගත්තා වගෙයි හිතට දැණුනේ. එ් දවස් වල තිබුණු අපූරු සිංහල අඩවි ගැන අමතක වුණේම නැත්තේ එ් නිසා විය යුතුයි.

මේ හැම දේම ලියන්න හිතුවේ ඒ දවස් වල අපි හිතපු පතපු දෑ මේ වන විට සිද්ධ වෙමින් යන හිංදයි. සැබැවින්ම සිංහල යුනිකෝඩය අපේ අන්තර්ජාල අන්තර්ගතවලට හැබෑම වෙනසක් එකතු කලා. මම හිතන විදිහට පහු ගිය වසර 5 ඇතුලත අපේ රටේ පාසැල් ලියන්නන්ගේ ඉඳන් වෘත්තීයමය ලියන්නන් දක්වා අන්තර්ජාලයට එකතු කරපු අන්තර්ගතයන් ඊට පෙර වසර 20ට ම වඩා වැඩි ඇති.

හැබැයි කාලයක ඉඳන් සිංහල ලියන්නන්ට තිබුණු ප්‍රධානම ප්‍රශ්නේ තමයි අවශ්‍යතරම් යුනිකෝඩ ෆොන්ට තිබුණෙ නැති එක. හැම ලිවීමක්ම එක වගේම තමයි ලියැවුණේ. හැබැයි එහෙම කියලා ලිවීම කවුරුත් නවත්වපු නැති එක වාසනාවක්.

ඉතින් පහුගිය දවසක එලි දැක්වුණු නව යුනිකෝඩ ෆොන්ට 6 අපූර්වත්වයක් අපට ගෙන එයි කියලයි හිතන්නේ. ඒ එක්කම යුනිකෝඩ ෆොන්ට හදන හැටි ගැනත් එහි රීතීනුත් පිළිබඳ සම්පූර්ණ තොරතුරු නොමිලේම ලබා දෙන එක අපේ බස ඉදිරියේ ප්‍රවර්ධනයට හැබෑවටම වැදගත් වේවි. දේශීය අන්තර්ගත ප්‍රවර්ධනය කරන නිමැවුම්කරුවන් වන අපූරු බ්ලොග්කරුවන්ගේ සිට අන්තර්ජාලය භාවිතා කරන බසට හිතැති හැම දෙනා එහි ඉදිරි මඟට දායක වේවි.

හැබැයි මට මුලින්ම ලියන්න පටන්ගන්නකොට ලියා ගන්න ඕන වුණේ තවත් දෙයක් ගැනයි. අපි අවුරුදු ගානකට කලින් දුටු අත් විඳි දෑ කොහොමටවත් ඊළඟ පරපුර අත් දකින එකක් නෑ. මොකද ඔව්නට පෙනෙන්නේ අත් දකින්නේ කවුරුන්ගේ හෝ මහන්සියක ප්‍රතිඵල හිංදා. ඒ වාගේම සිංහල අන්තර්ගතයන් අන්තර්ජාලයේ ප්‍රවර්ධනය කරන්නේ කුමකටද කියන ප්‍රශ්නය අසන්නන්ටත් නොදැනේවි තමන් කිසිදා මේ අත්දැකුම නොලද නිසා එහි ඇති අරුමය එහි ඇති අපූර්වත්වය එහි ඇති ආඩම්බරය එ් හැමටම වඩා එහි මුළුමනින්ම තැවරී ඇති අපේකම.

ඉතින් මට පුංචි වුණත් මේ කතාව ලියා තබන්න හිතුනේ සිංහල බසේ අන්තර්ජාල ආගමනයේ හා පරිණාමයේ ඇති අපූර්වත්වය හා එය ප්‍රවර්ධනයට කැප වූ මහා විසල් පිරිසකගේ හදවතින් හමන අපේ සුවඳ ගැන සැක සිතෙන කාට හෝ අයෙකුට කවදා හෝ දැක බලා ගන්නයි.

Tuesday, May 1, 2012

වාසනාවන්ත පියෙක් සහ දියණියක්

අතිශය කලබලකාරී කලක් ගත වෙමින් පවතිනවා එදිනෙදා! ඒ නිසා ලිවීමට ඇති ඉඩ ඇහිරිලා ගිහිං.

ඒ නමුත් මිනිසුන්ගේ භාවයන්ගේ අපූර්වත්වය දකින විට ඒ ගැන වචනයක් හෝ ලියැවීම මැනවැයි හිතෙනවා. ඒ පාසැලට සොයුරියව ඇරලන්න ගිය මොහොතේ දුටු අපූරු දසුනක් නිසාවෙන්.

කාලය ඉතා කඩිනමින් ගෙවෙමින් තිබුණ බවට ඇති සලකුණක් වූයේ පාසැල් ඇඳුමින් සැරහී වුන් පොඩි උන් මහත් හදිසියෙන් පාසැල් දොරටුව වෙත දුවනු දැකුමෙන්. මග දෙපස දරුවන් මව්පියන් ආදී බොහෝ දෙනා විවිධ කටයුතු වල නියැලිලා. ඇත්තටම දරුවගේ අවැසිතා බලා පාසැලට දරුවා පිටත්කර හැරීම ඒ තරම් පහසු නොවන බැව් නොකිවමනායි. කුඩා දරුවන් ඉගිල්ලෙන්නට වෙර දරන කුරුළු පැටවුන් මෙන් බෑගය අදිමින් ඉදිරියට ගමන් කලා. අප පාසැල් ගිය යුගයෙන් දශකයකටත් වඩා පසුව වුවත් පාසැලට යන දරුවන්ගේ ගමන එදා වගේමැයි මට සිතුනා.

කෙතරම් පෙර සූදානම් වුවත් බොහෝ දෙනෙක් පාසැලට පැමි‍ණෙන මොහොත අවසන් අඩපැය බැව් නොකිවමනායි. ග්‍රාමීය, අර්‍රධ නාගරික, නාගරික වුවත් එහි ඒ තරම වෙනසක් නෑ. ඉතින් පූර්ණ පහේ නාගරික පාසැලට තමන්ගේ දරුවා නිසි වේලාවට ඇරලීමත් තරමක් අසීරු බැව් පෙනෙන්නේ බොහොමයක් මව්පියන් තම දරුවා පාසැලට ඇරළා විගස දිවයන අයුරු දැකුමෙන්. මේ කඩිමුඩිය තමන්ගේ රථය පැදවීමේදීත් දක්නට ලැබුම එහි ඇති සමාජමය බලපෑමෙහි ප්‍රමාණය දැක්වීමක්. බොහෝ දෙනෙක් මාර්ග නීති තබා අන් රියදුරන් පදිකයන් මායින් නොකරමින් තම රථය දුවවන්නේ කොයි තරම් අසීරු දිවුමක් දැයි නැවත පසක් කර දීම අවැසි නැති බවයි මගේ හැඟුම. කාර්‍යාල වේලාව පාසැල් වේලාව මව් පියන් හා දරුවන් තරඟයක දුවවන බැව් යමෙකුට පෙනී යා හැකි තරමේ කලබලයක් පාසැල අසල දැකිය හැකියි. 

පාසැලට දරුවා ගෙනවිත් හැරලීම සහ දරුවා බසයක හෝ වෑන් රියක පැමිණීම අතර ඇති වෙනස දරුවාට ලබෙන සමාජමය අත් දැකුම් හි ඇති කරන වෙනසට බලපෑමක් ඇති කල හැකි බැව් මගේ පුද්ගලික අදහසයි. එසේ වුවත් අද සමාජය තුල දරුවාගේ ආරක්‍ෂාව ගැන ඇති සහතිකය කුමක්දැයි අයෙකුට පැනයක් නැගිය හැකියි. ඒ නිසාම විය යුතුයි බොහොමයක් මව්පියන් කෙසේ හෝ දරුවා තමා කැටුව යන්නට වෙර දරන්නේ.

ඉතින් එදා උදෑසන මේ කලබලය අතර බොහෝ දරුවන් පාසැල තුලට පිය මැන්නා. බොහෝ දෙමාපියන් තම රථය ගේට්ටුව ළඟට ගෙන දරුවා රථයෙන් මුදා හල අයුරුත් ඉන් පසු කඩිනමින් ඉදිරියට යන අයුරුත් නැවත නැවත අනවරතව සිදු වෙමින් තිබුණා. එනමුත් රථයක් නවත්වා දරුවා බිමට බට පසු වැඩි වේළාවක් රැඳීමට අවකාශ නොතිබුණේ පසුපස රථයෙන් ඉදිරියට යන ලෙස ලැබෙන නලා සන් හඬ නිසාවෙනුයි. එනිසා බොහොමයක් දෙනා තම දරුවා දෙස ක්‍ෂණයෙන් බලා ඉදිරියට ගමන් කලා.

මේ අතර නොනවත්වා ඇති වූ වාහන නලා හඬ බොහොමයක් දෙනාගේ දෙනෙත් ඇද ගත්තා.

ඒ නලා හඬ නැගුනේ තමන්ගේ දියණිය බැස්වීමට ආ එක් තාත්තා කෙනෙකුගෙන් එවැනිම දියණියක් බැස්වීමට ආ තවත් තාත්තා කෙනෙකුටයි. වෙනස නම් එක් අයෙක් නවීන මෝටර් රථයකත් අනිත් පියා පාපැදියකත් පැමිණ සිටීමයි. පා පැදියෙහි පැමිණි පියා දරුවා බස් වා විගසින් පා පැදිය අයිනට කර ගෙන නවතා තැබුවා. ඉදිරියට ගත් මොටර් රථය ඇතුළු තවත් රථ පෙළක් ම ඔහු දෙස රවා බලන්නට ඇති.

ඉදිරියට ගත් මොටර් රියෙන් බට කුඩා දැරිය පාසැලේ ගේට්ටුව අසලට යාමටත් පෙර රථය වේගයෙන් ඉදිරියට ඇදී ගියා. තම පියාගේ  දෑතේ උණුසුමින් බිමට බට පා පැදියේ පැමිණි දැරිය පියා ගේ දෑත අල්ලා මොනවාදෝ කියා වට පිට බලමින් හිනැහෙමින් ගේට්ටුව තුලින් පාසැල් බිමට පිවිසුණා. ඇගේ පියා පා පැදිය පසෙක තබා ඈ දෙස හිනැහෙමින් බලා සිටියා. සුමුදු උදා හිරු රැස් පොළව සිප ගන්නා ඒ උදෑසන පියෙකුගේ ආදරය තුරුළු කරගත් කුඩා දැරිය ඈතට යන තෙක්ම සිහින කැටි කරගත් පියෙකු බලා සිටියා.

මේ සිදුවීම දුටු මට සැබැවින් ම පා පැදියෙන් තම දරුවා සමඟ ආ තාත්තා කොයි තරම් වාසනාවන්ත දැයි සිතුණා.

"බීප්"  "බීප්"

මහ හඬ නැගූ පිටු පසින් ආ රථයේ රියදුරු රවමින් මා දෙස බැලුවා.

"බහින්න ලෑස්ති වෙන්න" යැයි කියමින් මමත් රථය ගේට්ටුව වෙත ගෙන ගියා.

සමහර විටක සමහර දෙනා කොහේ කොහොම සිටියත් සැබෑ වාසනාවන්තයින්.....................!!!