Saturday, September 24, 2011

අතිශය කලබලකාරී උදෑසනක්!

එය අතිශය කලබලකාරී උදෑසනක්. මෙවර පොත් සවාරියට වෙලාවක් නොලැබේදෝ කියා හිතුනු මුත් හැම දාම වගේ බොහොම අහඹු විදිහට ඊට වෙලාවක් මට ලැබුණා. ඒ හිංදම උදේ පාන්දරින් ම පොත් ප්‍රදර්ශන බිමට ඇතුලු වුනේ පොතක් දෙකක් ගන්න වගේම හිතේ හැටියට විවිධ පොත් අතර සැරිසරන්න ආසාවෙන්. තවමත් උදෑසන කටයුතු නිල වශයෙන් ඇරඹී නොතිබ්බ නිසා බොහොමයක් දෙනෙක් කඩිමුඩියේ තමන්ගේ පොත් ප්‍රදර්ශන කුටි සකස් කරමින් හිටියා.

අතරින් පතර මා වැන්නවුන් කිහිප දෙනෙක් හැරුණු කොට ප්‍රදර්ශන පරිශ්‍රය කලබල වී තිබුණේ මේ පරිසරයේ තාවකාලික හිමිකරුවන් වූ පොත් ප්‍රදර්ශක සහෘදයින්ගේ විවිධ කටයුතු සිදු වෙමින් තිබූ නිසයි. තවත් හෝරාවක් තුල පිරී ඉතිර යන තම කුටි සකසන්නටත් නව පොත පත නි‍සි තැන් හි තබන්නටත් හැම දෙනාම යුහුසුළු වුණා. මේ අතර බොහොමයක් කුටි වලට පිවිස එහි තුබූ පොත් මහත් ආසාවකින් රුචියකින් කියවා බලන මා දෙස ඔව්න් ඉතා සිනහ මුසු මුහුණින් බලා සිටියේ බොහොමයක් කුටි වලට අද පිවිසෙන පලමු වැන්නා මා නිසා විය යුතුයි. බොහොමයක් කුටිවලින් පොතක් ගැනුම නොකලත් හැමටම සුබ දවසක් යැයි කියන්නට මට අමතක නොවුනේ ඒ නිසයි.

කලකට පසු හමුවන මිතුරන් වාගේ මා දෙස බලා සිටින පොත් පත් දකින විට හිත පුරා දිවයන හැඟුම් තරමක් සංකීර්ණයි. වෙසෙසින් ම පුංචි කාලයේ කියැවූ රුසියානු ළමා කතා නැවත දකින විට ‍මමත් සිතින් ඒ කාලය තුලට මොහොතක් ගමන් කලා. වැඩ බැරි දාස, හත් පෙති මල, ලස්සන වසීලිස්සා, රසකතා, වානේ පන්නරය ලැබූ හැටි දකින මා සිතේ නැවත ඒ චරිත මැවී ගියා. මම කුඩා කාලයේ වයසට නොතරම් වූ ඉතා අසීරුවින් කියවා ගත් අපේ කාලයේ වීරයෙක්, අම්මා, ගුරු ගීතය, අපරාධය හා දඬුවම වැනි අපූර්ව නිර්මාණ ත් උම්මග්ග ජාතකය, සද්ධර්මාලංකාරය වැනි ගැටපද සහිත වටිනා ග්‍රන්ථත් ඒ අතරට වී ආදරයෙන් සිනාසුනා. මේ සමගම තවමත් මේ පොත පත කියවන පිරිසක් කොහේ හෝ සිටිනු බැව් දැනීමත් හිතට ගෙන ආවේ නැවුම් සැනසුම් හැඟුමක්.

ඇත්තටම මෙවර පොත් ප්‍රදර්ශනයේ මා හිතුවාට වඩා පොත පත තිබුණා. අපේ සාහිත්‍යයේ පූජාවලිය, අමාවතුර, සද්ධර්මාලංකාරය වැනි තන් හි සිට මාර්ටින් වික්‍රමසිංහයන් දක්වාත් ඉනුත් මේ දක්වාත් පුළුල් පරාසයක පොත පත ඒ අතර දැකුම අනාගතයට සුබ දසුන් මවන්නක්. සිහල දෙමළ බස මෙන් ම ඉංග්‍රීසි බසින් පලවූ පොත පතත් මෙහි තිබුණ මුත් ඉංග්‍රීසි පොත් හි තරමක් අඩුවක් දක්නට තිබුණ බවයි මගේ හැඟුම.

අද වන විට පොතක් කියවීම හා තොරතුරු ගූගල් කිරීම යන අන්ත දෙක වේගයෙන් දුරස් වෙමින් තිබෙන මුත් භෞතික පොත පතට මිනිසාගේ ඇති ආශාව තවත් කලක් තිබෙනු ඇතැයි යන්න, මොහොතින් මොහොත ප්‍රදර්ශන බිමට පිවිසෙන පිරිස කෙමෙන් වැඩි වීම ඒ බැව් පසක් කලා. ඇත්තටම අද වන විට බොහොමයක් දෙනෙක් අතින් පොත් කියවීම ගිලිහී ගිහින්. පුංචි කාලයේ අප සුරංගනා ලෝකයන් හි සිට සැබෑ යථා ලෝකය තෙක් අප සමග ගිය ගමන් සගයා වූ පොත පත, වෙබ් අඩවියක් වීඩියෝවක් දක්වා පරිණාමය වුවත් ඉන් අද දරුවාට ලැබෙන රසය සහ පෙර අප පොතින් ලද අවබෝධය හා සංයමය අතර ගැටුමක් ඇති බැව් මගේ හැඟීමයි. පොතක රස දන්නා, කියැවීමට ඉවසීම ඇති අයෙකු වඩාත් සාර්ථක බැව් මගේ මතයයි.

අපි ආපසු අද සිදුවීමට යමු.

කලබලකාරී පිරිස් අතර විවිධ දෑ හුවමාරු වෙමින් කාලය ගත වෙමින් තිබුණා. මේ අතර එක් වරම හැම දෙනාගේ සවන් පැහැර ගත් රාවයක් නැගෙන්නට වුණා. ලෝකයේ කොහේ හිටියත් මේ නද ඇසෙන මොහොතට හිතට නැගෙන හැඟුම් පෙළ පැහැදීම පහසු දෙයක් නොවෙයි. මෙතෙක් වේලා තිබූ කලබලය එක් වරම අඩුව ගියා. අතරින් පතර කිහිප දෙනෙක් හැරුණු විට අන් සියළු දෙනා සිටිවනම බලා සිටියා. තවත් මොහොතක් ගතවන කල තමන් කෙරේ ඇති වූ සියුම් ලැජ්ජාවක් සමඟ එහේ මෙහේ සැරිසැරූ කිහිප දෙනාත් සිටි වනම නැවතුනා. පසුබිමින් පැහැදිලිව ඇසෙන සංගීත රාවය මැද බොහෝ දෙනෙකුගේ දෙතොල් සැලී ගියේ එක් ලෙසින්. අන් කිසිදු ශබ්දයක් නොමැති පරිසරය තුල මිනිස් හඬ රැසක් සෙමින් නමුත් පැහැදිලි හඬින් රැවු දෙන්නට පටන් ගත්තා. ඒ සමඟම මෙතෙක් තොල පියා සිටි බොහෝ දෙනාගේ දෙතොල් පිපෙන්නට පටන් ගත්තා.

අන් කවරදාටත් වඩා අද උදේ අපේ රටේ ජාතික ගීය ප්‍රදර්ශන පරිශ්‍රය තුල සාඩම්බරයෙන් රැවු දුන්නා. විවධාකාර වයසින් යුතු විවිධ පුද්ගල චරිත මේ නැගුණු හඬට පණ දුන්නා. ජාතික ගීය අවසන සියළු දෙනාගේ නැවුනු හිස් යලි ඔසවනු දුටු මට දේශය හා අභිමානය අප අතර තිබෙන බවත් මේ ඒ බැව් යැයි හැඟී ගියේ හිතට සැබෑ සතුටක් ඇති කරමින්.

මොහොතක් එක් ව සිටි සියළු දෙනා නැවතත් අතිශය කලබ‍ලකාරී උදෑසනට එකතු වුණා.

ගිය වර මග හැරුණු පොත් මිතුරන් ගෙදර ගෙන යන්නට මමත් නැවතත් ඒ කලබලය වෙතට පිය මැන්නා.